Sunday, August 26, 2012

කියන්නකො නදී මට ආදරේද කියල...? - මගේ ආදර කතාව - අවසන් කොටස

මේ මගේ ආදර කතාවේ අන්තිම epsisode එක. කතාවේ මුල් කොටස් දෙක නොබලපු අය ඒ දෙක බලා පැමිණීම මැනවි!!!

පළමු කොටස
දෙවන කොටස

ඔන්න ඉතින් කාලය කෙමෙන් කෙමෙන් ගත වුණා. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. මම විභාගෙ ඉහලින්ම pass වෙලා තිබුණා.රත්නපුර දිස්ත්‍රික්කෙන් 7 වැනියා.ඉතිං කොච්චර සතු‍ටුද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ.මම එදා උදෙන්ම ලෑස්ති වෙලා ගියා town එකට.

මගේ පංතියේ යාලුවෙක් හිටියා ඇඹිලිපිටිය town එකේ අනුෂ්ක කියලා.එයාලට තිබුණා communication  එකක්.ඉතිං අපේ සෙට් එකේ සේරම එදා සෙට් වුණේ අනුෂ්කගෙ ගෙදරට තමයි. සමහරු විභාගෙ හොඳින් සමත් වෙලා.සමහරු හිතුව තරම් ප්‍රතිඵල නෑ. දැනගන්න තිබුණු විදියට ඇඹිලිපිටියෙ හොඳම rank එක තිබුණේ මට.ඉතින් මට දවස පුරාම සුභ පතමින් call එනව කෙළවරක් නැතුව. එදා හරිම කාර්යබහුල දවසක්.

ඔය අතරේ මට ආව තව නොදන්න number එකකින් call එකක්.

"හෙලෝ...?" මම ඇමතුමට answer කළා.

"හෙලෝ... බස්නාගොඩද කතා කරන්නේ?..." කවුදෝ කෙල්ලෙක් එහා පැත්තෙන් කතා කළා.මට තරමක් හුරුපුරුදු ගතියක් දැනුනත් කවුද කියල එකපාරටම මීටර් වුණේ නෑ.

"ඔව්..එයා තමයි...කවුද මේ....." මම බොහොම ගරු සරු ඇතිව ඇහුවා.

"ම්ම්... ඔයාට මතකද දන්නෑ... අර එදා උඩගම ඉස්කෝලෙදි හම්බවෙලා කතා කළේ?..."

"න..නදී ද? " ඇගේ වාක්‍ය ඉවර වෙන්නත් කලින් ඒ වචන ටික මගේ කටින් පිටවුණා.

"ආ...ඔව් ඔව්.එයා තමයි. ඔයා exam එක හොඳට pass නේද? wish you all the best!!!.... මම ඔයාට wish කරන්නයි කතා කළේ..." ඇය එහෙම කියද්දි මට ඇතිවුණු සතුට කියල නිම කරන්න බෑ.

"ආහ්... අනේ බොහොම ස්තුතියි නදී. මේකද එතකොට ඔයා එදා මට දීපු number එක?"

"ඔව් මේක තමයි.. ඇයි ඔයා ගාව මේක නැද්ද?" ඇය පුදුමයෙන් වගේ ඇහුවා.

මම ඉතිං මට වුණු අකරතැබ්බය එකින් එක ඇයට විස්තර කළා. ඉතාම කාර්යබහුල දවසක් නිසා අපේ සංවාදය එදා එතකින් නිමා වුණා. දැන් ඉතිං කොල්ල ඉන්නෙ මාරම ‍ෆිට් එකේ.මොහොතක්වත් පමා නොවුණු මම ඇගේ number එක එවෙලෙම save කරගත්තා.

ටික දවසක් ගත වුණා. ඇයට දුරකතන ඇමතුමක් ගන්න මට ඕනකම තිබුණත් ඒකට කියන්න තරම් පැහැදිළි හේතුවක් තිබුණෙ නෑ. මම ඇයට හේතුවක් නැතිව නිකම් කතා කරනකොට ඇය එය වරදවා හිතාගෙන මේ තියෙන හිතවත්කමත් නැතිවෙයි කියල මම බය වුණා. ඔහොම ඉන්න දවසක පොඩි හේතුවක් ජනිත වුණා.

කැම්පස් Apply කරන පොත් කොළඹින් ගෙන්නල දෙන්නම් කියල මට කවුදෝ කියපු නිසා මට ඕනි වුණා ඇයටත් පොතක් ඕනද කියල දැනගන්න. මම ඉතින් එදා ඇයට ගත්ත දුරකතන ඇමතුමක්. ටිකක් වෙලා සුහදව විස්තර කතා කරල මම ඇයට මං කතා කළ කාරණාව කිව්ව.

"ආ...අනේ බොහොම ස්තුතියි කිව්වට. මං පොතක් ගෙන්නගන්න 'සුමනගිරි' book shop එකට සල්ලි ගෙව්වනේ..."

හ්හ්ම්ම්ම්...ඒ වැඩේ හරිගියෙත් නෑ.

ඒත් කතා කළ එකෙන් මම ඇයත් එක්ක ගොඩක් හිතවත් වුණා. ඔහොම ඉඳ හිට දවසක මම ඇයට කතා කරද්දි ඇයත්  මට කතා කරපු වෙලාවල් නොතිබුණාම නොවෙයි. මේ කියන්න යන්න ඒ වගේ වෙලාවක්.

දවසක් රෑ මම ඇයට කතා කරද්දි ඇය බොහොම දුකින් වගේ හිටියා...මම  ඉතින්  "ඇයි නදී, නිකං දුකෙන් වගේ ?" කියල ඇහුවා.

"ම්ම්... අද අපි පන්සල් ගියා. පන්සලේ පහන් වැට ළඟදි  පහනක් පත්තු කරද්දි මගේ කොණ්ඩෙ පිච්චුණා..." ඇය බොහොම දුකෙන් කිව්ව.

ඇයට තිබුණා ගොඩක් දිගට වවපු ලස්සන කොණ්ඩයක්. නදී එහෙම කිව්වම මට එකපාරටම මාරම දුකක් ඇති වුණා.

"අයියෝ...අපරාදේ !!! "

"නෑ... නෑ..ගොඩක් පිච්චුණේ නෑ... කෙළවරින් පොඩ්ඩක් විතර පිච්චුණේ.." ඇය එහෙම කිව්වම මගේ හිතට ටිකක් විතර සතුටක් දැනුණා.

මම ඇය ගැන කැමැත්තෙන් සිටින බව මං තාමත් ඇයට අඟවලා නෑ. ඇයට ඒ බවක් දැනුණොත් මාත් එක්ක කතා නොකර ඉඳීවි කියලා මං බය වුණා.ඒත් දවසක මට මේ දේ කියන්නම වෙනවා. ඒත් කොහොමද කියන්නේ? එයා කැමති නෑ කිව්වොත් මොකද කරන්නේ? එහෙම වුණොත් මං කවදාවත් කරදර කර කර පස්සෙන් යන්නෙ නෑ... කාගෙවත් පස්සෙන් වාත වෙවී යන්න මං කැමති නෑ. ඒත් මං කියනවා එහෙනම් මෙච්චර දවස් හිටිය වගේ යාලුවෝ විදියට ඉමු කියලා. මම එහෙම හිතාගත්තා.

ඉස්සර වගේ නෙවෙයි.දැන් කැම්පස් එකේ first year එකේ උගන්නන subjects වලටත් කැම්පස් යන්න කලින් classes තියෙනවා. ඉතිං මටත් යාලුවෙක් කියපු නිසා මම කොළඹ, බම්බලපිටියෙ තිබුණු higher maths class එකකට යන්න පටන් ගත්තා.ඒක තිබුණේ සතියට දවස් 2ක් වගේ මට මතක හැටියට.ඉතිං මම ඊට පෙර දින ඇඹිලිපිටියෙ ඉඳන් ඇවිත් මහරගම පුංචිලගෙ ගෙදර නැවතිලා class යනවා.

ඔන්න ඉතිං 2009 අවුරුද්දේ අප්‍රේල් මාසෙ 18,19 වගේ දවසක මම ඇඹිලිපිටියෙ ඉඳන් කොළඹ එන්න හිතාගෙන ඇඹිලිපිටිය stand එකට ආව. අවුරුදු නිවාඩුවත් ඉවර නිසා මිනිස්සු පොරකකා පෝළිමේ ඉන්නව bus එකට නගින්න. මමත් බඩුමුට්‍ටු ටිකත් උස්සගෙන පෝළිමේ කෙළවරකට සෙට් වුණා.එතනම වගේ මගේ පංතියෙ යාලුවෙකුත් කොළඹ යන්න හිටිය නිසා මට තනියක් තිබුණේ නෑ.

කොහොම කොහොම හරි පොරකාල අපි දෙන්න එක ළඟ seat දෙකක් අල්ලගත්තා.ඔය වෙලාවෙ අපේ seat එකට පිටිපස්සෙ seat එකේ හිටියෙ කවුද කියල දන්නවද?

කවුද මන්ද අපි දන්නෙත් නැති මනුස්සයෙක් තමයි හිටියේ...:D මිනිහ අපිට කතා කරල තරමක් එහායින් තිබුණු වෙනත් bus  එකක් පෙන්නල කිව්ව,

"අන්න අර කෙනා ඔයාලට කතා කරනවා..." කියලා. දන්නවද ඒ bus එකේ ඉඳන් කතා කළේ කවුද කියලා..?

ඒ තමා 'නදී'....:-D

එයා අපිව දැකල අත වැනුවා. මට හරිම සං‍තෝසයක් දැනුනා. මගේ ළඟ හිටිය යාලුවයි, නදී යි එකම ඉස්කෝලෙ.ඒ දෙන්න හොඳම ‍ෆිට් යාලුවො. "මේ බෑග් දෙක පොඩ්ඩක් බලපන් මචං...මං අරයට කතා කරල එන්නම්" කියලා යාලුවා bus එකෙන් බැහැල ගියා.මටත් එයා එක්ක කතා කරන්න ඕනිකම තිබුණත් මේ වෙලාවෙ බෑග් ටික බලාගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ...

ටික වෙලාවකින් යාලුවා ආපහු ආවා. හැබැයි හිස් අතින් නෙවෙයි, දොඩම් ගෙඩියකුත් අරගෙන. "නදී දුන්න මචං..." යාලුවා එහෙම කිව්ව.

ඇය මොකක්දෝ වැඩකට town ඇවිත් ආපහු යන ගමන්ලු. අපි බලාගෙන ඉද්දි ඇය සිටි bus එක පිටත් වුණා.ඇය අපට අත වනා යන බව කිව්ව.  යාලුවයි මායි දොඩම් ගෙඩිය බෙදාගෙන කෑව.
මං ඉතින් phone එක අතට ගත්තෙ ඇයට SMS එකක් යවන්න හිතාගෙන.
මේ තියෙන්නෙ අපි අතර ඇති වුණු SMS සංවාදය...

"thanks දොඩම් ගෙඩියට!!! ඒක රසම රසයි."

"ආ...කවුද ඔයාට දුන්නේ? මම දුන්නෙ මාව දැකල bus එකෙන් බැහැල ඇවිත් කතා කළ ළමයට.."

"අනේ... මම ආවෙ නැත්තෙ අපේ bags බලාගන්න කෙනෙක් නැති නිසා..මම ආවනම් bags බලාගන්නෙ පොලීසියෙන්ද? :-D"

"හි හි.. ඇත්තටම දොඩම් ගෙඩිය රසද..? :-D"

"හ්ම්ම්ම්..ඔව්. ..අපි නිසා අපරාදෙ ඔයාගෙ රුපියල් 5ක් වියදම් වුණා.... :-D"

"රුපියල් 5 ක්? දෙයි රුපියල් 5ට... ඕක රුපියල් 30යි... :-p"

ඉතිං මම කොළඹට යනකම් ගියේ හරිම සතුටින්.මම ඇයට අද හෙටම මගේ හිතේ තියෙන දේ කියන්න හිතා ගත්තා. මම මහරගමට ආවට පස්සෙ පුංචිලා ගෙයි යතුර මට බාර දීලා දවස් කීපයකට ඇඹිලිපිටි ගියා.ඉතිං මම විතරයි ගෙදර. මම පහුවෙනිදා class ගියා.එනකොට හැන්දෑ වුණා. මම මොන වැඩේ කළත් මට නිතරම ඇයව මතක් වෙන්න ගත්තා. ඇය මට කැමති වුණොත් මට මොන තරම් සතුටක් දැනේවිද කියලා මම හිතින් හිතපු වාර අනන්තයි.


රාත්‍රිය ළඟා වුණා.ගෙදර කවුරුත් නැති නිසා හරිම පාලුයි.මම වේලාසනින්ම කාලා නිදාගන්න ඇඳට ආවා. මට ඉබේටම ඇයව මතක් වුණා.

"Hi...මොකද කරන්නේ? අද english course එකට ගියාද?  :-)"   මම කෙටි පණිවුඩ කෙටීම ආරම්භ කළා.

'Hi...ඔව් ගියා.ඔයත්  අද class ගියාද? "

"හ්ම්ම්ම්... ඔව්.රෑ වුණා එනකොට.... "
.
.
.
.ඔහොම ඔහොම සංවාදය කෙමෙන් කෙමෙන් ඉදිරියට ගියා.මම අපේ ඥාති කෙනෙක්ගේ wedding එකක් ගැන ඇයට කියමින් හිටියා.  සමහර තැන් නම් මට ඒ විදියටම මතක නෑ.ඒත් එක්තරා මොහොතක මම මෙහෙම කිව්වා මතකයි.
.
.
"දැන් ඉතින් මගේ කල වයසත් හරි.තවදුරටත් මෙහෙම ඉඳල බෑ..... :-P"

"හි හි... එහෙමද? එහෙනම් ඉතින් හොඳ කෙනෙක්ව හොයා ගන්න පුලුවන්නෙ... :-D "

"ම්ම්ම්... කෝ ඉතිං හොඳ කෙනෙක් හොයන එක ලේසි නෑනෙ..."

"අයියෝ...ඒක එච්චර අමාරු නෑ... කියන්නකෝ බලන්න ඔයා මොන වගේ කෙනෙක්ටද කැමති කියලා... මාත් පුලුවන් support එකක් දෙන්නම්... :-)"

"වෙන කවුරුත් වගේ නෙවේ නදී...මට ඕනි ඔයා වගේ කෙනෙක්...."  කොහොමද මං මේ වචන ටික එයාට කියන්නේ? මං මොහොතක් කල්පනා කළා.

වෙලාව රෑ 10ට විතර ඇති.වටපිටාව හරිම නිහඬයි. හිතට පුදුමාකාර පාලුවක් දැනෙන්න ගත්තා. කියනවනම් අද තමයි දවස... මගේ හෘද ස්පන්දනය මට නොදැනීම වේගවත් වුණා. අත වෙව්ලන්න වගේ. ඇයට මේක කියන්නෙ කොහොමද කියල මම කල්පනා කළා.message දෙක තුනක්ම type කළා. ආපහු මැකුවා. හිතට ධෛර්ය්‍ය අරගෙන අන්තිම message එක type කළා.

"NADEE.... SHE SHOULD BE LIKE YOU !!! "

ඉන් පස්සෙ ගෙවුණු හැම තත්පරයක්ම මට දැණුනෙ අවුරුද්දක් වගේ. phone එකට message එකක් එනකම් මං phone එක දිහාම බලං හිටියා. සෑහෙන වෙලාවක් ගත වුණා.උත්තරයක් නෑ. මට කියාගන්න බැරි තරම් දුකක් ඇති වුණා.මම කොට්ටෙට ඔලුව තියාගෙන කලුවර දිහාම බලාගෙන හිටියා...

BEEP.. BEEP !!!

messege එකක් ආ බවට දුරකතනය හඬ නැගුවා. හෘද ස්පන්දනය නැවතත් වේගවත් වුණා.මම message එක open කළා.

":-p I haven't an idea about it...(මට ඒ ගැන අදහසක් නෑ)... "

 මගේ මුලු ලෝකයම කඩා වැ‍ටුණා වගේ වුණා. කවුරුවත් නැති ගෙදර පාලුව මගේ හදවතේ වේදනාව තවතවත් වැඩි කළා."එයා මං කිව්ව දේ මඟ ඇරියා....එයා  මගේ හිතේ තිබුණු අදහස දැනගත්තා.එයා ආයෙමත් මට කතා කරන එකක් නෑ..."මගේ හිත එහෙම කිව්වා. ආයෙමත් මම නදීට කතා කරන්නෙ නෑ.. එයාට කැමති නැත්තන් මම එයාට කරදරයක් වෙන්න යන්නෙ නෑ... මම එහෙම හිතාගත්තා.

රෑ වෙනකම් කල්පනා කර කර හිටපු මට නින්ද ගිහිල්ලා. පහුවෙනිදා උදේ මම ආපහු class එකට බම්බලපිටි ගියා. දවසම upset එකේ හිටපු මගෙන් යාලුවො කීප දෙනෙක් ඒ ගැන විමසුවා."නෑ බන් නෑ..එහෙම මුකුත් අවුලක් නෑ..." මම ඔවුන්ට කිව්වෙ එහෙමයි. ඒත් මං කොච්චට upset එකේද හිටියෙ කිව්වොත් උදේ class එද්දි phone එකයි පෑනයි ගෙදර දාල ඇවිත් තිබුණේ.

එදත් ගෙදර යනකොට හැන්දෑ වෙලා. මම ගෙදර ගියපු ගමං phone එක හෙව්වා. phone එක ඇඳ උඩ. missed calls 2 කුත් තිබුණා. මම බැලුවා කවුද call අරන් තියෙන්නෙ කියලා. මට අදහගන්න බෑ... ඒ 'නදී' ... මම හිතුවෙම නෑ ඇය ආයෙ කතා කරයි කියලා...මම ඇයට දුරකතන ඇමතුමක් ගත්තා...

"හෙලෝ...." ඒ පැත්තෙන් බොහොම ගැඹුරු පිරිමි කටහඬක් කතා කළා.මම  බොහොම කළබල වුණා...

"ආහ්හ්... හ..හලෝ..."

ඒත් එක්කම දුරකතනය විසන්දි වුණා. සිද්ධ වුණේ මොකක්ද කියල මට හිතාගන්න බැරි වුණා.. නදී විස්තරේ තාත්තටවත් කියල, තාත්ත මට හොඳවයින් දෙකක් කතා කරන්නද දන්නෑ call අරන් තිබුණේ... දැන් මගේ හිතට හරිම නෑ...

BEEP..BEEP!!!
මට message එකක් ආවා.

"අනේ...sorry...ඔයා දැන් ගත්තු call එක තාත්ත answer කළේ... ඇයි ඔයා cut කළේ? තාත්ත බලන්නැති ඇයි cut කළේ කියලා..."

"මම cut කළේ නෑ නදී...නිකම්ම cut වුණා... මම phone  එක දාලනෙ අද class ගිහින් තියෙන්නෙ...."

"ආ...ඒක තමයි,මං උදේ ඔයාට call කළා... මට හිතුණා ඔයා phone එක දාල යන්න ඇති කියලා...."

දැන් මගේ හිතට ටිකක් සැනසීමයි. එයා මුකුත් වෙනසක් පෙන්නන්නෙ නැතුව කතා කළ නිසා මට ටිකක් විතර සතුටක් දැනුණා....  මම පහුවෙනිදම ආපහු ඇඹිළිපිටි ආවා.

ඔන්න 2009 අප්‍රේල් 23 වෙනිදා රෑ....

ඇය මට රෑ ඇගේ යාලුවෙක්ගෙ මොකක්දෝ පෙම් පලහිලව්වක් ගැන විස්තර වගයක් කියන්න ගත්තා... අන්තිමට එයා මට කියනවා...
"පව් අනේ එයා...  අද මාත් එක්ක විස්තරේ කිව්වා, මට දුකත් හිතුණා, ඒ අතින් එහෙම ප්‍රශ්ණ අපිට නැති එක කොච්චර දෙයක්ද කියලා හිතෙනවා...."

"කොහොම ප්‍රශ්නද? " මං ඇගෙන් පෙරලා ප්‍රශ්නයක් ඇහුවා."

"තමන් කැමති කෙනා නොලැබෙන  එක...."

"නැත්තෙ මොකද? ඒ ප්‍රශ්ණෙ මටත් තියෙන්නෙ..." මම නෝක්කාඩු ස්වරයෙන් කිව්වා..

"ඔයාට... ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නෙ? " ඇය පුදුමයෙන් වගේ ඇහුවා...

"ඇයි මාත් ඉඳල ඉඳල ඇහුවෙ එක්කෙනෙක්ගෙන්... කෝ වැඩක් වුණේ නෑනෙ..."

"ඔයා...? ඔය ඇත්තමද? අනේ අපිටත් ඉතින් කියන්නකෝ..කොහොමද ඔයා ඇහුවේ? කවියකින්ද? " ඇය හිනාවෙවීම ඇහුවා... ඒක අහල මම ෆුල් හොල්මන්.ඇයි දෙයියනේ මම මෙයාගෙන්නෙ ඇහුවේ...මෙයා මොකද මෙහෙම දෙයක් ඇහුවේ..මට මුකුත්ම හිතාගන්න බැරිවුණා...

"ඔයා ඔය ඇත්තටමද අහන්නේ නදී ? "

"ඇත්තට තමයි..ඇයි එහෙම ඇහුවේ ? " ඇය හිනාවෙවීම ඇහුවා.

"මම එහෙම ඇහුවෙ ඔයාගෙන්නෙ නදී...."

"මගෙන්...?"

"ඔව්, ඔයාගෙන්..ඇයි ඔයා දවසක් මගෙන් මොන වගේ කෙනෙක්ටද කැමති කියල ඇහුවම මම කිව්වෙ ඔයා වගේ කෙනෙක්ට කියලා... ඔයාට මතක නැද්ද..."

ඇයට එක වරම කතා කරගන්න බැරිව ගිය බව මට තේරුණා...

"ම...මං හිතුවෙ ඒ ඔයා විහිලුවට කිව්වෙ කියලා.... "

"නෑ නදී... මං ඇත්තටමයි කිව්වෙ..." ඇයත් මමත් මද වෙලාවක් නිහඬව හිටියා...

"මට මොකක්ද කියන්නෙ කියල හිතාගන්න බෑ... මාව ගැහෙන්න වගේ..." නදී වෙව්ලන ස්වරයෙන් කතා කළා.

"බයවෙන්න එපා නදී... ඔයා කැමති දෙයක් කියන්න..මොනව කිව්වත් මම තරහ නෑ..."

"ඔයා හොඳට හිතල බලලද ඔය දේ කිව්වෙ? " නදී සැක හැර දැනගන්න මෙන් ඇහුවා.

"ඔව් නදී...මම ගොඩාක් හිතල හිතල තමයි ඒ දේ එදා කිව්වෙ..."

"එතකොට ඔයාලගෙ ගෙදරින් මේ බව දන්නවද ....?"

"ම්ම්... මං එහෙම දෙයක් තවම ගෙදරට කියල නෑ...ඔයා කැමති වෙන්නෙපැයි ගෙදරට කියන්න..." මම බොහොම සැහැල්ලු බවක් අඟවමින් කතා කළා. ඇය ටිකක් බය වෙලා ඉන්න බව මට තේරුණා...

"අනේ මන්දා...මට එකපාරටම මොකුත් කියන්න බෑ.මට ටිකක් හිතන්න ඕන"

"කලබලයක් නෑ නදී...ඔයා අද රෑට හොඳට හිතල මට හෙට උදේට උත්තරයක් දෙන්නකෝ..." මං නැවත කටහඬ අවදි කළා.

"හෙට උදේ...?"

"ඔව්. හෙට උදේට ...ඔයා හරියටම 10.30ට මට තීරණය කියන්නකෝ.. ඔයා මොනව කිව්වත් මම තරහ නෑ නදී..." මං එහෙම කිව්වට ඇය අකමැති වෙයිද කියන බය මගේ හිතේ තිබ්බා.

එදා රෑ මට එක තප්පරයක්වත් නින්ද ගියේ නෑ...හිතට අමුතුම සතුටක් තිබ්බ වගේම, පොඩි තිගැස්මකුත් තිබුණා...ඇය අකමැති වෙන එකකුත් නෑ...හිතේ පොඩි කැමැත්තකුත් ඇති...ඒකනේ ටිකක් හිතන්න ඕන කිව්වෙ..

මම පහුවෙනිද උදේම ලයිසන් එකට photo ගහන්න ඇඹිළිපිටියෙ "අමිල" ස්‍ටුඩියෝ එකට ගියා...එයාලට කිසි ගාණක් නෑ..ලතැවි ලතැවි ඉන්නවා...මම විනාඩියෙන් විනාඩිය ඔරලෝසුව දෙස බැලුවා...යන්තම් බර බර ගාල photo ටික ගහගෙන 10 වෙනකොට එළියට ආවා..


දැන් මගේ හිතට ටිකක් බයයි.තව පැය භාගයකින් එයා කතා කරල මොනව කියාවිද දන්නෙ නෑ... ඔය දවස්වල මගේ phone එකේ පොඩි ලෙඩකුත් තිබ්බා.කියන ඒව හරියට පැහැදිළිව ඇහෙනව මදි...town එකේදි නම් කොහොමත් ඇහෙන එකක් නෑ...ඒකනිසා මම library එක පැත්තට ගියේ call එකක් ආවොත් හරියට ඇහෙන්න ඕන නිසා...

වෙලාව කෙමෙන් කෙමෙන් ගත වුණා..හරියටම 10.30 ට වුණා. මම phone එක දිහාම බලාගෙන හිටියා. නදී මට උත්තරක් දෙන්න 10.30ට කතා කරනව කිව්ව නිසා මම call එකක් ගන්න ගියෙත් නෑ....

වෙලාව ගෙවුණා...10.35 වුණා...10.40 වුණා... මට call එකක් ආවෙ නෑ...

මගේ හිතට දරාගන්න බැරි දුකක් ඇති වුණා...  එයා මොකක් හරි වැඩක් ඇද්ද? මගේ හිත ගැහෙන්න ගත්තා... තවත් library එකේ බලං ඉඳල වැඩක් නැති බව මට තේරුණා.මම පාරට බැහැලා town එකේ මගේ යාලුවගෙ ගෙදරට ගියා...

"ආ...බස්සො... කොහොමද? කොහේ යන ගමන්ද?..."අනුෂ්ක ඇහුවා.

"ස්‍ටුඩියෝ එකට ගියා බන්...ඒක නෙවෙයි...මට පොඩි උදව්වක් කරපන්..."

"උදව්වක්...? මොකක්ද?"

"මට දවසකට උඹේ phone එක දියන්... එතකම් මගේ phone එක ගනින්..."

"ඒ මොකටද බං ඒ? "

"පොඩි වැඩකට බං...මං පස්සෙ උඹට විස්තරේ කියන්නම්... දැන් ඉතින් දීපන්කො..."

"හා හරි හරි... හිටපන් සිම් එක ගලවගන්නකම්...."

මම යාලුවගෙන් phone එක ඉල්ලුවෙ මගේ phone එකේ හරියට ඇහෙන්නෙ නැති නිසා...හදිසියෙ හරි නදී අද call කළොත් කියල මම එහෙම කළේ.... මම ඉතින් මගේ phone එකත් off කරල සිම් එක අරගෙන යාලුවගෙ එකට දැම්ම...ඔය වැඩේට විනාඩි 7ක් , 8ක් විතර ගියා..

"මම යනව මචං...."

යාලුවගෙන් සමුඅරගෙන මම ගෙදර යන්න පාරට බැස්සා...යන ගමන් phone එකට ආව message කීපයක්ම... ඔක්කොම missed call alearts...

දෙයියනේ නදී වත්ද දන්නෑ... මං ඉක්මනින්ම number  එක check කළා...මං හිතුව හරි...නදී තමයි...මට පුදුම සතුටක් දැනුණා...ඒත් එක්කම තව text message එකක් ආවා...ඒකත් නදී ගෙන්.

"අනේ ඇයි ඔයා phone off කළේ...? මම හරියටම 10.30 ට කතා කරන්නයි හිටියේ..එතකොටම එහා ගෙදර අක්කයි, බබයි ආවා.ගෙදර හිටියෙත් මං විතරයි...එයාල දැනුයි ගියේ...අනේ මට සමාවෙන්න!!! ඔයා phone එක on කළ ගමන්ම මට කතා කරන්න.... "

ඒ message එක දැකපු මට ඇති වුණු සතුට උඹලා දන්නවනම්.....
මම එවෙලෙම ඇයට call එකක් ගත්තා....

"හෙලෝ..." ඇය බොහොම බයෙන් බයෙන් වගේ phone  එක answer කළා.

"මම phone එක off  කළේ නෑ...." මම සිද්ධවුණු දේ ඇයට විස්තර කළා..

"අනේ..මං බයවුණා ඔයාට කේන්ති ගිහිල්ලා phone එක off කරන්න ඇති කියලා...."

"නෑ නදී...මං මොකටද කේන්ති ගන්නේ...?  ඒක නෙවෙයි...ඔයා ඉතිං කල්පනා කලාද...? "

"ම්ම්... ඔව්. මට රෑ එළි වෙනකම් නින්ද ගියේ නෑ... මට හරි බයයි වගේ..."


"ආහ්හ්... මටත් නින්ද ගියේම නෑ... මම කල්පනා කළේ ඔයා කොහොම උත්තරයක් දෙයිද කියලා...කියන්නකෝ ඉතිං...මොකක්ද ඔයාගෙ උත්තරේ...? "

"ම්ම්ම්... ඔයාලගෙ අම්මල කැමති වෙයිද. මට නම් බයයි වගේ...?"

ඇය එහෙම කියනකොට මට තේරුණා වැඩේ හරි තමා කියලා... මට දැනුණු සතුටට පාරේ කෑ ගහ ගහ දුවන්න හිතුණා. මගේ පළවෙනිම ආදරේ මට නැතිවුණා කියල මම හිතුවට ඒක එහෙම නොවන බව මට තේරුණා...

"අම්මල කවදාවත් මම කැමති දේකට විරුද්ධ වෙන්නෙ නෑ නදී....ඒ ගැන බය වෙන්නෙපා..."

"එහෙමද....? එතකොට ඔයාගෙ අයියලා...?"

"අයියලත් එහෙම තමයි අනේ.... දැන්වත් කියන්නකෝ..." මම බොහොම නොඉවසිල්ලෙන් කිව්වා...

"ම්ම්ම්....කැමතියි!!! " ඇගේ ඒ වචනය මට අද වගේ මතකයි.

"එහෙම නෙමෙයි අනේ..."මම බොරු තරහක් පෙන්වමින් කිව්වා...

"එහෙනම්...? "

"කියන්නකො මට ආදරේද කියල...?"

"ඔව්...! "

"මොකක්ද ඔව් ? "

"ඔයා කිව්ව එක..." කෙල්ලොන්ගෙ කපටිකම පේනව නේද?

"හ්ම්ම්... හරි හරි... ඉන්නවකො  මං ඕක අද හෙටම ඔයා ලවා කියවගන්නම්කෝ..." මං සිනාසෙමින් කිව්වා... ඇය ඒකට ලස්සනට හඬනගා සිනාසුණා.


ඔය විදියට අපි දෙන්නගෙ පුංචිම පුංචි ආදර කතාව 2009.අප්‍රේල් 24 වෙනිදා ආරම්භ වුණා...

මේ වෙනකොට නදී රුහුණු කැම්පස් එකේ 'Bio Science උපාධිය හදාරනවා.
මම ඇගෙන් ගොඩක් දේවල් ඉගෙන්ගත්තා...ඇය කවමදාවත් මාව රවටලා නෑ...ඇගේ ළඟ තියෙන අල්පෙනෙත්තක දෙයක් වුණත් මගේ සතුට වෙනුවෙන් දෙන්න ඇය කවදාවත් පැකිළෙන්නෙ නෑ... ඒකයි මම ඇයට මෙච්චරම  ආදරේ...:-)

කොටස් 3කින් මේ කතාව ඉවරකරන්න මම පොරොන්දු වුණු නිසා 3 වන කොටස හිතුවට වඩා සෑහෙන්න දිග වුණා.ලියන්න ගොඩක් මහන්සිත් වුණා... පළමු කොටස් දෙකට ලැබුණු ප්‍රතිචාර නිසාමයි මේ කොටස ලියන්න ශක්තිය ලැබුණේ. comment එකකින් හරි මාව දිරිමත් කළ හැමෝටම ස්තුතියි. කතාව කියවලා මට නවකතාවක් ලියන්න කියලත් දෙතුන් දෙනෙක් කිව්වා...මං දන්නවා උඹලා ඒ විහිලුවට තමා කිව්වෙ කියලා. :-D .... එහෙනම් මේ කතාව මෙතෙකින් නිමි!!! කතාව රසවින්දා නම් comment එකක් දාන්නත් අමතක කරන්න එපා....ජය!!!

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

Thursday, August 23, 2012

දෙවියනේ!!! අර නදී නේද? - මගේ ආදර කතාව - දෙවන කොටස

මගේ ආදර කතාවේ පළමු කොටසට ලැබුණු ඉහළ ප්‍රතිචාර වලට හැමදෙනාටම බොහොම ස්තුති. ගොඩක් දෙනා කතා කරලා, message කරලා දෙවන කොටස ගැන නිතරම අහපු නිසා ඔන්න ඉක්මනින්ම ඒකත් ලියලා ඉවර කළා. අනේ මන්දා...උඹලටත් ඉතින් අනුන්ගේ ඕපදූප කියවන්න තියෙනවනම් වෙන මුකුත් එපා...හ්ම්ම්..හරි හරි ඔන්න එහෙනම් හැමෝම අහගන්න.

A/L විභාගේ ලියලා ගෙදරට වෙලා හිටපු මට දැන් ඉස්සර වගේ සැලකිළි නෑ. වෙනදා පාඩම් කරනකොට ළඟට ඇවිත්
"තේකක් ඕනිද පුතේ?" , "දවල්ට මොනවද උයන්නේ? අරව තියෙනවා, මේව තියෙනවා..." වගේ දේවල් කියපු අම්මත් දැන් මම තේකක් ඉල්ලුවම,
"මේ මොන කරදරයක්ද? හදාගෙන බොන්නකො අනේ...TV බල බල ඉන්නවා, කරන වැඩකුත් නෑ..." වගේ වාඛ්‍ය ඛණ්ඩ ගෙන හැර පාන්න පටන් අරන්. ඒ මදිවට කඩේ යන්න, නැන්දලගෙ ගෙදරට දුවල එන්න, පේමන්ට් එක පොඩ්ඩක් අතුගාල දාන්න වගේ බරපතල ටොපි මට නිතර නිතර සෙට් වෙන්න ගත්තා.

ඔන්න ඔය වගේම ටොපියකින් තමා මගේ ඉතිහාසෙ වෙනස් වුණේ.

"පුතේ, නංගිට හෙට උඩගම ඉස්කෝලෙ 'සිංහල භාෂා තරඟ' තියෙනවා, ඔයා හෙට එයාව එක්ක ගිහින් ඉවර වෙනකම් ඉඳලා එක්ක එන්න හොඳද? " අම්මා තවත් ටොපියක් මට සෙට් කළා. අම්මා ඒක කියලා ඉවර වෙන සැනින් මං මගේ default උත්තරේ දුන්නා.

" අනේ අම්මෙ, හෙට නම් කොහොමවත් බෑ..."

"බෑ..? ඇයි මොකක්ද ඔයාට තියෙන වැඩේ?" අම්ම එහෙම අහද්දි තමා මං ඉක්මනට කල්පනා කළේ දෙන්න සුදුසු උත්තරයක්..ම්හ්හ්..මගේම කරුමේ.වෙනදා වැල නොකැඩී මගේ කටට එන බොරු එකක්වත් එදා මගේ කටට ආවේ නෑ.

"කෝලං කරන්නැතුව හෙට නංගිව එක්ක යන්න" එහෙම කියපු අම්ම ගස්සගෙන කුස්සිය පැත්තට ගියා. අපේ දෙබස අහගෙන හිටපු නංගි කිණ්ඩියට වගේ මගෙ දිහා බලල හිනා වුණා.

"හිටපන් උඹට මම..." කියමින් නංගිට ටොක්කක් අනින්න මං ගනිපු වෑයමත් අසාර්ථක උනේ මේකි දඩ බඩ ගාල "අම්මේ...." කියාගෙන කුස්සියට දුවපු නිසා.


මොනව කරන්නද? පහුවෙනිදා උදේම මම, හෝදපු නැති කලිසමයි, කළින් දවසෙ town ඇඳපු ෂර්ට් එකයි ඇඳගෙන මොකාද එකා වගේ නංගිත් එක්ක ගෙදරින් පිටත් වුණා. තරඟ තියෙන්නෙ අපේ ඉස්කෝලෙ නොවන නිසා නංගිට තරඟ තියෙන hall එක හොයා දෙන්නත් වුණා.

"හ්ම්ම්ම්...මේකෙ තමා තියෙන්නෙ.එහෙනම් හොඳට ලියන්න හොඳේ.බය වෙන්නෙපා.දන්න ටිකට ඉස්සෙල්ලා ලියන්න.මං ඉන්නෙ අර ගේට්‍ටුව ළඟ කොහොඹ ගහ ගාව බංකුවේ...ඉවර උණාම එතනට එන්න. කොච්චර වෙලා තියෙනවද ඕක?"

"පැය දෙකයි"

"හ්ම්ම්...හරි හරි මං යනව.එතනට එන්න".

නංගිව අදාල තැනට දාල මං ගේට්‍ටුව ළඟ තිබුණු පොඩි කොන්ක්‍රීට් බංකුවේ වාඩි වෙලා හිටියා. ටිකක් වෙලා එහෙ මෙහෙ බල බල හිටපු මං  දැකපු දෙයින් මං බොහොම කලබලයට පත් උණා.

"මළ කෙළියයි!!! නදී නේද?" මං මටම කියාගත්තා.

හිතේ එක පැත්තක අමුතුම සතුටක් ඇති වුණත් ඒ එක්කම මට මාත් එක්කම කේන්තියක් ඇති වුණා. "ෂෙහ්හ්... අපතය වගේ ආවනෙ.කොහොමද ළඟට ගිහින් කතා කරන්නෙවත්..." මං මටම බැන ගත්තා.
දුර තියාම මාව දැකපු නදී ඇගේ ලස්සනම ලස්සන හිනාවෙන් මුව සරසාගෙන මං දිහාවට ආවා.

"හලෝ... ඔයා මොකද මෙහේ?" ඇය හිනාවෙවීම මගෙන් ඇහුවා.

"අපේ නංගිට සිංහල භාෂා තරඟ නිසා එක්කං ආවා" මං ටිකක් කලබල ගතියෙන් උත්තර දුන්නා.

"ෂා... එහෙමද? මාත් අපේ නංගි තරඟ වලට එක්ක ආවා"

"ආ... නංගි කෙනෙකුත් ඉන්නවද ඔයාට? " මම ඇහුවා.

"ඔව්. එයාව ගෙනත් දාන්න ආවේ. දැං ඉතිං ඉවර වෙනකං මෙතන ඉන්නත් කම්මැලිනේ.මේ ළඟ අපේ යාලුවෙකුගෙ ගෙදරක් තියෙනවා.මං එහේ ගිහින් ඉඳලා තරඟ ඉවර වෙනකොට එන්න හැදුවේ..." මදැයි සෑහෙන්න සං‍තෝසෙන් කයියක් ගහන්න සෙට් වුණා. සුපුරුදු පරිදි දෙවියන් මට ටොකු අනින්න පටන් ගත්තා.

"මං නම් තරඟ ඉවර වෙනකම් මෙතන ඉන්නවා..." මං එහෙම කිව්වා.

"ෂා... එහෙමද? එහෙනම් මාත් ඉන්නම්. අපි දෙන්නට කතා කර ඉන්න පුලුවන්නෙ.." ඇය එහෙම කියාවි කියල මගේ යටි හිත කිව්වත් ඇය කිව්වෙ වෙන එකක්.

"මං එහෙනම් යනව. 11 වෙනකොට එන්නම්. බුදු සරණයි!!!"



මං නැවතත් කොහොම ගහ යට බංකුවේ තනි වුණා. ජීවිතේ වටිනාම අවස්ථාවක් ගිලිහී ගිය බව මට දැනුණා. අපරාදේ... ඇගේ ලස්සනම ලස්සන හිනාව මගේ ඇස් ඉදිරිපිට මැවි මැවී පේන්න ගත්ත. ලොකු සුසුමක් හෙලලා මං ආපහු ඈත පංති කාමරයක් දිහා බලාගෙනම හිටියා.



වෙලාව ගත වෙනව මට දැනුනෙත් නෑ. ටික වෙලාවකින් කවුරු හරි කෙනෙක් මගේ ළඟට එන බව දැනිල මං ඔලුව හරවල බැලුවා.

"දෙවියනේ!!! නදී නේද?" මං එක පාරටම බංකුවෙන් නැගිට්ටා.

"හරි වැඩේනෙ අනේ!!! ඉෂාරා ගෙදර නෑ. ඒක නිසා මං ආපහු ආව..."

මට දැනුණු සං‍තෝසෙ කියල වැඩක් නෑ. "එළම කිරි!!!" ඒ වචනෙ මගේ කටින් පිට වෙන්න ගියත් මං ඒක බොහොම අමාරුවෙන් ගිලගත්ත.

ඉතිං අපි දෙන්න සෑහෙන වෙලාවක් A/L විභාගෙ පේපර් ගැන, අමාරු ප්‍රශ්ණ ගැන, අපේ සර්ල ගැන ආදී වශයෙන් ඉතා වැදගත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කරුණු කීපයක් සාකච්ඡාවට බඳුන් කළා. කොහොම කොහොම හරි අපි දෙන්න එදා ගොඩාක්ම හිතවත් වුණා.මීට කළින් ඇයත් එක්ක තනියම විනාඩි 5ක් වත් කතා කරල නොතිබුණු මට අද ඇගේ විස්තර ගොඩාක් දැනගන්න පුලුවන් උණා.

ඇයට ඉන්නෙ එකම එක නංගි කෙනෙක් පමණක් බවත් අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු බවත් මං දැනගත්තෙ එදා තමයි. අපේ තාත්තාටත් ලොවෙත් නැති කුඹුරකුයි, කෙසෙල් අක්කරේකුයි තියෙයි කියලා මං ඇයට කියන්නත් හදලා නොකිය හිටියෙ මොකටද නිකං පම්පෝරි ගහන්නෙ කියල හිතල.

පැය දෙක විනාඩි දෙකක් වගේ ගෙවිල ගියා.  තරඟ ඉවර වෙලා ළමයි එකා දෙන්න එළියට එන්න ගත්ත. දැන් මගේ හිතත් නොසන්සුන්. මම ඉක්මනට අනාගතය ගැන හිතල මේ වගේ දෙයක් කිව්ව.

"මගේ හැම යාලුවෙක්ගෙම වගේ phone numbers මගෙ ළඟ තියෙනවා. ඔයාගෙ විතරයි නැත්තේ...දෙන්නකො නම්බරේ, හදිසියකටවත් කතා කරන්න විදියක් නෑනේ..." මං එහෙම කිව්ව්. දැන් මගේ හිත ගැහෙනව.එයා වැරදියට හිතුවද දන්නෙ නෑ.

"මගේ ළඟ phone  එකක් නෑනේ...මේ තියෙන්නෙ අම්මගෙ එක." ඇය සිනහ මුසු මුහුණින් කිව්වා.

"ආහ්හ්... කමක් නෑ.එහෙනම් ඔය නම්බරේ දෙන්නකො"

"මේක අම්ම ළඟදි ගත්ත උපහාර සිම් එක.ඒක නිසා මට නම්බර් එක මතක නෑනෙ.ඉන්න මං මේකෙන් ring cut එකක් දෙන්නම්.කියන්නකො ඔයාගෙ නම්බර් එක..."

හතර විලි ලැජ්ජාවයි.මේච්චර දවසක් phone එකක් තිබුණු මම මී හරක වගේ ළඟදි ඒක විකුණ්නෙ වෙන phone එකක් ගන්න හිතාගෙන.දැන් මගෙ ළඟ phone එකක් නෑ. සිම් එක පර්ස් එකේ.

"ආ....මේ....මගෙ phone එක මං විකුන්නනෙ අලුත් එකක් ගන්න.හෙට එකක් ගන්න ඉන්නෙ. මං කියන්නම්.කෝ දෙන්නකො ඔයාගෙ phone එක.මං ඒකෙන් අපේ ගෙදරට ring cut එකක් දාල ගෙදර ගිහින් number එක save කරගන්නම්" ඔන්න ඔය විදියට අන්තිම මොහොතෙදිත් මම චාටර් වෙලා ගියා. ඇගේ phone එක අරන් මං අපේ පොඩි අයියගෙ phone එකට දුන්න ring එකක්.

ඔය අතරෙ අපි දෙන්නගෙ නංහිලා අපි හිටපු තැනට ආව.

"ආ...නදී , මේ ඉන්නෙ අපේ නංගි" මං මගේ නංගිව ඇයට හඳුන්වාදුන්නා.

"ආ... එහෙමද? අර ඉන්නෙ අපේ එක්කෙනා..." ඇයත් මට ඇගේ නංගිව හඳුන්වලා දුන්න.

අනේ බලන්න කොච්චර ෂෝක් නංගිලද කියල. මං නම් කැමතියි සතියෙ දවස් 7 ම වුණත් මෙහෙම තරඟ වලට නංගිව එක්ක එන්න.අයියල වශයෙන් මේව අපේ යුතුකම්.යනගමන් නංගිට ටොපියක් අරන් දෙන්න ඕන.එහෙම හිතාගෙන මමත් නංගිත් ඔවුන්ගෙන් සමු ගත්තා.


හිතට දැනුනෙ පුදුම සතුටක්.දැන් එයාට phone call එකක් ගන්න වුණත් හිතට බය නෑ.මොකද දැන් අපි හොඳට අඳුනන යාලුවොනෙ.ඉතින් ගෙදරට ගියපු ගමන්ම මම අයියගෙ phone එකෙන් ඇගේ number එක ගන්න හැදුවා.

විනාසයි!!!

phone එකේ එක missed call එකක් වත් සටහන් වෙලා නෑ. මම හොඳටම කලබල වුණා.

"අයියෙ, මේකට missed call එකක් එහෙම ආවෙ නැද්ද?" මම පොඩි අයියගෙන් ඇහුවා.

"ආ...ආව ආව.කවුද ඒ?"

"කෝ ඒත් මේකෙ numbers මුකුත් නෑනෙ..."මම ඇඬුණු ස්වරයෙන් ඇහුවා.

"දැන් නැතුව ඇති.මං ඒ සිම් එක ගලවල අනිත් එක දැම්ම දැන් ටිකකට කලින්"

"අයියෝ..." මට ඉබේටම එහෙම කියවුණා. හැමදේම නැතිවුණා වගේ හැඟීමක් මට දැනුණා. දැන් කාලෙ නම් විනාඩි 5න් දඹානේ වැද්දෙක්ගෙ වුණත් number එකක් හොයාගන්න පුලුවනි. ඒත් ඒ දවස් වල එහෙම හිතුණේ නැත්තෙ ඇයිද මන්දා.

මං ආයෙත් ඇගේ කටහඬක් වත් අහන්න නැතුව සති ගණනාවක් ගතකළා. ඇය අපේ අයියගෙ number එකට ආයෙ ගත්තෙත් නෑ. (පස්සෙ කාලෙක ඇය මට මෙහෙම කියනවා, "ඔයා මගේ number එක අරගෙනත් කතා කළේ නෑනෙ, මං හිතුවා ඔයා නිකමට ඉල්ලගන්නැති. ඒකයි කතා නොකළේ කියලා.ඉතිං මං කතා කරන එක හරි නෑනේ. ඒකයි මාත් කතා නොකළේ" )

කාලය ගෙවුණා.උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණා.එදා මට පුදුම සං‍තෝෂ දවසක්.ඒ මම විශ්වවිද්‍යාලයට තේරුණු නිසා විතරක් නෙවෙයි. ඇගෙයි මගෙයි ජීවිත කතාවෙ අලුත් පි‍ටුවක් එදා පෙරළුණු නිසා.

ඒ ගැන මං ඊ ළඟ post එකෙන් කියන්නම්. හැමෝම ආසාවෙන් කියවපු කතාව නිසා මෙගා ටෙලිනාට්‍යක් වගේ එපා කරවන්නෙ නෑ. ඊ ළඟ කොටසෙදි මං අනිවාර්යෙන්ම එයාට ආදරය ප්‍රකාශ කරනවා විතරක් නෙවෙයි, එයා මොකද කිව්වෙ කියන එකත් කියලා මේ කතාව කියලා ඉවර කරනවා. සැමට ජය!!!

ප.ලි. - මම ලියූ කතාවෙ පළමු කොටස ඇය කියවලා. ඇයට ඇඬුණ සතුටට. දෙවෙනි කොටස ලියන්න ඇය මට ලොකු සහයක් දුන්නා.එදා වුණු සිදුවීම්, දෙබස් ඇයට අද වගේ මතක නිසා මට මේක ලියන්න ලොකු පහසුවක් වුණා.බොහොම ස්තුතියි 'නදී'.

තුන්වන කොටස සඳහා පහළ කොටන්න.

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

Monday, August 20, 2012

ඔන්න නංගි චැලෙන්ජ් එක බාරගත්තා - මගේ ආදර කතාව - පළමු කොටස


පහුගිය දවසක මම බ්ලොග් පෝස්ට් එකක් ලිය ලිය ඉන්නකොට මගේ ගෑණු ළමයගෙන් call එකක් ආවා.මං ඉතින් කර කර ඉන්න වැඩේ පැත්තක තියලා දුරකතනය answer කළා.

"හෙලෝ...." මං කටහඬ අවදි කළා.

"හෙලෝ....ඔයා වැඩද අයියේ?"

"ආ...ඔව් අනේ,මං මේ බ්ලොග් පෝස්ට් එකක් ලියනවනේ."

"බ්ලොග් පෝස්ට් එකක්? මොකක් ගැනද?"

"අර ගෙයි යතුර නැති වෙච්ච සීන් එක ගැන..."මං හිනාවෙලා කිව්වා.

"හ්ම්ම්ම්...!!!" ඇය බොහොම උදාසීන විදියට එහෙම කිව්වා.

"ඇයි නිකන් හ්ම්ම්ම් ගෑවේ..?" මං හිනාවෙන ගමන්ම ඇහුවා.

"මං ගැනත් ඕකෙ ලියන්න." ඇය බොරු මුරණ්ඩු ගතියක් ආරූඪ කරගෙන කිව්වා.

"යා ගැන...?"

"ඔව්.මං ගැන..."

"හි හි...හ්ම්ම් හ්ම්ම් මං ලියන්නම්කො අපි දෙන්නගෙ ආදර කතාව ගැන ලස්සන බ්ලොග් පෝස්ට් එකක්."

"අනේ නිකං බොරු කියන්නැතුව ඉන්න අයිය. මං දන්නැද්ද ඔයා ගැන.ඔයා ලියන්නේ නෑ..."

"ඇයි ඔයා එහෙම කිව්වෙ?"

"ඔයා මං ගැන ඕකෙ ලියන්නෑ.මං දන්නවනෙ"
මට එක පාරට හිනාගියා.

"ඉන්නකො එහෙනම් මං ඔයාට ලියලම පෙන්නන්නම්කො..."

 "හ්ම්ම්...ලියයි ලියයි.." ඇය ඒක නම් කොහෙත්ම විශ්වාස නොකරන පාටයි.ඔහොම ඔහොම කතා කරලා මං දුරකතනය තිබ්බා.

ඔන්න දැන් ඉතිං මට පොඩි චැලෙන්ජ් එකක් ඇවිත් තියෙන්නෙ. මං ඇයට නොකියාම චැලෙන්ජ් එක බාරගත්තා.ඇය තවම දන්නෙ නෑ මං මේක ලියනව කියලා.මං අද ලියන්න යන්නෙ ඇය හා මම හමුවුන හැටි හා මගේ "ආදර mission"  එක ගැන.

ඇයත් මමත් ඉගෙනගත්තෙ ඇඹිලිපිටියෙ තිබුණු පාසල් දෙකක.මම ඇයව ඉඳ හිට හරි දැක්කෙ පෞද්ගලික උපකාරක පංතියකට යද්දි විතරයි. 7,8 වසර වල වගේ ඉඳන් ඇයව දැකල තිනුණත් උසස් පෙළ දක්වාම අපි අතර විශාල දැනහැඳුනුම් කමක් තිබ්බෙ නෑ.

පොඩි කාලෙ අපි කෙල්ලෙක් එක්ක කතා කළොත් අපේ යාලුවො "ආ...ආ... සම්පාත්....හා...හා...." කියල මාස දෙකක් විතර යනකං ඒ කෙල්ලගෙ නම අල්ලලා අපිට විහිලු කරනවනේ.මේ අත්දැකීම හැම කෙනාටම ඇති.ඒත් උසස් පෙළ දක්වා ආපු අපි දැන් ලොකු ළමයිනේ. දැන් ඒ වගේ ගොන් පාට් දාන වයසක් නෙවෙයි. ඒක නිසා දැන් කෙල්ලෙක් මූණට හම්බුණොත් වචන දෙක තුනක් වත් කතා නොකර අපි යන්නෙ නෑ.

ඉතිං උසස් පෙළට ආවට පස්සෙ මම ගණිත අංශය ‍තෝර ගනිද්දි ඇය ජීව විද්‍යා අංශය ‍තෝරගත්තා. ඒක නිසා නිතරම පංති යනකොට ඇයව දකින්න ලැබුණා.ඔන්න ඔය කාලෙ තමයි මගේ හිතේ ඇය ගැන අදහසක් පහළ වුණේ. 

ඇගේ නම 'නදී'. ඇගේ ලස්සනම ලස්සන සිනහවයි, හැමෝම එක්ක හිනාවෙලා කතා කරන එකයි තමයි මම ඇගේ ආසම කරපු ගති ලක්ෂණය. ඉතින් උදේ පාන්දර පන්ති යනකොට පංතිය ලඟදි හම්බුණාම "Good morning" කියල මුව පුරා හිනාවෙලා කියන ඇයට මම හිතින් ආදරය කළා. එදාට ඉතින් දවසම හරිම සතුටින් තමයි ඉන්නේ.

ඒ දවස් වල මම පංතියෙ තරමක් කැපී පේන ශිෂ්‍යයෙක්. දැන් කෙළවරක් නැති ගොං වැඩ කළාට ඒ දවස් වල වැඩට එහෙම දක්ෂ, ගුරුවරුන්ගෙ ආදරය එහෙම දිනාගත් ළමයෙක්.ඒක නිසා පංතියෙ ළමයි අතර ලොකු පිළිගැනීමකුත් තිබ්බා කියල හිතනවා. මේ නිසාම මං ඇයට "Good morning", "ඉතිං කොහොමද නදී...?" වගේ දේවල් කියනකොට ඇය කොහෙත්ම හිතන්න නැතුව ඇති මේ නම් වලත්තකමට තමයි කියලා. (ඔන්න ඕක තමයි නංගී,මල්ලී උඹලට මං කියන්නෙ හොඳට ඉගෙනගනිං කියලා.. :-D)

මං කොහොමත් වාත වෙවී කෙල්ලො පස්සෙ යන්න නම් කොහෙත්ම කැමති නෑ...කෙල්ලෙක් පස්සෙ ගිහිල්ලා කැමතිද අහලා බෑ කිව්වොත්, "බැරිනම් ඉතිං නිකන් ඉන්නවා, වැඩේමයි...රටේ ලෝකෙ තව කෙල්ලො නැද්ද?"  වගේ දෙයක් මගේ මුවින් පිටවෙයි කියලා මට බයයි. 

මම chemistry class ගියේ ඇඹිලිපිටීයේ "සරසවි" ආයතනේට. ටකරං සෙවිලි කරපු වහලක් යට ඉදේ ඉඳං හවස් වෙනකම්ම තැම්බෙන තැම්බිල්ල කියලා වැඩක් නෑ. කස්ට කාගෙනම කොහොම කොහොම හරි පංති ගියේ A/L විභාගෙ ගොඩ දාගන්න ඕන නිසා.

දවසක් chemistry revision class එකේදි මායි, මගේ යාලුවො ටිකයි ඉන්න පේළියට සමාන්තරවම වගේ ඇයත් යාලුවොත් එක්ක වාඩි වෙලා හිටියා.පංතියේ ඉන්න ගමන් ඉඳ හිට ඒ පැත්ත බැලුනේ ඉබේටම වගේ.ඇයත් එක්ක හිනා වෙන්න ,කතා කරන්න ආසාව තිබුණත් අවස්ථාවක් නම් උදා වුණේ එහෙමත් දවසක තමයි. 

ඔන්න ඔහොම ඉන්න වෙලාවෙ මගේ ටිකිරි මොලේට ආව නියම අයිඩියා එකක්!!! මද්දහන වෙලාව නිසා මට හොඳටම වතුර තිබහ විය යුතු බව මට කල්පනා වුණා. ගෑණු ළමයි ළඟ නම් වතුර නොවැරදීම තියෙනවා.කොල්ලො ළඟ කවදද වතුර තිබුණේ? මාත් අවසන් වතාවට වතුර බෝතලයක් අරගෙන ඉස්කෝලෙ ගියේ 8 වසරෙදි වගේ බව මට ලාවට මතකයි.

අපේ උන් ළඟ වතුර නැති බව හොඳටම දැන දැනත් මම  "මචං...වතුර නැද්ද බං?...මාරම තිබහයිනෙ...."කියලා වට පිටාවෙ ඉන්න කොයි කාටත් ඇහෙන්න ඇහුවා.ම්හ්හ්හ්....කාගෙන්වත් නෑ ප්‍රතිචාරයක්. ඊ ළඟට කරන වැඩේ හැමෝම දන්නවනේ. මම හැරුණා ගෑණු ළමයින්ගෙ පැත්තට.ෂෙහ්හ්...කෝ අරයා නෑනෙ පැත්තවත් බලන්නෙ....මම බොහොම දුකින් ඒ පැත්ත බලාගෙන හිටියා.ඔය අතරේ නදී අසල සිටි ඇගේ යාලුවා මගෙ දිහා බැලුවා.

"ආහ්හ්...අනේ හලෝ වතුර නැද්ද? අරයගෙන් ඉල්ලල දෙන්නකො..."මං ලද අවසරයෙන් ඇයට කිව්වා.

"නදී....අන්න අරයා වතුර ඉල්ලනවා" ඇගේ මිතුරිය ඇයට කිව්වා.

අපේ පැත්ත බලල හිනාවුණු ඇය වතුර බෝතලය අපිට දුන්නා.හෆ්ෆා...දැනුනු සං‍තෝසෙ..මං වතුර බෝතලේ අරගෙන බොහොම ගෞරවයෙන් ඉන් ටිකක් පානය කළා.

"අඩෝ අපිටත් දීපන්...අපිටත් දීපන්" එහෙම කිව්ව මගේ අතිජාත කඩාකප්පල්කාරී මිත්‍රයො ටික එක හුස්මට බෝතලේ හිස් කළා.මදැයි...දැන් මොකක්ද කියන්නේ?

ඔන්න ඔය වෙලේ තමයි මට කවි සිතුවිලි පහල වුණේ. මං කොහොමත් ඒ දවස් වල ඉඳලා කවි ලියන්න චුට්ටක් විතර දක්ෂයි. මං ගත්තා කොළ කෑල්ලක්. වැඩි වෙලා ගත කරන්නත් බෑ.සර් අරෙහේ nunstop උගන්නනවා. ලෝක අමාරුවෙන් පද පේළි 4ක් align කරලා පොඩි කවියක් ලියා ගත්තා.දැම්මා ඒක හිස් බෝතලේ ඇතුලට.දුන්න බෝතලේ. 

බෝතලේ අතට ගත්තු ඇය දැක්ක බෝතලේ ඇතුලෙ තියෙන කොල කෑල්ල.ඔන්න මම එවෙලෙම ටක් ගාල නැවත පාඩමට හිත යොමු කළා.සර් හෝ ගාල බෝඩ් එකේ ගාණක් ලියනවා.ටිකක් වෙලා ගාණ පිටපත් කළ මං නැවත අර දිහාවට රබර් ඇස යොමු කළා.මෙන්න බොලේ එයා කවිය බල බල යාලුවො ටිකත් එක්ක හයියෙන්ම හිනාවෙනව.

( පුදුම සිද්ධිය කියන්නේ අපි යාලු වෙලා හරියටම අවුරුදු 3ක් ගිය දවසේ ඇය මං අර ලියපු කවිය සහිත කොළ කෑල්ල මට තෑගි කළා.ඇය සෑහෙන කාලයක් ඒක පරෙස්සමින් තියාගෙන තිබුණා. )මේ තියෙන්නෙ ඒ ඓතිහාසික කවිය තමා.


ඉතිං ඔන්න ඔය විදියට බොහොම සුන්දර ලෙස අපේ A/L කාලය ගෙවිලා ගියා.මම ඇයට කැමැත්තෙන් හිටිය බවක් ඇය ඒ වන තුරුත් දන්නෙ නෑ. මම ඒ බවක් අඟවන්න ගියෙත් නෑ.මගේ උද්දච්චකමට මම බොහොම ඩීසන් විදියට හිටියා. කොහොම කොහොම හරි A/L විභාගය ආවා.පංති නැවතුණා.විභාගෙත් ලිව්වා.දැන් කොල්ල ගෙදර.

 ඔහොම මෙලෝරහක් නැතිව ජීවිතය ගෙවෙද්දි ජීවිතේ අතිශය වැදගත් දවසක් උදා වුණා.එදා මොකද වුණේ කියල දන්නවද? හ්ම්ම්වාහ්හ්හ්....නිදිමතයි ඕයි!!! ඒක ඊ ළඟ කොටසින් කියන්නම්...(ප්‍රතිචාර හොඳ වුණොත් ඊ ළඟ කොටස දානවා අද හෙටම... :D )


(දෙවන කොටස මෙතැනින්)

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

Friday, August 3, 2012

මාගේ මංගල ගෙවල් බිඳීම හෙවත් ජීවිතේ චාටර්ම, පජාතම, කුජීතම දවස.

අධික කාර්යබහුලත්වය නිසා සෑහෙන කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවේ. A/L ටියුෂන් ක්ලාසුත් මේ සතියෙ ඉවර වුණු නිසා දැන් ටිකක් විතර නිදහස්.මං මේ කියන්න යන කතාව මතක් වෙනකොටත් මට තනි ඇහැට ඇඬෙනවා. මේ තරම් චාටර් දවසක් නම් මගේ ජීවිතේටවත් තිබුණා කියලා මට මතක නෑ. මොකටද තව වැල් වටාරං... කෙළින්ම බහිමු ඉට්ටෝරියට.

මේ මහා ශ්‍රේෂ්ඨ දවස 2012.08.01 හෙවත් මං මේ පෝස්ට් එක ලියන දවසට සාපේක්ශව ඊයේ කියලා කිව්වැහැකි. ඔන්න මං 07.31 වැනි අඟහරුවාදා සුපුරුදු පරිදි වැඩට ගියා.(වැඩට කිව්වට training). 

ලංකාවයි, ඉන්දියාවයි අතර අද මැච් එක හවස 2.15 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ නිසා මායි, මාලකයයි දත කට මැදගෙන ටිකක් විතර කලින් කලින් යන්න බලාගෙන උන්නා. මොන මැච්ද? office එකෙන් එළියට එනකොට 5ත් පහු වෙලා.දඩ බඩ ගලා බයික් එකට නැගලා ගියා ground එකට.



 අපේ කරුමෙට ලංකාව ඉස්සෙල්ලා ගහලා තියෙන්නේ.අපේ උන් ගහන අන්තිම චුට්ට හරි බලන්න කියලා හිතාගෙන දුවල දුවල ගියා. ෂෙහ්... ජරා දවස කියන්නෙ අපි ඇතුලට යනකොටම අන්තිම බෝලෙට රංගන හේරත් ගහන්න සෙට් වෙනවා.මදැයි දුවගෙන ආවා.කමක් නෑ ඔය බෝලෙවත් බලනවා කියලා හිතාගෙන එල්ලගෙන ආපු බෑග් මලු ටික තියන්න සුදුසු තැනක් බැලුවා.එකපාරටම මිනිස්සුන්ගේ ප්‍රීතිඝෝශා සද්දෙට මට ground එක දිහා බැලුනා.

නොදකින් ඒ ටිකට අන්තිම බෝලෙත් දාලා.රංගන හේරත්ගේ ඒ දුර්ලභ 6 පාර දැක ගැනීමේ අවස්තාවත්  මට මිස් වුණා. ඔන්න ඔය ආකාරයට අතිශය පජාත පැය 24ක ආරම්භය සනි‍ටුහන් වුණා.

දැන් ඉතින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අර කෝලි කුට්‍ටුවා  ගහන එව්වා බලන්න සිද්ධ වෙනවා. ඒ වාසනාවත් අපිට උදා කරමින් කෝලියා ශතකෙකුත් ගහමින් ලංකාවට පරාජය අත්පත් කරදුන්නා. මදැයි හෙන කස්ටක් කාලා මැච් එකක් බලන්න දුවගෙන ආවා.

දැන් ඉතින් ඇඟේ පතේ අමාරුවයි, හිතේ අමාරුවයි දෙකම යන්න ගෙදර ගිහින් කාලා හොඳට බුදියගන්න ඕනි කියලා හිතාගෙන මහ රෑම එන්න පිටත් වුණා.

දැන් තමා ඉස්ටෝරියෙ හොඳම හරිය එන්නේ. මම ඉන්නෙ මහරගම, අපේ බාප්පගෙ ගෙදර නැවතිලා.වැඩට එන්නත් පහසු නිසා මං එහේ තමා හිටියෙ.මීට දවස් දෙකකට කළින් බාප්පයි පුංචියි දෙන්නා ඇඹිළිපිටි යන්න ගියා. ආපහු එන්නෙ පෝයත් පහුවෙලා නිසා මේ දවස් ටිකේ මං විතරයි ගෙදර හිටියේ. ඒක නිසා උදේ වැඩට යනකොට මං හොඳට ගෙවල් දොරවල් ලොක් කරලා, යතුරත් පරිස්සමට යන යන තැන අරගෙන ගියා.

ඉතින් ඔන්න මං මැච් එක බලලා බොහොම මහන්සි වෙලා ඇවිත් මහ රෑ ගෙදරට ආවා. කරුවලේම යතුර බලන්න සාක්කුවට අත දාපු මට අහුවුනේ ෆෝන් එකයි ලේන්සුවයි විතරයි. මං අනික් සාක්කුවත් බැලුවා.

දෙයියෝ සාක්කි!!!
යතුර නෑ.
                                                                   

කලබල වුණු පාරට මම එල්ලගෙන හිටපු බෑග් එක එතනම හලලා ඒකෙ තිබුණු බඩු බාහිරාදිය එකින් එක චෙක් කළා.මං හිතුවා හරි.යතුර නෑ. දැන් ඉතින් මොකද කරන්නේ? මෙහෙව් චාටර් එකක්නම් මතක ඇති කාලෙකින් කාල නෑ. කෙසේ හෝ අද රාත්‍රිය අහසේ තරු බලමින් ගත කරන්න වෙන බව මට තේරුණා. මදුරු ඇටෑක් මැද්දෙ මං එළියට වෙලා පැය බාගයක් විතර ගත කළා.මේකනම් තවත් ඉවසන්න බෑ. ගෙයි තව යතුරක් කොහේ හරි ඇතිනේ කියලා මගේ මොලේට එකවරම මතක් වුණා.වහාම ක්‍රියාත්මක වුණු මම අපේ පුංචිගෙ නම්බරේ ඩයල් කළා. මගේ වැඩ කෑල්ල අහපු පුංචිටත් කේන්ති.

"අනේ පුංචි, තව යතුරක් එහෙම නැද්ද...?" මං බලාපොරොත්තු දාහක් හිතේ දල්වගෙන ඇහුවා.

"ආ... තව එකක් තිබුණා". පුංචි එහෙම කියද්දි මට මාරම ‍ෆිට්.මගේ දවස හිතුව තරම් චාටර් නෑ වගේ.

"කෝ කොතනද ඇත්තේ...?"

"ගෙයි ඇඳ විට්ටමේ රතු පාට hand bag එකක් එල්ලලා ඇති, ඒකෙ තමා ඇත්තෙ".
හි ..හි... සං‍තෝසෙ බෑ.... ඇයි හත්තිලව්වෙ මම ඔය කියන යතුර ගන්න ගෙට යන්නෙ කොහොමද? ඒ වැඩේ හරිගියෙත් නෑ.

ආයෙ සුපුරුදු පරිදි කුස්ගින්න, තෙහෙට්‍ටුව සමග මදුරු අටෑක් පටන් ගත්තා.දැන් මධ්‍යම රාත්‍රියත් ළඟා වෙළා. මට ළඟදි බලපු වැම්පය(ර්) ඩයරීස්, නරලොව හොල්මන්, බහුබූතයෝ වගේ චිත්තරපටි එහෙමත් මතක් වෙන්න ගත්තා. ඔය ආකාරයෙන් තව ටිකක් වෙලා ගත වුණා. 

මට මහරගම දෙහිවල පාරේ ඉන්න අපේ තව නෑදෑ කෙනෙක් මතක් වුණා. එහෙට ගිහින්වත් රෑ ඉඳලා උදේට කරන දෙයක් කරන්න ඕනි කියලා හිතාගෙන එහෙ නම්බරෙත් ඩයල් කරා. ඒ මිනිස්සුන්ගෙත් නින්ද කඩලා මගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න මට සිද්ධ වුණා.කොහොම කොහොම හරි මට යන්තම් එහෙට ගිහින් එදා ‍රැය වැඩට ඇඳන් ගිය ඇඳුම් පිටින්ම ගත කිරීමේ දුර්ලභ අවස්තාවත් මට උදා වුණා.

පහුවෙනිදා හිමිදිරි උදෑසනම මම ගේ බිඳීමේ මහා සංග්‍රාමයට පිටත් වුණා. ගේ වටේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙච්ච මට අල්ලපු ගෙදර අංකල් පස්ටම අයිඩියා එකක් දුන්නා.

"පුතා...ලීයක කොක්කක් ගැට ගහලා, ඒක බීරලු අස්සෙන් දාලා, ඇඳ විට්ටමේ එල්ලලා තියෙන බෑග් එක ඇදලා ගන්න.වැඩේ හරිනේ...."අංකල් කිව්වා. 

කිව්වත් වගේ ඒකත් නරකම නෑ.මං වැඩේට අවශ්‍ය කරන ලීයක් කපාගන්න එළියට බැස්සා.

හුටා....!!! එතකොට මතක් වුණේ මං ඉන්නේ කොළඹ කියලා.මේ හරියෙ ලී කපන්න වෙන්නෙ ලයිට් කනුවකින් තමයි.මොන ලී ද?

ගේ වටේ වටයක් ගිය මට දිග එක්ස්-ලෝන් බට වයක් හම්බුනා.මේව ටිකක් එකට සෙට් කරගත්තනම් වැඩේ හරි බව මට අවබෝධ වුණා. අංකල්ගෙන් පරන රෙදි පටි ටිකක් ඉල්ලගෙන ඒව එකට තියලා බැන්දා.ඊ ළඟට ලෝක අමාරුවෙන් යකඩ කොකු කෑල්ලක් හදලා ඒ කෙළවරට ගැට ගැහුවා. දැන් වැඩේ හරි. බඩගින්නයි, ඇඟේ අමාරුවයි එක්ක මං ඒකත් අරන් ජනේලෙ ගාවට ගියා. 

කෙළිය තාප්පෙට!!! 
බීරලු තිබුණට ඒවට උඩින් දැල් ගහලා.පෙනේරෙක විතර සිදුරු තියෙන දැල්.ඕක අස්සෙන් කොහොමද මේ බටේ දාන්නෙ?



මෙහෙම දවසක් මගෙ තරහකාරයෙකුටවත් එන්න හොඳ නෑ. මගෙ මහන්සිය වතුරෙ නිසාත්, ගෙට යන්න තිබුණු තදබල උවමනාව නිසාත් මං දැල කෙළවරින් ටිකක් කඩලා දැම්ම.
දැන් බීරලුව අස්සෙන් බටය දාන්න පුලුවනි.යන්තමින් උඩකට නැගත්තු මං බීරලුවෙන් එබිලා බැලුවා.අනේ රතු පාට බෑග් රාජයෙක් ඇඳ විට්ටමේ ඉන්නව නේන්නම්.රතු පාට විතරක් නෙවෙයි, රෝස පාට, සුදු පාට හා කලු පාට වලිනුත් තව බෑග් 3ක් එතන තිබුණා.


මම බටය එතැනට ළං කලා.කොහෙ කොක්ක දාන්නද? එස්-ලෝන් බටේ මෑ කරල වගේ නැමෙනවා. මගෙ බෙල්ලත් දැන් කැඩෙන්න තරම් රිදෙනවා.ඒ මදිවට බීරලු අස්සෙ තියෙන දූවිලිත් මගෙ ඇස් දෙක පුරාම. දැඩි අධිෂ්ඨානයයි, කැපවීමයි නිසා මට යන්තම් බෑග් එකට කොක්ක දාගන්න පුලුවන් වුණා.
මට දැනුණු ප්‍රීතිය මෙතෙකැයි කියන්න බෑ.මං බොහොම පරිස්සමින් බෑගය ඇදලා බීරලුව අස්සෙනුත් ඇදලා එළියට ගත්තා. හැමදාමත් වගේ අදත් දෙයියො මගෙ දිහා බලලා. 

"ඒකෙ යතුර නෑ..."

                                                                      

දැන් නම් මට ඇඬෙන්න වගේ.ඒත් එක්කම මට මතක් වුණා රතු පාට බෑග් එක කිව්වෙ රෝස පාට එකටද දන්නෙ නෑ කියලා. නැවත වතාවක් අර වගේම පරිශ්‍රමයක් දරලා රෝස බෑගයත් එළියට ගත්තා.

එළම කිරි. "යතුර ඒකෙත් නෑ". 

දැන් නම් මට ඉවසීමේ සීමාව පනින්න ඔන්න මෙන්න.මගෙ හිත කිව්වෙම යතුර අනික් බෑග් දෙක්න් එහෙක ඇති කියලා.දන්නැද්ද, අපිට වගේ නෙවෙයි, ඔය ගෑණුන්ට සිහි කල්පනාව නෑ කොයි බෑග් එකේද යතුර තිව්වෙ කියළා.

මං ඉතින් for loop එකක් දාලා ඉතිරි බෑග් දෙකත් ලෝක අමාරුවෙන් එළියට ගත්තා.උනේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.බෑග් 4ත් දැන් ගන්නම දෙයක් නෑ.බීරලු අස්සෙන් ගනිද්දි ඒවයෙ දූවිලි ගෑවිලා,විනාස වෙලා. තවත් මේ වැඩේ කරන්න බෑ.මං පුංචිට කෝල් එකක් ගත්තා. 

කරුමෙක මහත!!! 
මෙච්චර වෙලා battery low වෙලා තිබුණු ෆෝන් එක එහෙම්මම off වුණා. අල්ලපු ගෙදර අංකල් කිව්ව එයා දන්න යතුරු කපන තැනක් තියෙනව, එතනට ගිහින් මිනිහව එක්ක එන්න, එයා මොකක් හරි කියාවි කියලා.අංකල්ට ෆෝන් එක චාර්ජ් කරන්න දීලා, මං අදාල යතුරු කපන්නා සොයා පිටත් වුණා. 

අයියෝ සල්ලි!!! 
ඒ කඩේ වහලා තිනුණම මතක් වුණේ අද පෝඅය කියලා. ඒ වැඩෙත් ඉවරයි.මං ආයෙ ඇවිත් පුංචිට call එකක් ගත්තා.

"පුංචි, බෑග් 4ක් එළියට ගත්තා.... එකකවත් යතුර නෑනේ.හොඳටම ෂුවර්ද බෑග් එකක ඇත්තේ කියලා..?"

"ඔව් ඔව්.රතු පාට එකේ"



"ඉතින් මං රතුපාට එකෙත් බැලුවනේ.ඒකෙ නෑ" මං ඇඬුනු ස්වරයෙන් මා මෙතෙක් කළ කී දෑ අ‍ටුවා ටීකා සහිතවම කිව්වා.

"ඕව නෙවෙයි ළමයෝ..ඇඳේ අනික් කෙළවරේ ඇඳ විට්ටමේ තව රතු පාට hand bag එකක් ඇති.ඒකෙ තියෙන්නෙ.මං නම් හිතන්නෑ එතෙන්ට ඔය බටේ දාලා ඇදල ගන්න පුලුවන් වෙයි කියලා.එතනට ගොඩක් දුරයිනේ..."

අනෙ අම්මපල්ලා මට ආපු කේන්තිය.

රටේ ලෝකෙ වෙන hand bag නැතුවද මේ තරම් රතු පාට hand bag ම එකතු කරන්නේ? කෝකටත් කියලා මගේ කේන්දරේ බලවගත්තනම් හොඳයි කියලා මට එවෙලෙ හිතුනා.

දැන් ඉතින් මොකද කරන්නේ? තව ටිකක් කල්පනා කරපු මම අවසන් තීරණයකට එළඹුණා.

අල්ලපු ගෙදර අංකල්ගෙන් නියනක්,අඬුවක්, මිටියක් වගේ අයිටම්ස් ටිකක් ඉල්ලගෙන මම ගියා පිටිපස්සෙ ජනේලෙ ළඟට. හ්ම්ම් ජනෙල් දොරවල් 4ක් තියෙනවා.ජනේලෙයක් කොහොම හරි ඇරගත්තොත් ග්‍රීල් එක ගලවගන්න පුලුවන් කියල මට හිතුණා.

සියලුම දහිරිය යොදලා ඉංජිනේරු වැඩ කෑල්ලක් දාලා මං වම් කෙළවරේ  ජනේලෙ ඇරගත්තා. 

මළා.. !!!
මේකෙ ග්‍රීල් එක ඇණයෙන් හයි කරලා ඇණේ හිස වෙල්ඩින් ඩොට් එකක් තියලා.නියනෙන් ඒක ගලවන්න බෑ.මට ග්‍රීල් හයි කරපු එකාගෙ...(නෑ නෑ ඒක ඕන නෑ)


මී ළඟට මං ඉතිරි ජනේල 3ත් නිරීක්ෂනයට ලක් කළා.දකුණු කෙළවරේ ජනේලෙ ග්‍රීල් එක නම් ගලවන්න පුලුවන් මට්ටමක තියෙන බව පේනවා.ඒත් ඒ ජනේලෙ ඇරගන්න බෑ.

මං කළේ වම් කෙළවරේ ජනේලෙ ග්‍රීල් එක ඇතුලෙන් අත දාලා දෙවැනි ජනේලෙ ඇරගත්තු එක.මී ළඟට අනුපිළිවෙලින් 3ත් 4ත් ඇරගත්තා.දැන් හරි.දැන් ඉතින් ග්‍රීල් එක ගලවන්න තියෙන්නේ.

මං සියලුම වෙර වීරිය දාලා යට ඇණයක් ගලවගත්තා.දැන් නම් ටිකක් විතර හිතට සැනසීමයි.කිචන් එකේ එල්ලි එල්ලි උන්නු පෙති කපපු පාන් ගෙඩියක් මගේ වැඩ කෑල්ල දිහා බලාගෙන ඉන්නවා.

"හිටපන්කෝ..මම එනකම්... අද මම ‍තෝව ඉවරයක් කරනවා ආපු ගමන්" එහෙම හිතාගෙන මම තව ඇණයක් ගැලෙව්වා....දැන් උඩ ඇණ්යයි යට ඇණයයි ගලවල ඉවරයි. 

කරුමෙක මහත!!! 
අනික් ඇණ දෙකේ වෙල්ඩින් ඩොට්!!!

මේව නම් තව ඉවසන්න බෑ.මං ඇඟේ තිබුණු හයිය දාලා ගැහුවා පයින් ග්‍රීල් එකට.

"ජරස්.." ශබ්දයක් නගමින් මට රිංගා ගත හැකි තරමට ග්‍රීල් එක කැරකුණා.අනේ හිතේ ඇති වෙච්ච සතුට... මෙච්චර සතුටක් මගේ පුංචි හිතට දරාගන්න පුලුවන් වේවිද මන්දා...

මම ඉක්මනට ගෙට රිංගලා ඉස්සෙල්ලාම බැලුවේ අර කිව්ව hand bag එක තියෙනවද කියලා. 

පුංචි කිව්ව හරි.ඔය ඉන්නෙ යස අගේට ඇඳ විට්ටමේ එල්ලි එල්ලි.කිව්ව වගේ යතුරත් ඒකෙ තිබුණා. මට ආපු කේන්තියට චුයින්ගම් එකක් වාගෙ යතුර කාගෙන කාගෙන යන්න මට හිතුණා.

හ්ම්ම්ම්... කොහොම හරි පුංචිලා, බාප්පලා එන්න කලින් නිවස යථා තත්වයට පත් කරන්න ඕනි නිසා මං ඉක්මනින් අර පාන්  මල්ලිව කොටා බාල ග්‍රීල් එක තිබුණු විදියට හයි කළා.


මී ළඟට අර hand bag හතර. ඒවනම් ගන්න දෙයක් නෑ.මං ඒවා බීරලු අස්සෙන් එළියට ඇදපු නිසා කුණු දූවිලි ගෑවිලා ඉවරෙටම ඉවරයි.

අද පෝය නිසා මං A/L class එකක් දාගෙන තිබුණේ උදේ 8.30ට.දැන් වෙලාව 11.30යි.මොනව කරන්නද?රතු,රෝස,සුදු, කලු hand bag 4ට surf excell එකක් දාල මම ගියා class. 

හ්ම්ම්ම් A/L විභාගෙ මේ එන සඳුදා නිසා අදින් classes  නැවැත්තුවා.

ෂෙහ්.. !!!
හරිම නරක කාලයක් තමයි.දැන් ඒ income එකත් නෑ.

හෙට පුංචිලා එනව කිව්ව නිසා මම ආපු ගමන් අර hand bag 4 සෝදන්න කියලා ලෑස්ති වුණා. මම බලනකොට බාස්කට් එකේ රතු පාට hand bag 3කුයි කලු පාට එකයි තියෙනවා.මේක වෙන්න බෑනේ.

මට හොඳටම විස්වාසයි කලු,සුදු,රතු,රෝස පාට bags තමා තිබුණේ කියලා. මම තව ටිකක් ළං වෙලා බැලුවා.

හපොයි විනාසයි!!! 
අර රතු පාට hand bag එකේ සායම් ගිහිල්ලා සුදු පාට hand bag එකත් රතු පාට වෙලා. !!!




අනේ දෙයියො මෙහෙම එලව එලව මගේ මූණ දිහා බලයි කියල මං හීනෙන්වත් හිතුවෙ නෑ.
මෙව්වට විශේෂ පිං ජාති කරල තියෙන්න ඕනෑ.කවුරුවත් මට ඉරිසියා කරනව එහෙම නෙවි. 

ඉතිං වැඩිම කාලයක් රෙදි සේදීමේ  record එකක් තබමින් මං අර බෑග් ටික සේදුවා.මේ වගේ පජාත,කුජීත,චාටර්(#@!$%^&*%) දවසක් නම් මගේ ජීවිතේ මෑත භාගෙ නම් තිබිල නෑ.

හැබැයි නරකයි නරකයි කිව්වට දවසේ එක හොඳ වැදගත් කමක් තිබ්බා. ඒ තමයි පෝය හින්දා සියලුම 'වස' කඩවල් වසා තිබීම. එහෙම නොවුණනම් මට වුණු අකරතැබ්බ වල හැටියට මොන ගෑණිද මිනිහද ඉවසන්නේ ? :D ;D  


ප.ලි. - සියලුම ගෙවල් බෙඳීම්, දොර ජනෙල් කැඩීම් ඇතුලු ඒ හා සම්බන්ධ සියලුම වැඩ භාරගනු ලැබේ!!! සහනදායී අයකිරීම්!!!







කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

උඩට යන්න මෙතන click කරන්න.