Thursday, August 23, 2012

දෙවියනේ!!! අර නදී නේද? - මගේ ආදර කතාව - දෙවන කොටස

මගේ ආදර කතාවේ පළමු කොටසට ලැබුණු ඉහළ ප්‍රතිචාර වලට හැමදෙනාටම බොහොම ස්තුති. ගොඩක් දෙනා කතා කරලා, message කරලා දෙවන කොටස ගැන නිතරම අහපු නිසා ඔන්න ඉක්මනින්ම ඒකත් ලියලා ඉවර කළා. අනේ මන්දා...උඹලටත් ඉතින් අනුන්ගේ ඕපදූප කියවන්න තියෙනවනම් වෙන මුකුත් එපා...හ්ම්ම්..හරි හරි ඔන්න එහෙනම් හැමෝම අහගන්න.

A/L විභාගේ ලියලා ගෙදරට වෙලා හිටපු මට දැන් ඉස්සර වගේ සැලකිළි නෑ. වෙනදා පාඩම් කරනකොට ළඟට ඇවිත්
"තේකක් ඕනිද පුතේ?" , "දවල්ට මොනවද උයන්නේ? අරව තියෙනවා, මේව තියෙනවා..." වගේ දේවල් කියපු අම්මත් දැන් මම තේකක් ඉල්ලුවම,
"මේ මොන කරදරයක්ද? හදාගෙන බොන්නකො අනේ...TV බල බල ඉන්නවා, කරන වැඩකුත් නෑ..." වගේ වාඛ්‍ය ඛණ්ඩ ගෙන හැර පාන්න පටන් අරන්. ඒ මදිවට කඩේ යන්න, නැන්දලගෙ ගෙදරට දුවල එන්න, පේමන්ට් එක පොඩ්ඩක් අතුගාල දාන්න වගේ බරපතල ටොපි මට නිතර නිතර සෙට් වෙන්න ගත්තා.

ඔන්න ඔය වගේම ටොපියකින් තමා මගේ ඉතිහාසෙ වෙනස් වුණේ.

"පුතේ, නංගිට හෙට උඩගම ඉස්කෝලෙ 'සිංහල භාෂා තරඟ' තියෙනවා, ඔයා හෙට එයාව එක්ක ගිහින් ඉවර වෙනකම් ඉඳලා එක්ක එන්න හොඳද? " අම්මා තවත් ටොපියක් මට සෙට් කළා. අම්මා ඒක කියලා ඉවර වෙන සැනින් මං මගේ default උත්තරේ දුන්නා.

" අනේ අම්මෙ, හෙට නම් කොහොමවත් බෑ..."

"බෑ..? ඇයි මොකක්ද ඔයාට තියෙන වැඩේ?" අම්ම එහෙම අහද්දි තමා මං ඉක්මනට කල්පනා කළේ දෙන්න සුදුසු උත්තරයක්..ම්හ්හ්..මගේම කරුමේ.වෙනදා වැල නොකැඩී මගේ කටට එන බොරු එකක්වත් එදා මගේ කටට ආවේ නෑ.

"කෝලං කරන්නැතුව හෙට නංගිව එක්ක යන්න" එහෙම කියපු අම්ම ගස්සගෙන කුස්සිය පැත්තට ගියා. අපේ දෙබස අහගෙන හිටපු නංගි කිණ්ඩියට වගේ මගෙ දිහා බලල හිනා වුණා.

"හිටපන් උඹට මම..." කියමින් නංගිට ටොක්කක් අනින්න මං ගනිපු වෑයමත් අසාර්ථක උනේ මේකි දඩ බඩ ගාල "අම්මේ...." කියාගෙන කුස්සියට දුවපු නිසා.


මොනව කරන්නද? පහුවෙනිදා උදේම මම, හෝදපු නැති කලිසමයි, කළින් දවසෙ town ඇඳපු ෂර්ට් එකයි ඇඳගෙන මොකාද එකා වගේ නංගිත් එක්ක ගෙදරින් පිටත් වුණා. තරඟ තියෙන්නෙ අපේ ඉස්කෝලෙ නොවන නිසා නංගිට තරඟ තියෙන hall එක හොයා දෙන්නත් වුණා.

"හ්ම්ම්ම්...මේකෙ තමා තියෙන්නෙ.එහෙනම් හොඳට ලියන්න හොඳේ.බය වෙන්නෙපා.දන්න ටිකට ඉස්සෙල්ලා ලියන්න.මං ඉන්නෙ අර ගේට්‍ටුව ළඟ කොහොඹ ගහ ගාව බංකුවේ...ඉවර උණාම එතනට එන්න. කොච්චර වෙලා තියෙනවද ඕක?"

"පැය දෙකයි"

"හ්ම්ම්...හරි හරි මං යනව.එතනට එන්න".

නංගිව අදාල තැනට දාල මං ගේට්‍ටුව ළඟ තිබුණු පොඩි කොන්ක්‍රීට් බංකුවේ වාඩි වෙලා හිටියා. ටිකක් වෙලා එහෙ මෙහෙ බල බල හිටපු මං  දැකපු දෙයින් මං බොහොම කලබලයට පත් උණා.

"මළ කෙළියයි!!! නදී නේද?" මං මටම කියාගත්තා.

හිතේ එක පැත්තක අමුතුම සතුටක් ඇති වුණත් ඒ එක්කම මට මාත් එක්කම කේන්තියක් ඇති වුණා. "ෂෙහ්හ්... අපතය වගේ ආවනෙ.කොහොමද ළඟට ගිහින් කතා කරන්නෙවත්..." මං මටම බැන ගත්තා.
දුර තියාම මාව දැකපු නදී ඇගේ ලස්සනම ලස්සන හිනාවෙන් මුව සරසාගෙන මං දිහාවට ආවා.

"හලෝ... ඔයා මොකද මෙහේ?" ඇය හිනාවෙවීම මගෙන් ඇහුවා.

"අපේ නංගිට සිංහල භාෂා තරඟ නිසා එක්කං ආවා" මං ටිකක් කලබල ගතියෙන් උත්තර දුන්නා.

"ෂා... එහෙමද? මාත් අපේ නංගි තරඟ වලට එක්ක ආවා"

"ආ... නංගි කෙනෙකුත් ඉන්නවද ඔයාට? " මම ඇහුවා.

"ඔව්. එයාව ගෙනත් දාන්න ආවේ. දැං ඉතිං ඉවර වෙනකං මෙතන ඉන්නත් කම්මැලිනේ.මේ ළඟ අපේ යාලුවෙකුගෙ ගෙදරක් තියෙනවා.මං එහේ ගිහින් ඉඳලා තරඟ ඉවර වෙනකොට එන්න හැදුවේ..." මදැයි සෑහෙන්න සං‍තෝසෙන් කයියක් ගහන්න සෙට් වුණා. සුපුරුදු පරිදි දෙවියන් මට ටොකු අනින්න පටන් ගත්තා.

"මං නම් තරඟ ඉවර වෙනකම් මෙතන ඉන්නවා..." මං එහෙම කිව්වා.

"ෂා... එහෙමද? එහෙනම් මාත් ඉන්නම්. අපි දෙන්නට කතා කර ඉන්න පුලුවන්නෙ.." ඇය එහෙම කියාවි කියල මගේ යටි හිත කිව්වත් ඇය කිව්වෙ වෙන එකක්.

"මං එහෙනම් යනව. 11 වෙනකොට එන්නම්. බුදු සරණයි!!!"



මං නැවතත් කොහොම ගහ යට බංකුවේ තනි වුණා. ජීවිතේ වටිනාම අවස්ථාවක් ගිලිහී ගිය බව මට දැනුණා. අපරාදේ... ඇගේ ලස්සනම ලස්සන හිනාව මගේ ඇස් ඉදිරිපිට මැවි මැවී පේන්න ගත්ත. ලොකු සුසුමක් හෙලලා මං ආපහු ඈත පංති කාමරයක් දිහා බලාගෙනම හිටියා.



වෙලාව ගත වෙනව මට දැනුනෙත් නෑ. ටික වෙලාවකින් කවුරු හරි කෙනෙක් මගේ ළඟට එන බව දැනිල මං ඔලුව හරවල බැලුවා.

"දෙවියනේ!!! නදී නේද?" මං එක පාරටම බංකුවෙන් නැගිට්ටා.

"හරි වැඩේනෙ අනේ!!! ඉෂාරා ගෙදර නෑ. ඒක නිසා මං ආපහු ආව..."

මට දැනුණු සං‍තෝසෙ කියල වැඩක් නෑ. "එළම කිරි!!!" ඒ වචනෙ මගේ කටින් පිට වෙන්න ගියත් මං ඒක බොහොම අමාරුවෙන් ගිලගත්ත.

ඉතිං අපි දෙන්න සෑහෙන වෙලාවක් A/L විභාගෙ පේපර් ගැන, අමාරු ප්‍රශ්ණ ගැන, අපේ සර්ල ගැන ආදී වශයෙන් ඉතා වැදගත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කරුණු කීපයක් සාකච්ඡාවට බඳුන් කළා. කොහොම කොහොම හරි අපි දෙන්න එදා ගොඩාක්ම හිතවත් වුණා.මීට කළින් ඇයත් එක්ක තනියම විනාඩි 5ක් වත් කතා කරල නොතිබුණු මට අද ඇගේ විස්තර ගොඩාක් දැනගන්න පුලුවන් උණා.

ඇයට ඉන්නෙ එකම එක නංගි කෙනෙක් පමණක් බවත් අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු බවත් මං දැනගත්තෙ එදා තමයි. අපේ තාත්තාටත් ලොවෙත් නැති කුඹුරකුයි, කෙසෙල් අක්කරේකුයි තියෙයි කියලා මං ඇයට කියන්නත් හදලා නොකිය හිටියෙ මොකටද නිකං පම්පෝරි ගහන්නෙ කියල හිතල.

පැය දෙක විනාඩි දෙකක් වගේ ගෙවිල ගියා.  තරඟ ඉවර වෙලා ළමයි එකා දෙන්න එළියට එන්න ගත්ත. දැන් මගේ හිතත් නොසන්සුන්. මම ඉක්මනට අනාගතය ගැන හිතල මේ වගේ දෙයක් කිව්ව.

"මගේ හැම යාලුවෙක්ගෙම වගේ phone numbers මගෙ ළඟ තියෙනවා. ඔයාගෙ විතරයි නැත්තේ...දෙන්නකො නම්බරේ, හදිසියකටවත් කතා කරන්න විදියක් නෑනේ..." මං එහෙම කිව්ව්. දැන් මගේ හිත ගැහෙනව.එයා වැරදියට හිතුවද දන්නෙ නෑ.

"මගේ ළඟ phone  එකක් නෑනේ...මේ තියෙන්නෙ අම්මගෙ එක." ඇය සිනහ මුසු මුහුණින් කිව්වා.

"ආහ්හ්... කමක් නෑ.එහෙනම් ඔය නම්බරේ දෙන්නකො"

"මේක අම්ම ළඟදි ගත්ත උපහාර සිම් එක.ඒක නිසා මට නම්බර් එක මතක නෑනෙ.ඉන්න මං මේකෙන් ring cut එකක් දෙන්නම්.කියන්නකො ඔයාගෙ නම්බර් එක..."

හතර විලි ලැජ්ජාවයි.මේච්චර දවසක් phone එකක් තිබුණු මම මී හරක වගේ ළඟදි ඒක විකුණ්නෙ වෙන phone එකක් ගන්න හිතාගෙන.දැන් මගෙ ළඟ phone එකක් නෑ. සිම් එක පර්ස් එකේ.

"ආ....මේ....මගෙ phone එක මං විකුන්නනෙ අලුත් එකක් ගන්න.හෙට එකක් ගන්න ඉන්නෙ. මං කියන්නම්.කෝ දෙන්නකො ඔයාගෙ phone එක.මං ඒකෙන් අපේ ගෙදරට ring cut එකක් දාල ගෙදර ගිහින් number එක save කරගන්නම්" ඔන්න ඔය විදියට අන්තිම මොහොතෙදිත් මම චාටර් වෙලා ගියා. ඇගේ phone එක අරන් මං අපේ පොඩි අයියගෙ phone එකට දුන්න ring එකක්.

ඔය අතරෙ අපි දෙන්නගෙ නංහිලා අපි හිටපු තැනට ආව.

"ආ...නදී , මේ ඉන්නෙ අපේ නංගි" මං මගේ නංගිව ඇයට හඳුන්වාදුන්නා.

"ආ... එහෙමද? අර ඉන්නෙ අපේ එක්කෙනා..." ඇයත් මට ඇගේ නංගිව හඳුන්වලා දුන්න.

අනේ බලන්න කොච්චර ෂෝක් නංගිලද කියල. මං නම් කැමතියි සතියෙ දවස් 7 ම වුණත් මෙහෙම තරඟ වලට නංගිව එක්ක එන්න.අයියල වශයෙන් මේව අපේ යුතුකම්.යනගමන් නංගිට ටොපියක් අරන් දෙන්න ඕන.එහෙම හිතාගෙන මමත් නංගිත් ඔවුන්ගෙන් සමු ගත්තා.


හිතට දැනුනෙ පුදුම සතුටක්.දැන් එයාට phone call එකක් ගන්න වුණත් හිතට බය නෑ.මොකද දැන් අපි හොඳට අඳුනන යාලුවොනෙ.ඉතින් ගෙදරට ගියපු ගමන්ම මම අයියගෙ phone එකෙන් ඇගේ number එක ගන්න හැදුවා.

විනාසයි!!!

phone එකේ එක missed call එකක් වත් සටහන් වෙලා නෑ. මම හොඳටම කලබල වුණා.

"අයියෙ, මේකට missed call එකක් එහෙම ආවෙ නැද්ද?" මම පොඩි අයියගෙන් ඇහුවා.

"ආ...ආව ආව.කවුද ඒ?"

"කෝ ඒත් මේකෙ numbers මුකුත් නෑනෙ..."මම ඇඬුණු ස්වරයෙන් ඇහුවා.

"දැන් නැතුව ඇති.මං ඒ සිම් එක ගලවල අනිත් එක දැම්ම දැන් ටිකකට කලින්"

"අයියෝ..." මට ඉබේටම එහෙම කියවුණා. හැමදේම නැතිවුණා වගේ හැඟීමක් මට දැනුණා. දැන් කාලෙ නම් විනාඩි 5න් දඹානේ වැද්දෙක්ගෙ වුණත් number එකක් හොයාගන්න පුලුවනි. ඒත් ඒ දවස් වල එහෙම හිතුණේ නැත්තෙ ඇයිද මන්දා.

මං ආයෙත් ඇගේ කටහඬක් වත් අහන්න නැතුව සති ගණනාවක් ගතකළා. ඇය අපේ අයියගෙ number එකට ආයෙ ගත්තෙත් නෑ. (පස්සෙ කාලෙක ඇය මට මෙහෙම කියනවා, "ඔයා මගේ number එක අරගෙනත් කතා කළේ නෑනෙ, මං හිතුවා ඔයා නිකමට ඉල්ලගන්නැති. ඒකයි කතා නොකළේ කියලා.ඉතිං මං කතා කරන එක හරි නෑනේ. ඒකයි මාත් කතා නොකළේ" )

කාලය ගෙවුණා.උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණා.එදා මට පුදුම සං‍තෝෂ දවසක්.ඒ මම විශ්වවිද්‍යාලයට තේරුණු නිසා විතරක් නෙවෙයි. ඇගෙයි මගෙයි ජීවිත කතාවෙ අලුත් පි‍ටුවක් එදා පෙරළුණු නිසා.

ඒ ගැන මං ඊ ළඟ post එකෙන් කියන්නම්. හැමෝම ආසාවෙන් කියවපු කතාව නිසා මෙගා ටෙලිනාට්‍යක් වගේ එපා කරවන්නෙ නෑ. ඊ ළඟ කොටසෙදි මං අනිවාර්යෙන්ම එයාට ආදරය ප්‍රකාශ කරනවා විතරක් නෙවෙයි, එයා මොකද කිව්වෙ කියන එකත් කියලා මේ කතාව කියලා ඉවර කරනවා. සැමට ජය!!!

ප.ලි. - මම ලියූ කතාවෙ පළමු කොටස ඇය කියවලා. ඇයට ඇඬුණ සතුටට. දෙවෙනි කොටස ලියන්න ඇය මට ලොකු සහයක් දුන්නා.එදා වුණු සිදුවීම්, දෙබස් ඇයට අද වගේ මතක නිසා මට මේක ලියන්න ලොකු පහසුවක් වුණා.බොහොම ස්තුතියි 'නදී'.

තුන්වන කොටස සඳහා පහළ කොටන්න.

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

3 comments:

  1. ඉතිරිය ඉක්මනට දාපන්...

    ජය!

    ReplyDelete
  2. උඹට නම් පුදුම අකරතැබ්බි තමයි බං වෙන්නේ. උඹ වලක් කැපුවොත් එකෙත් ගෙම්බෙක්. මේ post එක ලියන්න වෙලාවක් හම්බුනෙත් ඒ වගේ අකරතැබ්බියක් නිසා නේ.අවාසනාවට එක දැන්ම කියන්න බැහැ නේ..?? පස්සේ කාලෙක එකත් ලියපන්කො. ජය වේවා. :))

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බං. පුවක් ගහේ නැග්ගොත් ඒකෙත් දෙබලක්.අදාළ සුදුසු කාලේ ආවම ඒකත් ලියන්නම්.ඒක දැන්ම ලියන එක ඇඟට ගුණ නෑ... :D

      Delete

උඩට යන්න මෙතන click කරන්න.