Monday, March 17, 2014

දුම්රියේ ඛේදවාචකය හෙවත් බස්සාගේ බෑඩ් ලක්

මං කැම්පස් ආ කාළෙ ඉඳන් හෙනම හෙන බෑඩ් ලක් (සිංහලෙන් කියනවනම් කරුමක්කාරයෙක්) කොල්ලෙක් විදියට ප්‍රසිද්ධියට පත් වුණා. උදාහරණයක් විදියට කොල්ලො සීයක් මැද මං ඉද්දි අහසෙ යන කුරුල්ලෙක් වසුරු පිඩක් හෙලුවොත් ආයෙ දෙකක් නෑ ඒක මගේ ඔලුව උඩම තමා... ඔය හේතුව හන්දමයි මං මගේ බ්ලොග් එකේ ඒ කාලෙ ඉඳන්ම "මා යනු..." කියන හැඳින්වීමට මේ වැකිය පාවිච්චි කලේ. 



මා එක්ක ළඟින්ම ආශ්‍රය කළ මාලකයා, පජ්ජා එහෙම දන්නවා මගේ ලක් එකේ තරම. මේ කියන්න යන කතාවත් ඔය මගේ බෑඩ් ලක් එකේ ප්‍රතිඵලයක් තමයි. දැන් ඉතිං මට මනෝ විද්‍යාත්මක කොමෙන්ට් දාන්න ලෑස්ති වෙන්නෙපා තමං කරුමක්කාරයෙක් කියලා යටි හිතට මංම දීගන්නවයි කියලා.මෙහෙම හිටියට මට උඹලට වැඩිය හෙනම හෙන පිනා චාන්ස් ඒමත් වැදිල තියෙනව. ඒ ඇති. දැන් කතාව.


කොහොම කොහොම හරි කාළය ගත වුණා. ගිය මාසෙ අපේ කැම්පස් ජීවිතෙත් නිමා වුණා. හා හා පුරා කියල ලැබිච්ච ජොබ් එකට මාර්තු 04 වෙනිදා ඉඳන් යන්න පටන් ගත්තා. මාර්තු අන්තිම වෙනකන් වගේ හොස්ටල් එකේ ඉන්න අවසර තිබුණු හන්දා අලුත් බෝඩිමක් හොයාගන්නකන් හොස්ටල් එකේ ඉඳන් රස්සාවට යන්න තීරණය කළා. හොස්ටල් එක ක‍ටුබැද්දෙ. ‍රැකියාව ගංගාරාමෙ,බේබෲක් පෙදෙසෙ.දුර ගත්තොත් කිලෝමීටර 20ක් වගේ ඇති. ඒ උනාට උදේට බස් එකේ වැඩට යන්න ගියාම සසර කළකිරෙනවා. ගාලු පාර සංවර්ධනය කරන නිසා බස් එහෙම යන්නෙත් පයින් ගාටන ගානට. පාන්දර 8ට 9ට අවදි වෙන්න පුරුදු වෙලා හිටි අපිට දැන් 6ට විතර අවදි වෙන්න වෙලා. කොහොම හරි බස් එකේ පැය දෙකකට වඩා ගාට ගාට යනවට වඩා දුම්රියේ යන එක ඉක්මන්. 

අපේ ගෙවල් පැත්තෙ, ඒ කිව්වෙ ඇඹිලිපිටියෙ තාම ට්‍රේන් එහෙම නැති නිසා මට නිතර නිතර ඕවයෙ ගිහිං පුරුද්දක් නෑ. ඒ උනාට කැම්පස් ආවට පස්සෙ කීප සැරයක්ම ට්‍රේන් වල එහෙ මෙහෙ ගියා. 

ඔන්න ඉතින් ඊයෙ පෙරේද දවසක මමයි, ඉන්දුලයයි, සංජයයි පොට්ටෙයි වැඩට යන්න කියලා උදේ 7.30 ට විතර ඉස්ටේෂමට ගියා. එතනත් හෝ ගාල සෙනග. 
සේරම office යන උදවිය තමා. මේ ටයිම් එකට මොර‍ටුවෙන් ට්‍රේන් දෙකක් තියෙනවා.

එකක් මාතර ඉඳන් එන සීඝ්‍රගාමී "සාගරිකා" දුම්රිය. ඒක මොර‍ටුවෙන් පිටත් වෙන්නෙ 7.50 ට. මොර‍ටුවෙන් පස්සෙ ආයෙ නවත්තන්නෙ කෙළින්ම බම්බලපිටියෙ. අතරමැද නැවතිළි නෑ. ඒකෙ 3rd class නගිනවනම් ඉතින් එකෙන්ම ෆුට් බෝඩ් එකේ තමා. ටිකට් එකේ ගාණ රුපියල් 15යි. 2nd Class එකේ නගිනවනම් අර තරම්ම තද බදයක් නෑ. හැබැයි ටිකට් එක රුපියල් 30ක් ද කොහෙද වෙනවා.



අනික් ට්‍රේන් එක ඇවිල්ල මොර‍ටුවෙන් ම පටන් ගන්න මන්දගාමී දුමිරිය. ඒක පිටත් වෙන්නෙ 7.50ට. හැම ස්ටේෂන් එකකම නවත්ත නවත්ත යන නිසා ටිකක් වෙලා යනව. හැබැයි වාඩි වෙලා යන්න නම් පුලුවනි.

මං ඔන්න ඔය දෙවෙනි ට්‍රේන් එකේ තමා වැඩට යන්න පුරුදු වෙලා හිටියේ. පළමුවැන්නෙ ඉක්මන් වුණත් සෙනග වැඩි නිස මං ඒක මග ඇරියා. හැබැයි පොට්ටෙ, ඉන්දුල යන්න පුරුදු වෙලා හිටියෙ පළමුවැන්නෙ. උන්ට ටිකක් හිර වෙලා හරි ඉක්මනටයි යන්න ඕනි වුණේ. සංජය ඇවිල්ල නිව්ටල්. ඌට අරක මේක කියල නෑ. අපේ සෙට් එකේ වැඩි දෙනා යන එකේ යනවා. 

දැන් ඔන්න අපි 4 දෙනා ඉස්ටේෂමට වෙලා ඉන්නකොට හූ හඬ තියාගෙන "සාගරිකා" එක්ස්ප්‍රස් දුම්රිය වේදිකාවට ළඟා වුණා. 3rd Class එක දැක්කම බය හිතෙනවා. ඒ තරමටම සෙනග. 2nd Class එකේ අර තරම් සෙනග නැති වුණත් අපි අරගෙන තියෙන්නෙ 3rd Class ටිකට් නිසා ඒකෙ යන්න බෑ..



ඔය අතරේ දුම්රිය පොළේ ලවුඩ්ස්පීකරේ කෑ ගහන්න පටන් ගත්තා... "තුන් වන වේදිකාවට පැමිණි සාගරිකා දුම්රිය තව ස්වල්ප වේලාවකින් මරදාන බලා පිටත් වනවා ඇත. එය දුම්රිය මොර‍ටුව සිට බම්බලපිටිය දක්වා නවත්වන්නේ නැත. එය බම්බලපිටියේ සිට සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත... 3 වන පන්තියේ ප්‍රවේශ පත් ලබාගත් මගීන් දෙවන පන්තියේ මැදිරි තුල ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි...."

ඕක කියල ඉවරවෙනකොටම පොට්ටෙ ගිහින් 2nd Class මැදිරියකට නැග්ගා. 

"අපෝ... අපිට නම් යන්න බෑ. 3rd Class ටිකට් අරන් 2nd Class ගිහිං මාට්‍ටු වුණොත් ඉවරයි...." මමයි සංජයයි එක හෙලාම විරෝධය ප්‍රකාශ කළා.

"ඕව චෙක් කරන්නේ නෑ බන්... කළාතුරකින් තමයි චෙක් කරොත් කරන්නෙ. අපි හැමදාම යන්නෙ. ජීවිතේට මාට්‍ටු වෙලා නෑ..." එහෙම කිව්ව ඉන්දුලයත් ගිහිං ට්‍රේන් එකට ගොඩ වුණා.

"අනේ ඕකුන් දෙන්නට යන්න කියමු බං. අන්න අරකෙ අපි වාඩි වෙලා හිමිහිට යමං. අන්තිමේ ඔවයෙ ගිහිල්ල මාට්‍ටු වුණොත් විනාසයි..." මං කෙළින්ම මෙවරත් අකමැත්ත ප්‍රකාශ කළා...

"ඔව් බං. කියන්න බෑ. මාට්‍ටු වුණොත්..." සංජයත් මගෙ පැත්තෙ.

දැන් ට්‍රෙන් එක යන්න සූදානම. ඉන්දුලය ට්‍රේන් එකේ ඉඳන් ගල් ඉබ්බ වගේ අපි දිහා හිනා වෙවී බලන් ඉන්නව "අනේ තොපි වගේ මෝඩයො දෙන්නෙක්" කියන ගානට. 

"වරෙන් බං..." ඉන්දුලයා ආයෙමත් අතින් සිග්නල් කළා.

"අනේ ඔන්නොහේ මාත් යනව බං..." එහෙම කියපු සංජයත් දඩ බඩ ගාල ගිහින් ට්‍රේන් එකේ එල්ලුණා. දැන් මං නිකං මොකාද එකා වගේ තනියම හිටගෙන බලන් ඉන්නව. දැන් මටත් හෙනම පාලුයි. මුන් තුන් දෙනාම අරකට නැග්ගනේ.ඔය අතරේ ට්‍රේන් එක හෙමින් හෙමින් ගමන් ආරම්භ කළා... 

"මෙන්න මෙහෙ වරෙන් බං... " ඉන්දුලය අවසාන වතාවටත් මට කතා කළා. ඕන රෙද්දක් කියලා මාත් යන ට්‍රේන් එකට දුවල ගිහින් එල්ලුනා. 2nd Class වුණත් මං උන්නෙ ලාවට වගේ ෆුට් බෝඩ් එකේ. දැන් ඉතිං හුළං වැදි වැදි සීඝ්‍රගාමී දුම්රියෙ කොල්ල වටපිට බල බල යනවා. දුම්රිය රත්මලාන හරිය පහු කරන්නෙ උනේ නෑ අපිට කළබලේක සද්දයක් ඇහුණා...

"අපිට රාජකාරිය කරන්න දෙන්න මහත්තය කරුණාකරල... ගන්න ඔයාගෙ අයිඩින්ටිය.ඉක්මනට..." කවුද සිවිල් ඇඳුමකින් සැරසිච්ච මිනිහෙක් තව මිනිහෙක්ගෙන් අයිඩින්ටිය ඉල්ලනවා.... 

"අම්මට සිරි!!! ටිකට් චෙක් කරනවා!!!" කවුද එකෙක් ඔය අතර එහෙම කියනව ඇහිලා මගේ ඉහින් කනින් දාඩිය දාන්න ගත්තා. 

සිවිල් ඇඳුමින් සැරසිච්ච ටික්කො 5ක් 6ක් විතර අපේ මැදිරිය පීරගෙන එනවා. අපි 4 දෙනාට දැන් උඩ බිම නෑ... මදැයි මමත් යන ට්‍රේන් එක එළවගෙන ගිහින් නැග්ගා. අපි 4 දෙනාම පිළිම වගේ නොසෙල්වී අහක බලාගෙන හිටියා... 

"අනේ දෙයියනේ මගෙන් නම් ටිකට් අහන්න එපා!!!" මං එහෙම දෙතුන් පාරයි හිතුවේ... එක ටික්කෙක් කෙළින්ම ඇවිත් මගෙන් ටිකට් ඉල්ලුවා. 

දැන් ඉතිං මොනව කියන්නද? මං සෙනග නිසා ටිකට් එක ගන්න සාක්කුවට අත දාගන්න බෑ වගේ පොඩ්ඩක් ඇක්ටිං පාරක් දැම්මා, එතකොටවත් මේකා වෙන එකෙක්ගෙන් ටිකට් ඉල්ලාවි කියල හිතාගෙන. කෝ... මේක මැටි ගොඩ වගේ එතනම හිටගෙන ඉන්නව මං ටිකට් එක දෙනකං... ඔය අතරෙ මගේ ඇඟේ ගෑවි ගෑවි හිටි මගේ අතිජාත මිත්‍ර ඉන්දුල සහ සංජය ලද අවසරයෙන් ටිකට් චෙක් කරල ඉවර පැත්තට ලිස්සල ගියා... අර මිනිහත් මෙච්චර මේ මුන් ඉද්දි මගෙන්ම ඇවිත් ටිකට්  එක ඉල්ලුවට මට පුදුම නෑ. ඒ මගේ ලක් එක. අවුරුදු ගණං ට්‍රේන් එකේ හොරෙන් යන මිත්‍රයො කවදාවත් අහුවෙලා නැතිව හා හා පුරා කියල පළවෙනි වතාවට ගිය මංම අහුවෙච්ච එකටත් මට පුදුම නෑ. ඒකත් මගේ ලක් එක. කලාතුරකින් වෙන ටිකට් චෙක් කරන එකත් මං යන දවසෙම උණාට පුදුම වෙන්න දේකුත් නෑ... එකත් මගෙ ලක් එක...

ඉතින් මගේ ටිකට් චෙක් කරපු උත්තමය මගේ අයිඩින්ටි කාඩ් එකත් අරගෙන මෙහෙම කිව්වා...
"අපිත් එක්ක මෙහෙම්ම කො‍ටුවට යන්න එන්න. පොඩ්ඩක් පැය බාගයක් විතර  යාවි... ඊට පස්සෙ තමයි අයිඩින්ටිය ගන්න පුලුවන්..."

මොනව කරන්නද? මං ඉතින් office යන එක පැත්තක තියල ගියා ඒ ට්‍රේන් එකේම කො‍ටුවට. 


අපිව එක්ක ගියා පෝළිමක මොකක්දෝ තැනකට. අපේ පෝළිමේ දිග දැකල, මට ඇස් අදහ ගන්න බැරි වුණා. පෝළිම ට්‍රේන් එකටත් වඩා දිගද මන්දා...  ඒ අතරේ බොහොම වැදගත් ටයි පොලු එහෙම දා ගත්තු මහත්තුරු වගේම තොල් දෙකේ රතු පාට උලාගත්තු අඩි උඩ සෙරෙප්පු අක්කලාත් පිරිල හිටිය. 



"අඩෝ උඹත් අහු උණාද?..." එහෙම කියාගෙන කවුදෝ මගේ පිටට අත තිබ්බ. හැරිලා බැලින්නම් අපේ කැම්පස් එකේ අපේ Department එකේම මාධවයා. මිනිහටත් වැඩට යන ගමන් ටොපිය සෙට් වෙලා. කොහොම කොහොම හරි මට වෙච්ච අකරතැබ්බය නිසා ඉන්දුලයයි, සංජයයි වැඩට යාම පැත්තක තියලා මං එක්ක කො‍ටුවට යන්නත් ආවා.

ඔය අතරේ කවුද නිළදාරියෙක් ඇවිත් උස් හඬින් සෙනග ආමන්ත්‍රණය කළා...

"හැමෝටම දඩය විදියට රුපියල් දෙදාස් පන්සීයකුයි, ගමන් ගස්තුව වගේ දෙගුනෙකුයි ගෙවන්න වෙනවා... දැන් සල්ලි තියෙන අය සල්ලි ගෙවලා අයිඩින්ටි අරන් යන්න. දැන් සල්ලි නැති ඒත් පස්සෙ ගෙවන්න කැමති අය ලියුමක් ලියල දිලා Phone එකක් මාලයක් වගේ වටින දෙයක් ඇපේට තියල යන්න.  එහෙම නැති අයට දවල් 12න් පස්සෙ නඩු දානව. එහෙම උණොත් කරදර වැඩි වෙයි...."

ඒ කතාව ඇහුවම සෙනග අතර කසු කුසුව වැඩි වුණා. දැන් මොනව කරන්නද? නඩු දැම්මොතින් වැඩේ වැවෙන එකයි වෙන්නෙ.. මම මගේ පර්ස් එක ඇරල බැලුවා... පඩි හම්බෙනකන් කියල ගෑණු ළමය දීපු රුපියල් 3000 යි තව රුපියල් සීයකුයි පර්ස් එකේ තියෙනවා... පඩි හම්බෙනකන් කන්න බොන්න, එහෙ මෙහෙ යන ඒවට... හැමදේටම තියෙන්නෙ ඔච්චරයි. මොනව කරන්නද? මගේ වාසනාවට පිං දිදී මං ඒකෙන් දඩේ ගෙවල ඉතුරු 500 මාධවයට දඩේ ගෙවන්න දිලා අත් දෙක වන වන ආවා...



ඊ ළඟට යෙදී තිබුණේ ස්තුති කතාව. ඒක කරන්න ඉන්දුලය හෙව්වට office යන්න පරක්කු වෙලා නිසා ඒක ටිකකට කල් දාලා යන්තං 10 වෙනකොට office එකට යා ගත්තා. 

කතාව ඉවරයි කියල හිතුවට ඉවරම නෑ... ඊ ළඟ දවසෙ ට්‍රේන් එකේ යන්න ඉස්ටේශමට ගිහින් ඊට නොදෙවෙනි පජාත වැඩක් මට වුණා... යනකොට ට්‍රේන් දෙකක්ම ඉස්ටේෂමේ තිබුණා. යන්නෙ මොකේද කියලා හිත හිත උන්නට අන්තිමේ මට ඒ ට්‍රේන් දෙකේම යන්න බැරි වුණා.  යාලුවො ටික විතරක් ඒකෙ ගියා.ඒකත් මේ ඉන්දුලයගේ වීර ක්‍රියාවක ප්‍රතිපලයක් තමයි. ඒක වෙන දවසක කියන්නම්... නැත්තං මේ පෝස්ට් එක දිග වැඩි වෙනව නෙව. එහෙනම් හැමොම දැන් මේක හඬ නගා කියල බස්සාට අශිර්වාද කරන්න

"ස්සාගෙ ග්‍ර දුරු වේවා!!!"

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

Tuesday, February 18, 2014

අවවාදයයි!!! රෑට පිට තැන් වල නිදියන්නේ බලාගෙනයි.

අවුරුදු 4කුත් මාස 7ක් පුරාවට ගෙවාපු කැම්පස් ජීවිතේ ඊයේ තිබූ අවසන් විභාගයත් සමග නිමා වුනා. එක පැත්තකින් සතුටක් දැනෙද්දි තව පැත්තකින් ලොකූ දුකක් දැනෙන්නේ. විභාග, එසයිමන්ට්ස්, ප්‍රොජෙක්ට්ස් අස්සෙ හිර වෙලා තිබුණු ජීවිතේ දැන් ටිකාක් නිදහස් වුණා. ඉස්සර නිතර නිතර බ්ලොග්කරණයේ යෙදුනට තිබුණු වැඩත් එක්ක ඒකත් ටික ටික අතපසු වුණා. ආයෙත් සුපුරුදු බ්ලොග්කරණයේ යෙදෙන්න හිතුවේ කම්මැලිකම යන්නත් එක්ක.

මාස කීපෙකට පස්සෙ ගෙදර ගිය වෙලාවෙ දැක්කා ගෙවල් ළඟ රොමානිස් කළු මාමලයි ගෙදරට පොලීසියෙන් ඇවිත් ඉන්නවා. කාරණේ මොකක්ද කියලා දැන්ගත්තෙ අම්මගෙන්. ලංකාවේ නා-නා ප්‍රකාර හොරු හිටියට මෙහෙව් හොරු නම් මං මීට කළින් දැකළ නෑ.

කළු මාමාගෙ පවුල පිට රට ගෘහ සේවයට ගිහින් අවුරුදු කීපයක්ම දුක් විඳල හරි හම්බ කරගෙන ලංකාවට ඇවිත් තිබුණේ මේ ළඟදි. ඔය අතරෙ කළු මාමා හේනක් කරල තියෙනවා. හේනෙ  තිබුණු පොඩි වාඩියක තමයි රෑට නතර වෙන්නෙ. ගෙදර තනියම ඉන්න බැරි නිසා කළු මාමගෙ බිරින්දෑත් හේනෙ වාඩියෙ තමයි හිටියෙ. දවස් දෙක තුනකට සැරයක් තමා දෙන්න ගෙදර එනව කියන්නේ. සෑහෙන්න මහන්සියෙන් දුක් විඳල උපයගෙන සාධාරණව ජීවත් වුණු මේ දෙන්න ගැන කාටත් තිබුණේ පැහැදීමක්. 




ඔන්න ඔහොම හේනෙ ඉඳල ගෙදර ආපු දවසෙ දැකපු දෙයින් කළු මාමයි නැන්දයි තුෂ්නිම්භූත වුණාලු. ගෙදර එනකොට ගෙදර බඩු මුට්‍ටු මොකවත්ම නෑ. නිදා ගන්න ඇඳේ ඉඳන් පු‍ටු,මේස,කබඩ්,කොට්ට,රූපවාහිනිය,කන බොන පිඟාන කෝප්පය දක්වා සියලුම දේ අතුරුදහන්. බිත්ති හතරයි වහලෙයි විතරක් දකිද්දි මේ අසරණ මිනිස්සුන්ට මොනව හිතෙන්න ඇද්ද? රෑ ගෙදරට ආපු හොරු ඇවිත් තියෙන්නෙ නිකම්ම නෙවෙයි, ලොරියකුත් අරගෙන. අල්මාරිය උස්සගන්න තරම් බර වැඩි නිසා ටිකක් දුර ඇදලා බර වැඩි හන්දා ඒක විතරක් දාල ගිහින්. හැබැයි ඇතුළ හිස්. 

"මං කවදාවත් අඬනව දැකල තියෙයිද පුංචි අයියෙ? ඒත් මං මෙච්චර කල් දුක් විඳල හම්බකරගත්තු දේ මෙහෙම හොරු අරන් ගියාම මං කොහොමද හිත හදාගන්නෙ පුංචි අය්යෙ? " කළු මාම අපේ තාත්ත එක්ක එහෙම කිය කිය ඇඬුවා කිව්වම මටත් ඇති වුණේ මාරම කළකිරීමක්. 

ඒ මිනිස්සු ආයෙ ජීවිතේ පටන් ගන්නේ කොතනින්ද? නිදාගන්නවත් විදියක් නැති තරමට මේ මිනිස්සු අසරණයි. ඕක අරන් ගිය එකා කොහොම හිත හදාගෙන මුන්ගෙ පිඟානෙ කෝප්පෙ කනව බොනව ඇද්ද? මේ තරමටම මිනිස්සු පිරිහිලාද කියල හිතෙනව වෙලාවකට. නීතියෙන් නැතත් කර්මයෙන් හරි මේව පළදෙනව. මේව ඉතින් අපිට උනත් වෙන්න බැරිනෑ. ඒක නිසා කවුරු කවුරුත් රෑට පිට තැන් වල නිදියන්නෙ බලාගෙනයි මිත්‍රවරුනි.

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

උඩට යන්න මෙතන click කරන්න.