Sunday, October 21, 2012

ඉස්කෝලේ කාලේ රස කතා - පළමු පංගුව

මං කාලෙකට පස්සෙ ගෙදර ගියාම කුස්සියට වැදිලා අම්ම එක්ක කයියක් ගහන එක සාමාන්‍ය පුරුද්දක්. අම්ම ඉතින් උයන ගමන් මං නැති ටික ටිකට ගමේ වෙච්ච දේවල් එකින් එක මතක් කර කර මට කියනවා. මමත් ඉතින් කොළඹ ගත කරන ජීවිතේ ගැන අම්මට කියනවා. ඔන්න ඉතින් තේකක් බිබී අම්මත් එක්ක කතා කර කර ඉන්න වෙලාවක අපේ නංගිත් ආවා කුස්සියට.

ටිකක් එහෙට මෙහෙට ඇඹරුණු නංගි ඇවිත් බොහොම ආදරෙන් මගේ ළඟින් වාඩි වුණා. සාමාන්‍යයෙන් මේ විදියට නංගි හැසිරෙනකොට මගේ පර්ස් එකට අපල කාලයක් අත ළඟ බව මට ඉවෙන් වගේ තේරෙනවා. මම ඉතින් උගුරට දෙකට තේක බීල පු‍ටුවෙන් නැගිට්ටෙ හෙමිහිට සාලෙ පැත්තට මාරු වෙන්න හිතාගෙන. කොහෙ නැගිටින්නද? නංගි ඉස්සර වුණා.

"සම්ප‍තෝ..." නංගි බොහොම ආදරෙන් ඇදල පැදලා මාව ආමන්ත්‍රණය කළා.

"ආ..ඇයි මොකෝ..."

"හෙට කොළඹ යනවද....?"

"හ්ම්ම්ම්...යන්න ඕනි, සඳුදා ආයෙ වැඩනේ..." මං තේ කෝප්පෙ සින්ක් එකෙන් හෝදන ගමන් කිව්වා.

"අනේ මට බෑග් එකක් ගන්න සල්ලි දෙනවකො...තාම අර පරණ එක ගෙනියන්නෙ..." මං හිතුවා හරියටම හරි. ඔය පැන්නෙ බළල මල්ලෙන් එළියට.

"දෙන්න එපා සල්ලි...ඔය බෑග් එක තියෙන්නෙ යස අගේට. ඒක දැන් හොඳ මදි වෙලා...ඔහොමද අයියලා ඉස්සර ඉස්කෝල බෑග් ගෙනිච්චෙ? ..." අපෙ අම්ම එක පාරටම කෑ ගහන්න පටන් ගත්තා. මාත් ටිකක් විතර බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගත්තා.

"ඇයි බෑග් එක කැඩිලද...?" මං ඇහුවා.

"කැඩිලා නෑ... අනේ ඒක පරණයි හලෝ..."

"පරණයි? ... තමුසෙට තරම් සැප තිබිල නෑ අපි කාටවත්. අපි ඉස්කෝලෙ යන කාලෙ එකම බෑග් එක මහ මහ අවුරුදු කීයක් ගෙනිච්චද? අනික තව කී දවසද ඉස්කෝලෙ යන්නෙ? ඔන්නෝක ගෙනියනවා මගෙන් ගුටි නොකා..." මම ටිකක් සැරෙන් නංගිට ආමන්ත්‍රණය කළා. හැබෑට ඉස්සර අපි කොච්චර නැති බැරි කම් එක්කද ජීවත් වුණේ? දැන් මෙයාලට තියෙන පහසුකම් වලින් සීයෙන් පංගුවක්වත් අපට තිබුණෙ නෑ. මේව මතක් වෙලා මගේ මොරාල් තව ටිකක් වැඩි වුණා.

"තමුසෙ දන්නවද ඒ දවස් වල ලොකු අයියයි, චූටි අයියයි, මායි කවදාවත් අරව මේව ඉල්ලල ගෙදරට කරදර කරන්නෙ නෑ. අපි කඩෙන් පොතක් ගත්තත් ඒ දවස් වල ගත්තෙ තියෙන බාලම ජාතියෙන්. සපත්තු ගත්තොත් ගත්තෙ කඩේ තියෙන මිළ අඩුම එකෙන්. බෑග් එකක් ගත්තම අවුරුදු කීයක් පාවිච්චි කළාද? බෑග් එක ඉරුණම මහල, මහල ගෙනිහිල්ල අන්තිමට කඩේ මහන මිනිහගෙන් බැනුණුත් අහනවා, මේක තව මහන්න බෑ මල්ලි කියලා. බෑග් එකේ සිප් එක කැඩිලා යතුරු ක‍ටු ගහගෙන බෑග් අරන් ගියේ..තමුසෙට තිබුණු සැප අපිට තිබුණෙ නෑ." 


මම මගේ කතාව දිගටම කරගෙන ගියා. නංගි දැන් ෆුල් හොල්මන්... බෑග් එකක් ඉල්ලන්න ගිහින් කරගත්තු දෙයක් කියල එයාට හිතෙන්න ඇති. අම්මත් උයන එක නවත්තල ඉනට අත් දෙක ගහගෙන මං දිහා කට ඇරන් බලන් ඉන්නව. මම ඉතින් පටන් ගත්තු එකනෙ කියලා කතාව දිගටම කරගෙන ගියා.
අන්තිමට නංගිට කරපු අනුශාසනාව ඉවර වුණේ ඉස්සර කාලෙ අපි ඉස්කෝලෙ යනකොට වුණු රසබර කතන්දර මහා ගොඩක් කියල තමා. හැබෑට මටත් ඒව එකින් එක මතක් වුණේ හරියට පරණ චිත්තරපටියක් ආයෙමත් බලනව වගේ... දැන් එහෙනම් කට්ටිය ඒව එකින් එක අහගෙන යමු ඈ...


01. හතර වසරෙ හොර කල්ලිය

මං ඉස්සර ගමේ ඉස්කෝලෙ යන කාලෙ, ඒ කිව්වෙ මොරකැටියෙ ඉස්කෝලෙ යන කාලෙ පංතියෙ හැමදාම වගේ පළවෙනියා. එක වසරෙ ඉඳන් පහ වසර ශිෂ්‍යත්වෙ වෙනකම් වගේ ඒකට ඒ හැටි තරඟයක් තිබුණේ නෑ. අපේ පන්තියෙ හිටිය සෙට් එක අතර ජනක, හසිත්, චන්දිම, ජගත්, පුලින්ද වගේ අය මේ කතාවවට සම්බන්ධයි.

ඔන්න දැන් අපි හතර වසරෙ අරලිය පංතියෙ ඉන්න දවස් මයි හිතේ. දවසක් ඉන්ටර්වල් එකට කාල අත එහෙම හෝදල මම පිට්ටනිය පැත්තට ආවා. එනකොට අපේ හිච්චි ගැන්සියෙ කීප දෙනෙක් ඉස්කෝලෙ සියඹලා ගහ යට ඉන්නවා.මමත් ගිහින් එතැනට සෙට් වුණා.

මම ගියා විතරයි ජනකයා, හසිතයා, චන්දිමයා, ජගතයා එක පාරටම උන්ගෙ කතා බහ නතර කරා. දැන් උන් ටික ඇස් වලින් එක එකාට සිග්නල් දෙනවා.මට වැඩේ එච්චර ඇල්ලුවෙ නෑ. මොනව නමුත් මුන් මට මොකක් හරි හංගන බව මට හොඳටම ෂුවර්. ජනකයා නම් කීයටවත් ඕක මට කියන්නෑ.ඔය වගේ වෙලාවට මොකාද අල්ලගන්න ඕනි කියලා මං දන්නවා. මම හැරුණා චන්දිමයා දිහාවට.

"අඩෝ උඹලා මොකක්ද කතා කළේ...? මටත් කියපන්..."මම චන්දිමයගෙන් ඇහුවා.

"එපා, එපා චන්දිම. සම්පත්ට කියන්නෙපා...මෙයාට කිව්වොත් අපි ඔක්කොම ඉවරයි..." ඒ ජනකයා.


"ඔව්, ඔව්.කියන්නෙපා..." ඒ උල්පන්දම ජගත්ගෙන්...

"අඩෝ ඒ කියන්නෙ මට කියන්නෑනේ...?" මම බොහොම දුකින් කට්ටිය දිහාව බැලුවා.

"ඒක රහසක්. උඹ ඒක මිස් ට කිව්වොත් අපි ඔක්කොම අහුවෙනවා..."චන්දිම මට උත්තර දුන්නා.
දැන් ඉතින් මේ රහස දැනගන්නකම් මට ඉවසුමක් නෑ. මොකක් හරි නරක වැඩක් තමා.ඒකනෙ මිස්ට කිව්වොත් අහුවෙනව කිව්වෙ. 

"මම මිස්ට කියන්නෑ... ඇත්තමයි...අනේ මටත් කියන්නකෝ..." මම ආපහු බැගෑපත් වුණා.
ඔන්නොහේ මෙයාටත් කියමුදැයි අහන්න වගේ චන්දිම අනික් අය දිහා බැලුවා.

මගේ කෙළවරක් නැති ඇඬිල්ල නිසා කස්ටිය මගෙන් දිවුරුම් ප්‍රකාශයක් ගන්න ලෑස්ති වුණා.

"බුදුම්පා!!! මම කාටවත් කියන්නෑ. නෑ කිව්වොත් නෑ මයි..." මම මේ කතාව කිව්වෙ ඇත්තටම කාටවත් කියන්නෙ නෑ කියල හිතාගෙනමයි.

"අපි හොර කල්ලියක් පටන් ගත්තා..." චන්දිම කතාව ආරම්භ කළා.

"හොර කල්ලියක්...?" මගේ ඇස් ගෙඩි දෙක ලොකු වුණේ ඉබේටමයි.



"ඔව්. හැබැයි කාටවත් කියන්නෙපා. කියල තිබුණොත් උඹත් අහුවෙනවා..." කතාව ඇහුවට මොකෝ දැන් නම් මට හීන් දාඩිය දාගෙන එනවා.

"නෑ...මං කියන්නෙ නෑ..."මම වෙනසක් නොදැනෙන්න කිව්වා.

"ඉතිං අපි කට්ටිය පොඩි පොඩි දේවල් හොරකං කරනවා... ඊට පස්සෙ ඒව එකතු කරලා අපි කට්ටිය බෙදා ගන්නවා..."

"මොනවද ඉතිං අපි හොරකං කරන්නේ...?" එහෙම ඇහුවෙ මම.

"පෑන්, පැන්සල්, කටර්, මකන, සල්ලි...එහෙම". හැමෝම හොරකං කරන ඒව ගෙනත් දෙන්න ඕන.ඊට පස්සෙ ඒව අපි බෙදා ගන්නවා"
අනේ මන්දා, මුන්ගෙ ප්ලෑන අහල මට බයේ බෑ.ඒ දවස් වල කට ඇරල කුණුහරුපයක්වත් කියල නැති අපිට මොන කොරකම් ද?

දැන් මුන් මං ගැන විශ්වාසෙ තියල කියපු එකනෙ කියලා මාත් මේ ගැන කාටවත් නොකියන්න තීරණය කළා. හොරකම් කරනව තියා ඒ ගැන හිතනකොටත් මගෙ කකුල් දෙක වෙව්ලනවා. අපේ පංති භාර ස්වර්ණා මිස් දැගත්තොත් නම් අපි ඉඳල ඉවරයි. කොහොම හරි මුන්ගෙ විශ්වාසෙ දිනාගෙන මුන් එක්කම ඉන්න මට ඕනි වුණා. ඒක නිසා හොරකම් කෙරිල්ල කෙසේ වෙතත් මෙයාලගෙ රහස ‍රැකගෙන හරි ඉන්න මම හිතාගත්තා.

ඔහොම දෙතුන් දවසක් ගත වුණා.අපේ හොර භාණ්ඩ වලට පොඩි පොඩි මකන කෑලි, බාගෙට ලියපු පැන්සල්, ඉවර වෙන්න කිට්‍ටු පෑන් එහෙම කීපයක් එකතු වුණා.මට තමයි තාම හරි හමං හොරකමකින් දායක වෙන්න බැරි වුණේ.

ඔහොම ඉන්න අතරේ දවසක් ඉන්ටර්වල් එකේදි අපි ඉස්කෝලෙ සෙල්ලම් උයනේ අර මෙරිගෝ-රවුන්ඩ් කියන එක පැද පැද හිටියා.


මම එක කෙළවරක වාඩි වෙලා.තව වෙන පංති වල එවුන් දෙතුන් දෙනෙක් ඉතිරි ආසන වල වාඩි වෙලා.අපේ ඉස්කෝලෙ ලොකු පංති වල අයියලා, (ලොකු පංති වල කිව්වෙ 7 වසරෙ, 8 වසරෙ එවුන්) අපිව අරකෙ වාඩි කරවලා අපිට කරකැවිල්ල හැදෙනකම්ම කරකවනවා.ඒකෙ වේගෙට බයවෙන කොල්ලො දෙතුන් දෙනෙක් කරකැවිල්ල හැදිලා මහ හයියෙන් කෑ ගැහුවම තමා උන් කරකවන එක නවත්තන්නේ. 

ඉතින් දවසක් ඔහොම ඕකේ කැරකි කැරකි ඉන්නකොට වෙන ආසනේක හිටපු අපේ වයසෙ විතර එකෙක් කරකැවිල්ල හැදිලා කෑගහන්න ගත්තා. ඒකෙ ආතල් එකට අපේ අයියලා අදාල යන්තරේ තව තවත් හයියෙන් කැරකෙව්වා. මාත් ලෝක අමාරුවෙන් ඔලුව කැරකිල්ල දරාගෙන හිටියෙ මුන් මේක නවත්තපු ගමන් අහල පහල ගහක් බදාගෙන හරි නොවැටී ඉන්නවා කියල හිතාගෙන. 

ඔය අතරේ මම දැක්කා අර කෑගහපු කොල්ලගෙ සාක්කුවෙන් උගේ පැන්සල බිම වැටෙනවා.වෙන කවුරුත් ඒ වගක් දැක්කේ නැතුව ඇති. මට එක පාරටම අපේ අන්තර්ජාතික ප්‍රගතිශීලී  හොර සංවිධානය මතක් වුණා.මකන කෑල්ලක්වත් හොරකන් කරන්න බය තරමට ඒ දවස් වල අපේ හිත් පිරිසිදුයි.(අපේ කිව්වට අපේ නෙවෙයි,...මගේ) ඉතින් මට හිතුණා අර පැන්සල අහුලලා අපේ කල්ලියට දීලා, මගේ ස්ථානය තහවුරු කරගන්න ඕනා කියලා.


ටික වෙලාවකින් මෙරිගෝ-රවුන්ඩ් එක නැවතුණා. ඒකෙන් බැහැපු මට හත් පාරක් පෙරාපු ගමේ හොර අරක්කු බීපු ගානට කැරකැවිල්ල ඇති වුණා. ඒත් බල බල ඉඳලා බෑ.මම බිම තිබුණු පැන්සල දිහාවට ඇහැ යොමු කළා.දැන් මාව ගැහෙනවා.මේක කවුරුහරි දැකලා මිස් ට කිව්වොත් මම විනාසයි.මම ගැහි ගැහි පැන්සල ගාවට කිට්‍ටු කළා.පැන්සල අහුලගත්තා. ඊ ළඟට පණ එපා කියලා පස්ස නොබලා කෙළින්ම දිව්වෙ අපේ කල්ලියෙ මහත්වරු හොයාගෙන.

"ඉඳා..මේකත් අපේ අර බඩු ටිකට දාපං..."මම අහුලපු පැන්සල අපේ කල්ලියට භාරකළා.

"කොහෙන්ද උඹට මේක...?" කවුද එකෙක් ඇහුවා.

"මම හොරකං කරා..." මම මාර ආඩම්බරෙන් උත්තර දුන්නා.

"කාගෙන්ද...?

"කාගෙන් හරි හොරකං කරානේ..." මම ඌ දිහා ඔරවලා බැලුවා.

හොරකං කරන්න බය වුණාට බේගල් බාන්න එච්චරම බයක් තිබ්බෙ නෑ. මම හිතාමතා සැලසුම් කරල කරපු වරදක් නොවුණත් මම ඒක ප්ලෑන් කරල කරපු ගානට ටෝක් කළා.

කාලය සුට්ට සුට්ට ගතවුණා. මම දවසක් ඉන්ටවල් එකට පොඩි රෝන්දයක් ගහල, බෙල් එක ගහපු ගමන් පංතියට දුවගෙන ආවා. පංතියට ඇතුල් වෙනකොටම දැක්ක දෙයින් මට හීන් දාඩිය දැම්මා. 

මෙතෙක් කල් අපේ කල්ලිය හොරකං කරපු හොර බඩු සෙට් එකම ස්වර්ණ මිස්ගෙ ගුරු මේසෙ උඩ.අර මං අහුලපු පැන්සල් කොටෙත් ඉන්නෙ දිලිසි දිලිසි. දැන් ඉතින් මේ ඉස්කෝලෙ වසල හමාරයි. හිතා මතා හොරකං කරපු භාණ්ඩයක් නම් දුක නෑ.අරුන්ට ඇද බාපු බේගලේ දැන් ඉතින් විපාක දෙන්න යන්නේ. ස්වර්ණ මිසුත් ගෝලයො රොත්ත වට කරගෙන බලාගෙන ඉන්නෙ හරියට මම එනකං වගේ.

නඩුව විභාග වුණා. මම ඇතුලු විත්තිකරුවන් ගුරුමේසෙ ගාවට රොක් වුණා. පන්තියේ අනික් උන් කට ඇරන් බලං ඉන්නවා.

දෙයියන්ට පිං සිද්ධ වෙන්න වැඩිය සද්ද බද්ද නැතුව අපේ කන් වලට විතරක් ඇහෙන ගානට කතාබහ සිද්ධ වුණා.පංතියෙ අනික් උන් උන්ගෙ වැඩ. කල්ලියෙ මාවත් ඉන්න බව දැකලද කොහෙද මිස් දෙතුන් සැරයක් මං දිහා රව රව ඉන්නව මං බලාගෙන.

"තම තමුන් හොරකං කරපු බඩු පෙන්නනව මෙතනින්..."මිස් ගෝරනාඩුව පටන් ගත්තා. 

එක එකා හෙමින් හෙමින් ඇඟිල්ලෙන් මකන කෑලි, අඩි රූල්, පැන්සල්...පෙන්නන්න ගත්තා. මගේ පපුව වේගෙන් ගැහෙනවා. ඇස් දෙකෙන් කඳුලු පනින්න ඔන්න මෙන්න. මිස් ගෙදරට මේ වගක් කිව්වොත් අම්ම මාව, පට්ට ගහන බව මං හොඳටම දන්නවා...

හැමෝම තමන්ගෙ හොර බඩු පෙන්නුවා.දැන් මගේ වාරය. මිස් කන්න වගේ බලන් ඉන්නවා.

"කෝ...සම්පත් හොරකං කරේ මොනවද?..."මිස් එහෙම ඇහුවා.

"ම...මම හොරකං කරේ නෑ මිස්..." මම වෙව්ලන ස්වරයෙන් එහෙම කිව්වා.

ඒත් දෙයියො මට දීපු, දුකේදීත් සැපේදීත් එකට ඉන්න මගේ යාලු මිත්‍රයො මට තනිවෙන්න දුන්නෙ නෑ. එයාල බොහොම අපූරුවට මං හොරකං කරපු භාණ්ඩය මට මතක් කරල දුන්න.

"බොරු මිස් ඔය කියන්නෙ...සම්පත් තමයි ඔය පැන්සල හොරකං කරන් ආවෙ...." ඒක අහපු මිස් ගින්දර විසි වෙන ගානට රවල මගේ දිහා බැලුවා. ඇයි යකෝ, මෙච්චර හොරකල්ලියක් ඉද්දි මායි,මේ අහිංසක පැන්සල් කොටෙයි දිහා වැඩි අවදානෙකින් බලන්නෙ..?

"අනේ මං හොරකං කලේ නෑ මිස්. ඕක මම අහුල්ලෙ ඉන්ටවල් එකේ සෙල්ලම් කරද්දි... මම ඒක තමයි මෙයාලට දුන්නෙ...මම හොරකං කරා කියල කිව්වෙ බොරුවට..."

බය වැඩි කමට මගේ ඇස් දෙකෙන් කඳුලු පැන්නා. නහයට හො‍ටු පිරුණා. ඉකි ගහ ගහ අඬන්න පටන් ගත්තා. (උඹල හිතන්නෙපා, මූ ගෑණි වගේ අඬනව කියල. උඹලත් 4 වසරෙදි මොකෝ අඬල නැතුවයි...? :D ) 

මිස් එක එකාට වෙන වෙනම පලු යනකම් බැන්නා.කෝට්ටෙන් දෙක තුනකුත් තැලුවා. මොකා මොනව කිව්වත්, මං පංතියෙ හොඳටම වැඩ කරන එකෙක් නිසාද මන්ද, මං කියපු එක මිස් විශ්වාස කළා. 

"සම්පත් ආයෙ එහෙම මේ වගේ වැඩ වලට සම්බන්ධ වෙලා මට අහුවෙන්නෙපා හරිද...කොරකං කළත් එකයි, බොරු කිව්වත් එකයි....දෙකම වැරදි වැඩ.තේරුණාද...?" මිස් ඇඟිල්ල දික් කරල මට අවවාද කළා.

"හා...මිස්..." මම එහෙම කියල මිස්ගෙන් සමාව ගත්තා. 

එදා මම හිතාගත්ත ආයෙ මළත් බොරුවක්නම් කියන්නෙ නෑ කියලා (ඔය වගේ කීයක්‌ දේවල් නම් දවසකට හිතනවද...?). කොහොම කොහොම හරි අපේ හොර  කල්ලිය ඒ විදියට විසිරිලා ගියා. 

පුංචි කාළේ නොතේරුම් කමට ඕව කළාට අපි එකෙක්වත් ලොකු වෙලා හොරු වුණේ නෑ... 

මම A/L පාස් වෙලා මොර‍ටුව ඉංජිනේරු පීඨෙට තේරුණා.ජනකයි, හසිතයි යුද්ධෙ කාළෙ අපේ රට ‍රැකගන්න දිවි පරදුවට තබමින් සටන් කළ කමාන්ඩෝ සෙබලු දෙන්නෙක්. එයාල තාමත් එහේ සේවය කරනවා.
චන්දිම කොහෙදෝ ඉස්කෝලෙක P.T ගුරුවරයෙක් කියල ආරංචි.

ඉතින් ළමා කාලෙ කොච්චර රසවත්ද කියල හිතෙන්නේ මේ වගේ සුන්දර සිදුවීම මතක් වෙනකොට. ඒත් අද වෙනකන් අපිට හොයාගන්න බැරි වුනා, කවුද අපේ හොරකල්ලිය පාවාදුන්නෙ කියලා.ඌ මොකා වුණත් මට කියන්න තියෙන්නෙ "තැන්කිව් මචං කළ වැඩේට " කියල.

දෙවන පංගුව ළඟදීම ...

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

Saturday, October 6, 2012

මට නුඹ විතරක් වුණාට ...

කාලෙකට පස්සෙ මං ආස කරන ආදරේ කරන කෙනා මට ආපහු හම්බුණා. මං අවුරුදු 4ක් 5ක් එයා නැතුව හරිම දුකෙන් හිටියෙ. එයා මගේ ළඟට ගන්න මං සෑහෙන්න උත්සාහ කළත් අපේ combined maths සර් එයාව මගෙන් ගත්තා. මට එකදිගට දවසක් උනත් එයා දිහා බලාගෙන ඉන්න පුලුවන්. මම අපේ සර්ගෙන් එයාව ඉල්ලුවා. සර් එයාව දෙන්න පොරොන්දු වුණත් අද දෙන්නම්, හෙට දෙන්නම් කිය කිය කල් ඇරියා. මම කොච්චර ආදරෙන් එයාව බලාගත්තද? 

ඒ දවස් වල උදේ අවදිවුණාම ඉස් ඉස්සෙල්ලම බැලුවේ ඒ ලස්සන දිහා. වෙන අයට එයා කැත වෙන්න පුලුවන්.ඒත් මට ඔයාව ලස්සනයි. ඒ මගේ දෑතින් ඔයාව ලොකු මහත් කළ නිසා වෙන්නැති.

මම A/L කළා. කැම්පස් ඇතුල් වුණා. ඒත් මට එයාව ආයෙමත් දකින්න ලැබුණෙ නෑ. දැන් මට ඉස්සර වගේ අපේ සර් හම්බෙන්නෙත් නෑ. ඒක නිසා එයාව ඉල්ලලා සර්ට කරදර කරන්න ඉඩකුත් මට නෑ.ඒත් දෙයියනේ මම කොහොමද එයා අමතක කරන්නේ? මම අපේ නංගි අතේ සර් ට පණිවිඩයක් යැව්වා. 

"අනේ සර්, මට එයාව ඕනේ..."

සුපුරුදු පරිදි සර් කිව්වලු "හරි හරි, මං දෙන්නම්.මං ගාව එයා පරිස්සමට ඉන්නවා. බයවෙන්න එපා කියන්න..."

බය නොවී කොහොමද සර්? එයාට පොඩි හරි පලුද්දක් උණොත් මට ඉවසන්න බැරි වෙයි. මම දුන්නු විදියටම එයාව මට ආපහු ඕනේ. 

දවස් ගත වුණා. ..

"අයියෙ, අයියෙ...සර් අද මට ඔයාගෙ චිත්‍ර ටික දුන්නා..." නංගි මෙහෙම කියද්දි මට දැණුනු සතුට. 

මම ඉස්කෝලෙ යන කාලෙ වරු ගනන් එක දිගට සමවැදිල වගේ සිත්තම් කරපු සිතුවම්!!! 

මගේ හිතේ ඒ චිත්‍ර ටික තාම තිබුණත් අතින් අල්ලන්න කොච්චර ආසාවෙන්ද හිටියෙ? දැන් ඉස්කෝලෙ යන කාලෙට වඩා දැනුමින්, නුවණින් අපි වැඩිලා. ඉතිං ඒ කාලෙ කරපු නිර්මාණ වල අඩුපාඩු දැන් වෙනදාට වඩා දැනෙනවා.පේනවා. ඒත් වයසෙ හැටියට ඒ මදැයි.  

මේ තියෙන්නෙ මම ඒ ආදරෙන් හදා වඩා ගත් සිත්තම් ටික. පැන්සල විතරයි මං පාවිච්චි කළේ. තුඩ මහත B4 පැන්සල. ඇන්දෙ 'කොන්කරා' කියන කඩදාසියේ. 

දැන් ඉතිං චිත්‍ර බලල හොඳ ළමයි වගේ අඩු පාඩු එහෙම යට කොමෙන්ට් එකක් හැටියට දාල යනව හොඳයි. 


 01 
02

03
04


තමන් වැඩියෙන්ම හිත් ගත්තු පින්තූරෙත් කියල යන්න. මං හිතං ඉන්නේ කමෙන්ට් දාන අයව දිනුම් ඇදලා ඒ එක්කෙනෙකුට තමන් වැඩියෙන්ම කැමති කිව්ව චිත්‍රෙ තෑගි කරන්ට... :D

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

උඩට යන්න මෙතන click කරන්න.