Wednesday, April 24, 2013

වෙඩිමේ කතාව


දෙයියෝ සාක්කි!!! අන්තිම බ්ලොග් පෝස්ට් එක ලියලා මාස 4ක් ම වුනා. ඊට පස්සෙ මුකුත් ලියන්න වෙලාවක් තිබුණෙත් නෑ. කරදර පිට කරදර. මගේ බ්ලොග් එකේ ලක්ෂ්‍ය සංඛ්‍යාත ප්‍රේක්ෂකයෝ නිතරම මට මැසේජ් එවන්න ගත්ත ඇයි නිහඬ කියලා. මේ නිහඬ බව බිඳින්න... මොන මොනව හරි කියන්න... කියල හිතාගෙන තමයි අද ආවේ. මේ කතාව මම ලියන්න හිතාගෙන හිටියේ මීට සෑහෙන්න දවසකට කලින්. ඒවයෙන් කමක් නෑ. මෙන්න කතාව.

කාල වකවානුව 2012 අගෝස්තු මුල වගේ. මගේ බෝඩිමේ මිත්‍රයා, ඒ කියන්නේ ඉසුරු. මිනිහගෙ අක්කා යුග දිවියට එළඹෙන්න හදන කාල වකවානුව.ඉසුරු වගේම උගෙ අක්කත් අපිත් එක්ක හිතවත්. ඉතින් අක්කගෙ වෙඩිමට අපි නොගිහින් පුලුවනෑ? ඔය හින්දා ඉසුරුවා අපිටත් එව්ව වෙඩින් ඉන්විටේෂන් කාර්ඩ් එකක්. හැබැයි එව්වේ ඊ මේල් එකකින්. මොකෝ ඒ දවස් වල අපි කම්පැනි වල ට්‍රේනින් දාලනේ හිටියේ. ඉතින් හම්බෙලා කාර්ඩ් බෙදන්න තරම් ඉස්පාසුවක් නෑ. 

ඉතින් මම වෙඩිමේ දවස මතක තියන් උන්නා. දවස 13 වෙනිදා. අපි ට්‍රේනින් හින්දා ඉතින් ඕවට නිවාඩු ගන්න එක තමයි වැඩේ.මොනව හරි බොරුවක් කියල එදාට නිවාඩුවක් ගන්නම ඕනෑ. 

ඔන්න ඉතින් අගෝස්තු මාසෙ 12 වැනිදා. අපි කම්පැනි එකේ වැඩ කර කර උන්නා. ඔය අතරේ මාලක මගේ ළඟට ඇවිත් මෙහෙම කිව්වා.

"බස්සෝ, මම හෙට නිවාඩුවක් දාන්න ඕනේ... අවුලක් වෙන එකක් නෑනේ..."

"ආ... අවුලක් වෙන එකක් නම් නෑ. ගිහින් ෂේප් එකේ කතා කරපන්... එපා කියන එකක් නෑ. මොකක්ද සීන් එක?" මම ඇහුවා.

"වෙඩින් එකක් බං..." මාලක කිව්වා.

"වෙඩින් එකක්? හුටා අද කවදද?..." මම ටිකක් කලබල වුණා. ඉසුරුගෙ අක්කගෙ වෙඩිම මට මතක් වුනේ ඔය මොහොතේ. 

" අද 12...

"යකෝ, මටත් වෙඩින් එකක් තියෙනවනේ 13 වෙනිදා. ආ.. හෙට නැකැත් දවසක් වෙන්නැති. එහෙනම් මාත් නිවාඩු දාන්න එපැයි..." මම කිව්වා.

"ආ... දෙන්නම නිවාඩු ඉල්ලමු එහෙනම්" ඒ මාලක.

"දෙන්නම..? මැනේජර් මහත්තය බර බර ගායිද දන්නෑ.... යමුද එහෙනම්..?"

මම මාලකත් එක්ක අපේ ප්‍රොජෙක්ට් මැනේජර්, රුවන් අයියව හම්බෙන්න ගියා. මේ දවස් වල අපේ ප්‍රොජෙක්ට් එකේ සැහෙන්න වැඩ වැඩි දවස්. අපි දෙන්නම නිවාඩු දැම්මොත් ප්‍රොජෙක්ට් එක කරන්න ඉතුරු වෙන්න අර අහිංසක පැතුමා විතරයි. කමක් නෑ. අද විතරනේ. අපි මීට කළින් එහෙම නිවාඩු ඉල්ලුවෙත් නෑනේ කියල හිත හදාගෙන අපි ගියා.


"රුවන් අයියේ..." අපි දෙන්න අපේ ප්‍රොජෙක්ට් මැනේජර්ව ආමන්ත්‍රණය කළා.
"ආ.. මොකක්ද ප්‍රශ්නේ..?" රුවන් අයියා ඇහුවා.

"හෙට අපි දෙන්නට නිවාඩුවක් ගන්න පුලුවන්ද කියල බැලුවේ... වෙඩින් එකක්..." මම කටහඬ අවදි කළා.

"ආ...දෙන්නම එකම වෙඩින් එකටද යන්නේ..." රුවන් අයිය කර කර හිටපු වැඩේ නවත්තල ඇහුවා.

"නෑ.. නෑ.. රුවන් අයියේ. මම එකක්, මෙයා වෙන එකක්..."

"මාලකගෙ කවුද? යන්නම ඕනි එකක්ද..?"

"ඔව් රුවන් අයියෙ. අපේ ඥාති වෙන අයිය කෙනෙක්. ලඟම නෑදෑයෝ..." මාලක උත්තර දුන්නා.

"එහෙමද...? හ්ම්ම්ම්... එතකොට සම්පත්ටත්(මගේ) යන්නම ඕනි එකක්ද?..." ප්‍රොජෙක්ට් මැනේජර් තුමා ඇහුවා.

දැන් ඉතින් මොකෝ කියන්නේ...? අපේ බෝඩිමේ ඉන්නව, ඉසුරු කියල එකෙක්. උගේ අක්ක කෙනෙක් ඉන්නව. අන්න ඒ අක්ක කසාද බඳිනවලු. ඒකටයි යන්නේ කියලා කියන්නයෑ? අනික මම නැතෙයි කියල ඕක නොකෙරෙන එකක්යෑ. ඒක නිසා මම හතරවරම් ගජබින්නයක් දෙසා බෑවා.

"ඔව් රුවන් අයියෙ. යන්නම ඕනි. අපේ පුංචිගෙ පුතා බඳින්නේ. ඊයෙත් කතා කරලා ගමේ එන්නැද්ද ඇහුවා. අදත් වැඩ කරලම රෑ බස් එකේවත් යන්න බැලුවේ...." මම කිව්වා.

"හ්ම්ම්... දෙන්නම එක සැරේ නිවාඩු ගන්න එකනේ වැඩේ. ප්‍රොජෙක්ට් එකත් හදිස්සි මේ දවස් වල. කමක් නෑ එහෙනම්. ඔ‍ෆිස් එකේ ලීව් ගන්න ෆෝර්ම්ස් දෙකක් අරගෙන පුරවලා මට ගෙනල්ල දෙන්න..." රුවන් අයියා කිව්වා.

මාලකයි මමයි බොහොම සතුටින් ෆොර්ම්ස් දෙක පුරවලා දුන්නා. නිවාඩු අනුමත වුණා.

දෙන්නත් එක්ක යුද්ධයක් දින්න වගේ ඇවිත් computer එක ළන්න වාඩි වුණා.තව පොඩ්ඩෙන් මට නිවාඩු දාන්න අමතක වෙනවනේ. මම ආයෙමත් ඉසුරු එව්ව වෙඩින් ඉන්විටේෂන් එක බලන්න ඊ-මේල් එකට ලොග් වුණා. ඔය තියෙන්නේ ඉන්විටේෂන් එක බැබලි බැබලි.

"ප්‍රේමරත්න උඩුගමසූරිය මහතා සහ චන්ද්‍රසීලි නාගොඩ මහත්මියගේ ලබැඳි දියණිය වන......අතිනත ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් වර්ෂ 2012ක් වූ ......"


මම ඉන්විටේෂන් එක කියවගෙන කියා. එක පාරටම මට අමුත්තක් දැණුනා. මම ආපහු හොඳට බැලුවා. 



දෙයියෝ සාක්කි!!! 
වෙඩිම තියෙන්නේ ලබන මාසේ 13. හෙට නෙවෙයි. 

මට එතැනම පොළව පලාගෙන යන්න හිතුණා. දැන් ඉතින් කොහොමද මේක කටක් ඇරල කාටවත් කියන්නේ? ටික වේලාවක් උඩ බිම බල බල හිටපු මම මාලකටයි පැතුම්ටයි වුණු වින්නැහිය කිව්වා. උන් දෙන්නට හොඳටම හිනා. 

"දැන් ඉතින් මොකද කරන්නේ...? වෙඩින් එක කල් ගියා කියන්නද?... හෙට ගෙදරට වෙලා කාල බීල නිදා ගනින්...." උන් මට විහිලු කළා.

කිව්වත් වගේ දැන් හෙට මට වැඩට එන්න විදියක් නෑ. කිව්වෙ බොරු කියල අතේ මාට්‍ටු වෙනවා. හුස්ම ගන්නවත් වෙලාවක් නැති තරම් වැඩ හිරවෙලා තියෙන වෙලේ ගෙදරට වෙලා නිදාගනින්කො දැන්. මට මං ගැනම කේන්තියක් ඇති වුණා.

ඔය දවස් වල මම මගේ ආදර කතාවෙ මුල් කොටස බ්ලොග් එකේ ලියල දෙවන කොටස ලියන්න වෙලාවක් නැතුව හිටියේ.

"උඹ අර කතාවෙ දෙවෙනි කොටස ලියපන් ගෙදරට වෙලා... ඒක ලියන්නත් වෙලාවක් නැතුවනේ හිටියේ..." මාලක හිනාවෙවී කිව්වා. 

කොහොම කොහොම හරි මම එදා නිවාඩුව දාල ගෙදරට වෙලා ඉඳල කරේ ඒ වැඩේ තමයි. ඒ කතාවෙ අවසානේ මාලක දාල තිබුණු මේ comment එකේ තේරුම දැන් කස්ටියට පැහැදිළි ඇති.



කොහොම කොහොම හරි හොඳම වැඩේ කියන්නේ, ඊළඟ මාසේ 13 වෙනිද දවසෙ වෙඩිම ජයටම පැවැත්වුණා. මට ඒකට යන්න එදා නිවාඩුවක් දාගන්න බැරිව ගියා. 

මේ කතාව ඒ දවස් වලම ලියන්න හිතුණත් නොලිය හිටියේ නිකන් මොකටද තව  ටොපියක් දාගන්නෙ කියල හිතල. මොනව වුණත් ඉසුරුගේ අක්කටයි, හස්බණ්ඩටයි,

 බස්සගේ පළාමල්ලෙන්
"වේවා සිරි සු මංම්!!! "



කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

5 comments:

  1. නියම වැඩක්නෙ වෙලා තියෙන්නෙ.. :) පුංචිගෙ පුතාගෙ මනමාලි හඳපානෙ ගිහින් කියලා කියන්ඩ තිබ්බෙ..

    ReplyDelete
    Replies
    1. කිව්වට මොකෝ එකෙක් ඇත්තටම හඳපානේ ගියා නේන්නං... :D

      Delete
  2. හපොයි මැයි මාසෙ යන්ඩ තියෙන වෙඩිං ගොඩ මතක් වුණා බං!

    ReplyDelete
    Replies
    1. මටත් දෙවෙනි මනමාලයෙකුට අඳින්න වෙලා බං. රටේ ලෝකේ වෙන කොල්ලෝ නැතුවද මන්ද මාවම ඕනි කියන්නේ... :-p

      Delete
  3. උඹටත් වෙන්නේ මාර සීන් තමා බන් :)

    ReplyDelete

උඩට යන්න මෙතන click කරන්න.