Monday, March 17, 2014

දුම්රියේ ඛේදවාචකය හෙවත් බස්සාගේ බෑඩ් ලක්

මං කැම්පස් ආ කාළෙ ඉඳන් හෙනම හෙන බෑඩ් ලක් (සිංහලෙන් කියනවනම් කරුමක්කාරයෙක්) කොල්ලෙක් විදියට ප්‍රසිද්ධියට පත් වුණා. උදාහරණයක් විදියට කොල්ලො සීයක් මැද මං ඉද්දි අහසෙ යන කුරුල්ලෙක් වසුරු පිඩක් හෙලුවොත් ආයෙ දෙකක් නෑ ඒක මගේ ඔලුව උඩම තමා... ඔය හේතුව හන්දමයි මං මගේ බ්ලොග් එකේ ඒ කාලෙ ඉඳන්ම "මා යනු..." කියන හැඳින්වීමට මේ වැකිය පාවිච්චි කලේ. 



මා එක්ක ළඟින්ම ආශ්‍රය කළ මාලකයා, පජ්ජා එහෙම දන්නවා මගේ ලක් එකේ තරම. මේ කියන්න යන කතාවත් ඔය මගේ බෑඩ් ලක් එකේ ප්‍රතිඵලයක් තමයි. දැන් ඉතිං මට මනෝ විද්‍යාත්මක කොමෙන්ට් දාන්න ලෑස්ති වෙන්නෙපා තමං කරුමක්කාරයෙක් කියලා යටි හිතට මංම දීගන්නවයි කියලා.මෙහෙම හිටියට මට උඹලට වැඩිය හෙනම හෙන පිනා චාන්ස් ඒමත් වැදිල තියෙනව. ඒ ඇති. දැන් කතාව.


කොහොම කොහොම හරි කාළය ගත වුණා. ගිය මාසෙ අපේ කැම්පස් ජීවිතෙත් නිමා වුණා. හා හා පුරා කියල ලැබිච්ච ජොබ් එකට මාර්තු 04 වෙනිදා ඉඳන් යන්න පටන් ගත්තා. මාර්තු අන්තිම වෙනකන් වගේ හොස්ටල් එකේ ඉන්න අවසර තිබුණු හන්දා අලුත් බෝඩිමක් හොයාගන්නකන් හොස්ටල් එකේ ඉඳන් රස්සාවට යන්න තීරණය කළා. හොස්ටල් එක ක‍ටුබැද්දෙ. ‍රැකියාව ගංගාරාමෙ,බේබෲක් පෙදෙසෙ.දුර ගත්තොත් කිලෝමීටර 20ක් වගේ ඇති. ඒ උනාට උදේට බස් එකේ වැඩට යන්න ගියාම සසර කළකිරෙනවා. ගාලු පාර සංවර්ධනය කරන නිසා බස් එහෙම යන්නෙත් පයින් ගාටන ගානට. පාන්දර 8ට 9ට අවදි වෙන්න පුරුදු වෙලා හිටි අපිට දැන් 6ට විතර අවදි වෙන්න වෙලා. කොහොම හරි බස් එකේ පැය දෙකකට වඩා ගාට ගාට යනවට වඩා දුම්රියේ යන එක ඉක්මන්. 

අපේ ගෙවල් පැත්තෙ, ඒ කිව්වෙ ඇඹිලිපිටියෙ තාම ට්‍රේන් එහෙම නැති නිසා මට නිතර නිතර ඕවයෙ ගිහිං පුරුද්දක් නෑ. ඒ උනාට කැම්පස් ආවට පස්සෙ කීප සැරයක්ම ට්‍රේන් වල එහෙ මෙහෙ ගියා. 

ඔන්න ඉතින් ඊයෙ පෙරේද දවසක මමයි, ඉන්දුලයයි, සංජයයි පොට්ටෙයි වැඩට යන්න කියලා උදේ 7.30 ට විතර ඉස්ටේෂමට ගියා. එතනත් හෝ ගාල සෙනග. 
සේරම office යන උදවිය තමා. මේ ටයිම් එකට මොර‍ටුවෙන් ට්‍රේන් දෙකක් තියෙනවා.

එකක් මාතර ඉඳන් එන සීඝ්‍රගාමී "සාගරිකා" දුම්රිය. ඒක මොර‍ටුවෙන් පිටත් වෙන්නෙ 7.50 ට. මොර‍ටුවෙන් පස්සෙ ආයෙ නවත්තන්නෙ කෙළින්ම බම්බලපිටියෙ. අතරමැද නැවතිළි නෑ. ඒකෙ 3rd class නගිනවනම් ඉතින් එකෙන්ම ෆුට් බෝඩ් එකේ තමා. ටිකට් එකේ ගාණ රුපියල් 15යි. 2nd Class එකේ නගිනවනම් අර තරම්ම තද බදයක් නෑ. හැබැයි ටිකට් එක රුපියල් 30ක් ද කොහෙද වෙනවා.



අනික් ට්‍රේන් එක ඇවිල්ල මොර‍ටුවෙන් ම පටන් ගන්න මන්දගාමී දුමිරිය. ඒක පිටත් වෙන්නෙ 7.50ට. හැම ස්ටේෂන් එකකම නවත්ත නවත්ත යන නිසා ටිකක් වෙලා යනව. හැබැයි වාඩි වෙලා යන්න නම් පුලුවනි.

මං ඔන්න ඔය දෙවෙනි ට්‍රේන් එකේ තමා වැඩට යන්න පුරුදු වෙලා හිටියේ. පළමුවැන්නෙ ඉක්මන් වුණත් සෙනග වැඩි නිස මං ඒක මග ඇරියා. හැබැයි පොට්ටෙ, ඉන්දුල යන්න පුරුදු වෙලා හිටියෙ පළමුවැන්නෙ. උන්ට ටිකක් හිර වෙලා හරි ඉක්මනටයි යන්න ඕනි වුණේ. සංජය ඇවිල්ල නිව්ටල්. ඌට අරක මේක කියල නෑ. අපේ සෙට් එකේ වැඩි දෙනා යන එකේ යනවා. 

දැන් ඔන්න අපි 4 දෙනා ඉස්ටේෂමට වෙලා ඉන්නකොට හූ හඬ තියාගෙන "සාගරිකා" එක්ස්ප්‍රස් දුම්රිය වේදිකාවට ළඟා වුණා. 3rd Class එක දැක්කම බය හිතෙනවා. ඒ තරමටම සෙනග. 2nd Class එකේ අර තරම් සෙනග නැති වුණත් අපි අරගෙන තියෙන්නෙ 3rd Class ටිකට් නිසා ඒකෙ යන්න බෑ..



ඔය අතරේ දුම්රිය පොළේ ලවුඩ්ස්පීකරේ කෑ ගහන්න පටන් ගත්තා... "තුන් වන වේදිකාවට පැමිණි සාගරිකා දුම්රිය තව ස්වල්ප වේලාවකින් මරදාන බලා පිටත් වනවා ඇත. එය දුම්රිය මොර‍ටුව සිට බම්බලපිටිය දක්වා නවත්වන්නේ නැත. එය බම්බලපිටියේ සිට සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත... 3 වන පන්තියේ ප්‍රවේශ පත් ලබාගත් මගීන් දෙවන පන්තියේ මැදිරි තුල ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි...."

ඕක කියල ඉවරවෙනකොටම පොට්ටෙ ගිහින් 2nd Class මැදිරියකට නැග්ගා. 

"අපෝ... අපිට නම් යන්න බෑ. 3rd Class ටිකට් අරන් 2nd Class ගිහිං මාට්‍ටු වුණොත් ඉවරයි...." මමයි සංජයයි එක හෙලාම විරෝධය ප්‍රකාශ කළා.

"ඕව චෙක් කරන්නේ නෑ බන්... කළාතුරකින් තමයි චෙක් කරොත් කරන්නෙ. අපි හැමදාම යන්නෙ. ජීවිතේට මාට්‍ටු වෙලා නෑ..." එහෙම කිව්ව ඉන්දුලයත් ගිහිං ට්‍රේන් එකට ගොඩ වුණා.

"අනේ ඕකුන් දෙන්නට යන්න කියමු බං. අන්න අරකෙ අපි වාඩි වෙලා හිමිහිට යමං. අන්තිමේ ඔවයෙ ගිහිල්ල මාට්‍ටු වුණොත් විනාසයි..." මං කෙළින්ම මෙවරත් අකමැත්ත ප්‍රකාශ කළා...

"ඔව් බං. කියන්න බෑ. මාට්‍ටු වුණොත්..." සංජයත් මගෙ පැත්තෙ.

දැන් ට්‍රෙන් එක යන්න සූදානම. ඉන්දුලය ට්‍රේන් එකේ ඉඳන් ගල් ඉබ්බ වගේ අපි දිහා හිනා වෙවී බලන් ඉන්නව "අනේ තොපි වගේ මෝඩයො දෙන්නෙක්" කියන ගානට. 

"වරෙන් බං..." ඉන්දුලයා ආයෙමත් අතින් සිග්නල් කළා.

"අනේ ඔන්නොහේ මාත් යනව බං..." එහෙම කියපු සංජයත් දඩ බඩ ගාල ගිහින් ට්‍රේන් එකේ එල්ලුණා. දැන් මං නිකං මොකාද එකා වගේ තනියම හිටගෙන බලන් ඉන්නව. දැන් මටත් හෙනම පාලුයි. මුන් තුන් දෙනාම අරකට නැග්ගනේ.ඔය අතරේ ට්‍රේන් එක හෙමින් හෙමින් ගමන් ආරම්භ කළා... 

"මෙන්න මෙහෙ වරෙන් බං... " ඉන්දුලය අවසාන වතාවටත් මට කතා කළා. ඕන රෙද්දක් කියලා මාත් යන ට්‍රේන් එකට දුවල ගිහින් එල්ලුනා. 2nd Class වුණත් මං උන්නෙ ලාවට වගේ ෆුට් බෝඩ් එකේ. දැන් ඉතිං හුළං වැදි වැදි සීඝ්‍රගාමී දුම්රියෙ කොල්ල වටපිට බල බල යනවා. දුම්රිය රත්මලාන හරිය පහු කරන්නෙ උනේ නෑ අපිට කළබලේක සද්දයක් ඇහුණා...

"අපිට රාජකාරිය කරන්න දෙන්න මහත්තය කරුණාකරල... ගන්න ඔයාගෙ අයිඩින්ටිය.ඉක්මනට..." කවුද සිවිල් ඇඳුමකින් සැරසිච්ච මිනිහෙක් තව මිනිහෙක්ගෙන් අයිඩින්ටිය ඉල්ලනවා.... 

"අම්මට සිරි!!! ටිකට් චෙක් කරනවා!!!" කවුද එකෙක් ඔය අතර එහෙම කියනව ඇහිලා මගේ ඉහින් කනින් දාඩිය දාන්න ගත්තා. 

සිවිල් ඇඳුමින් සැරසිච්ච ටික්කො 5ක් 6ක් විතර අපේ මැදිරිය පීරගෙන එනවා. අපි 4 දෙනාට දැන් උඩ බිම නෑ... මදැයි මමත් යන ට්‍රේන් එක එළවගෙන ගිහින් නැග්ගා. අපි 4 දෙනාම පිළිම වගේ නොසෙල්වී අහක බලාගෙන හිටියා... 

"අනේ දෙයියනේ මගෙන් නම් ටිකට් අහන්න එපා!!!" මං එහෙම දෙතුන් පාරයි හිතුවේ... එක ටික්කෙක් කෙළින්ම ඇවිත් මගෙන් ටිකට් ඉල්ලුවා. 

දැන් ඉතිං මොනව කියන්නද? මං සෙනග නිසා ටිකට් එක ගන්න සාක්කුවට අත දාගන්න බෑ වගේ පොඩ්ඩක් ඇක්ටිං පාරක් දැම්මා, එතකොටවත් මේකා වෙන එකෙක්ගෙන් ටිකට් ඉල්ලාවි කියල හිතාගෙන. කෝ... මේක මැටි ගොඩ වගේ එතනම හිටගෙන ඉන්නව මං ටිකට් එක දෙනකං... ඔය අතරෙ මගේ ඇඟේ ගෑවි ගෑවි හිටි මගේ අතිජාත මිත්‍ර ඉන්දුල සහ සංජය ලද අවසරයෙන් ටිකට් චෙක් කරල ඉවර පැත්තට ලිස්සල ගියා... අර මිනිහත් මෙච්චර මේ මුන් ඉද්දි මගෙන්ම ඇවිත් ටිකට්  එක ඉල්ලුවට මට පුදුම නෑ. ඒ මගේ ලක් එක. අවුරුදු ගණං ට්‍රේන් එකේ හොරෙන් යන මිත්‍රයො කවදාවත් අහුවෙලා නැතිව හා හා පුරා කියල පළවෙනි වතාවට ගිය මංම අහුවෙච්ච එකටත් මට පුදුම නෑ. ඒකත් මගේ ලක් එක. කලාතුරකින් වෙන ටිකට් චෙක් කරන එකත් මං යන දවසෙම උණාට පුදුම වෙන්න දේකුත් නෑ... එකත් මගෙ ලක් එක...

ඉතින් මගේ ටිකට් චෙක් කරපු උත්තමය මගේ අයිඩින්ටි කාඩ් එකත් අරගෙන මෙහෙම කිව්වා...
"අපිත් එක්ක මෙහෙම්ම කො‍ටුවට යන්න එන්න. පොඩ්ඩක් පැය බාගයක් විතර  යාවි... ඊට පස්සෙ තමයි අයිඩින්ටිය ගන්න පුලුවන්..."

මොනව කරන්නද? මං ඉතින් office යන එක පැත්තක තියල ගියා ඒ ට්‍රේන් එකේම කො‍ටුවට. 


අපිව එක්ක ගියා පෝළිමක මොකක්දෝ තැනකට. අපේ පෝළිමේ දිග දැකල, මට ඇස් අදහ ගන්න බැරි වුණා. පෝළිම ට්‍රේන් එකටත් වඩා දිගද මන්දා...  ඒ අතරේ බොහොම වැදගත් ටයි පොලු එහෙම දා ගත්තු මහත්තුරු වගේම තොල් දෙකේ රතු පාට උලාගත්තු අඩි උඩ සෙරෙප්පු අක්කලාත් පිරිල හිටිය. 



"අඩෝ උඹත් අහු උණාද?..." එහෙම කියාගෙන කවුදෝ මගේ පිටට අත තිබ්බ. හැරිලා බැලින්නම් අපේ කැම්පස් එකේ අපේ Department එකේම මාධවයා. මිනිහටත් වැඩට යන ගමන් ටොපිය සෙට් වෙලා. කොහොම කොහොම හරි මට වෙච්ච අකරතැබ්බය නිසා ඉන්දුලයයි, සංජයයි වැඩට යාම පැත්තක තියලා මං එක්ක කො‍ටුවට යන්නත් ආවා.

ඔය අතරේ කවුද නිළදාරියෙක් ඇවිත් උස් හඬින් සෙනග ආමන්ත්‍රණය කළා...

"හැමෝටම දඩය විදියට රුපියල් දෙදාස් පන්සීයකුයි, ගමන් ගස්තුව වගේ දෙගුනෙකුයි ගෙවන්න වෙනවා... දැන් සල්ලි තියෙන අය සල්ලි ගෙවලා අයිඩින්ටි අරන් යන්න. දැන් සල්ලි නැති ඒත් පස්සෙ ගෙවන්න කැමති අය ලියුමක් ලියල දිලා Phone එකක් මාලයක් වගේ වටින දෙයක් ඇපේට තියල යන්න.  එහෙම නැති අයට දවල් 12න් පස්සෙ නඩු දානව. එහෙම උණොත් කරදර වැඩි වෙයි...."

ඒ කතාව ඇහුවම සෙනග අතර කසු කුසුව වැඩි වුණා. දැන් මොනව කරන්නද? නඩු දැම්මොතින් වැඩේ වැවෙන එකයි වෙන්නෙ.. මම මගේ පර්ස් එක ඇරල බැලුවා... පඩි හම්බෙනකන් කියල ගෑණු ළමය දීපු රුපියල් 3000 යි තව රුපියල් සීයකුයි පර්ස් එකේ තියෙනවා... පඩි හම්බෙනකන් කන්න බොන්න, එහෙ මෙහෙ යන ඒවට... හැමදේටම තියෙන්නෙ ඔච්චරයි. මොනව කරන්නද? මගේ වාසනාවට පිං දිදී මං ඒකෙන් දඩේ ගෙවල ඉතුරු 500 මාධවයට දඩේ ගෙවන්න දිලා අත් දෙක වන වන ආවා...



ඊ ළඟට යෙදී තිබුණේ ස්තුති කතාව. ඒක කරන්න ඉන්දුලය හෙව්වට office යන්න පරක්කු වෙලා නිසා ඒක ටිකකට කල් දාලා යන්තං 10 වෙනකොට office එකට යා ගත්තා. 

කතාව ඉවරයි කියල හිතුවට ඉවරම නෑ... ඊ ළඟ දවසෙ ට්‍රේන් එකේ යන්න ඉස්ටේශමට ගිහින් ඊට නොදෙවෙනි පජාත වැඩක් මට වුණා... යනකොට ට්‍රේන් දෙකක්ම ඉස්ටේෂමේ තිබුණා. යන්නෙ මොකේද කියලා හිත හිත උන්නට අන්තිමේ මට ඒ ට්‍රේන් දෙකේම යන්න බැරි වුණා.  යාලුවො ටික විතරක් ඒකෙ ගියා.ඒකත් මේ ඉන්දුලයගේ වීර ක්‍රියාවක ප්‍රතිපලයක් තමයි. ඒක වෙන දවසක කියන්නම්... නැත්තං මේ පෝස්ට් එක දිග වැඩි වෙනව නෙව. එහෙනම් හැමොම දැන් මේක හඬ නගා කියල බස්සාට අශිර්වාද කරන්න

"ස්සාගෙ ග්‍ර දුරු වේවා!!!"

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

16 comments:

  1. ඔහොම ඒවා තමයි මටත් වෙන්නේ. සල්ලි ඉතුරු කරන්න කියල හිතපු දවසෙම මොකක් හරි වැටිලා තියෙන ඒවා වියදම් කරලා නයත් වෙන්න වෙනවා. කාලාන්තරෙකට බොරුවක් කිව්වොත් කිව්ව හැටියේ අහු වෙනවා. පුළුවන් තරම් අවංක වෙන එක තමයි ඔහේ අපි වහේ අයට සුදුසු.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම මන් වගේ උන් තව ඉන්නවා නෙව!!!

      Delete
  2. අම්මපා මටත් වෙලාවකට හිතෙනවා දෙයියෝ මාව අහක බලාගෙන මැව්වද කියලා මට වෙන දේවල් වල හැටියට.

    ReplyDelete
    Replies
    1. සේරම අපල යන්න තියන්න ඕනි ලොකු පූජාවක්!!! ඔව්!

      Delete
  3. අවාසනාව නෙවෙයි මචං,වැරදි වැඩ නොකර හිටියා නම් ඉවරනේ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. දැන් මං කරන්නේ ඒක තමයි ඔයි පාර.

      Delete
  4. මටත් ඔයා ඔය කියන සාගරිකා එක්ස්ප්‍රස් දුම්රියේදීම ඔය විදියෙම වැඩක් වුනා .හැබැයි ඔයාට වුනු සිද්ධියට වඩා වෙනස් විදියට තමා ඒක වුනේ .මන් SLIIT යන දවස් වල මමත් කවදාවත් දුම්රියේ ගමන් බිමන් වැඩිය යන්නේ නෑ .ගියොත් බස් එකේ තමා .ඉතින් එක දවසක් මන් උදේ කොළඹ එන්න බස් එකේ නගින්න ඉන්නකොට යාලුවෙක් හම්බුනා.ඉතින් ඒකා කිව්වා බස් එකේ ගියොත් ගොඩක් වෙලා යනවා කෝච්චිය ඉක්මනට යනවා ඒ නිසා එන්න යන්නකෝච්චියේ කියලා .මාත් ඉතින් කැමති වෙලා ඉස්ටේෂමට ගිහින් ටිකට් එකකුත් අරන් යාලුවත් එක්කම කෝච්චියට නැග්ගා .ඒ වෙලාවේ කෝ ච්චියේ එහා මෙහා වෙන්න බැරි තරමට සෙනඟ .ඉතින් ඉක්මනට යන්න පුළුවන් නිසා මාත් දුක විඳගෙන බොහොම අමාරුවෙන් හිටියා ඔහොම ඉන්න අතරවාරේ මන් හිටපු තැන සීට් එකේ හිටියා ලස්සනට සාරියක් ඇදගත්තු නෝනා කෙනෙක් එයා මන් දිහා බලලා හිනා වෙලා කිව්වා දෙන්න බෑග් එක කියලා .මාත් ඒ වෙලාවේ අමාරුවෙන් බෑග් එක තියන් හිටපු නිසා මාත් එයාට බෑග් එකදුන්නා .දැන් කෝච්චිය අලුත්ගම පහු කරලා කළුතර හරියට එනකොට මිනිස්සුන්ට හිටගෙන යන්න වත් ඉඩ නෑ .මාත් තල්ලු වෙලා ගිහින් .දැන් මන් කොහෙවත් මගේ බෑග් එක කොහෙවත් .දැන් කෝච්චිය කොල්ලුපිටියට ලං වෙලා.මන් බෑග් එක ගන්න ගිහින් මගේ බෑග් එක තියා ගත්තු නෝනට ඉස්තුතිය් කියලා මාත් කොල්ලුපිටියෙන් බැහැ ගත්තා.දැන් කොල්ලුපිටිය ඉස්ටෙෂමේ බාප්පලා ටිකට් චෙක් කරනවා මාත් බෑග් එකට අත දැම්ම පර්ස් එකෙන් ටිකට් එක ගන්න මගේ පර්ස් එක නෑ දැන් මන් මුළු බෑග් එකම පීරලා හෙව්වත් පර්ස් එක හම්බුනේ නෑ .මට එතකොට තමා වැඩේ තේරුනේ අර මාත් එක්ක හිනා වෙලා මගෙන් කෝච්චියෙදී බෑග් එක ඉල්ලා ගත්තු ලස්සන නෝනා පර්ස් එකට වැඩේ දීලා කියලා .දැන් ඉතින් මොනා කරන්නද ?මන් බාප්පලාට වුන ඇත්ත සිද්ධිය කිව්වත් උන් පිළිගත්තේ නෑ.කෝච්චියේ හොරට අවාට මදිවට බොරුත් කියනවද ඇහුවා .දඩය විදියට රුපියල් දෙදාස් පන්සීයකුයි, ගමන් ගස්තුව වගේ දෙගුනෙකුයි ගෙවන්න වෙනවා ඔය ළමයට කිව්වා .එදා උදේ අපේ අම්මා මට රුපියල් හාරදාහක් දුන්නා බෝඩිමේ සල්ලි ගෙවන්න කියලා මන් ඒ සල්ලි වෙලාව කියන්නේ පර්ස් එකේ නොදා පරක්කු වුනු නිසා සාක්කුවේ දා ගත්තා.මොනවා කරන්නද බෝඩිමට අම්මා දීපු සල්ලි වලින් දඩය ගෙවලා මගෙන් කෝච්චියෙදී බෑග් එක ඉල්ලා ගත්තු ලස්සන නෝනත් මතක් කරන ගමන් උදේ 9 ට තිබුන ලෙක්චර් එකට පැයක් විතර පරක්කු වෙලා ගිහින් වාඩි වෙලා හිටියා ..... ඔන්න මට වුනු වැඩේ

    ReplyDelete
    Replies
    1. අපොයි!!! උඹට වෙච්ච වැඩෙත් මට වුනු එකට දෙවෙනි නෑ එතකොට. මොනවා උනත් ඔය ලස්සන නෝනලා විස්සාස කරන්නම බෑ. ට්‍රේන් එකේ යද්දී මං කරන්නේ පිටිපස්සේ සාක්කුවේ තියෙන පර්ස් එක අරගෙන ඉස්සරහ සාක්කුවට ඔබා ගන්න එක.එතකොට පොකට් ගහන්න උනත් ටිකක් අමාරුයිනේ...

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. මට සින්දුවක් මතවුනා බන්.
    ලෙසියටත් පහසුවටත්................................

    ReplyDelete
  7. අප්පට සිරි මේක දැක්කේ පරක්කු වෙලානේ. කලින් දන්නවා නම් අපේ මාධවයා හොරෙන් ගිහින් අහු උණා කියන එක නිකන් ටිකට් එකක් ඇදුනා වගේ. අපරාදේ යකෝ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං යක්ෂයෝ, ඒ හරුපේ ? උඹ මාධවයගේ තරහ කාරයෙක්ද හැබෑට?

      Delete
    2. යකෝ මම යකා, ඉතින් අපිට සතුටු නැතිනම් වෙන කාට සතුටු හිතෙන්නද?

      Delete
    3. හැබෑව හැබෑව.... දැන් මට වුණු අකරතැබ්බෙටත් උඹට සතුටුයි කියල එහෙම කියන්නෙපා හැබැයි.

      Delete
  8. මටත් කාලයක් දරුනුවටම තිබ්බා ඔය අවාසනාව. කොටින්ම අපේ එවුන් මගේ නමත් වෙනස් කරා අකරතැබ්බ කියලා. හැබැයි පස්සේ එක ටික ටික හරි ගියා. උඹට කෙමක් කියන්නම් ඕකට. කරන්න තියෙන්නේ මොන දේ කරන්න ගත්තත් ඉස්සරලම හිතට එන එක කරපං. බඩුවක් ගන්න ගියත් ඉස්සරලම අතට අහුවෙන එක ගනින්. මමත් ඔහොම කොරලා තමා ඕක හදා ගත්තේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද? හ්ම්ම්ම්...බලමු බලමු ඕක මට වැඩ කොරාවිද කියලා...

      Delete

උඩට යන්න මෙතන click කරන්න.