Sunday, February 21, 2016

අමු නිරුවතින් 'Vezel' එකක යන්න උනා ඕයි!!!

සෑහෙන්න කාලෙකින් තමයි බ්ලොග් එකට ගොඩ උනේ. හැමෝම අහනවා දැන් ලියන්නෙ නැද්ද කියලා. ඇත්ත නේන්නම්... මං අන්තිම බ්ලොග් පෝස්ට් එක දාපු කාළෙ මේ ලක්දිව පාලනය කලේ වෙන ආණ්ඩුවක් කියලා දැනුයි මීටර් උනේ.

ඔන්න මේ අවුරුද්දෙවත් බස්සාගෙ ලක් එක හොඳ අතට හැරේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ගිය අවුරුද්දෙ බස්සා ඇතුලු කණ්ඩායම මුහුණ දීපු පට්ට පජාත විලි ලැජ්ජා සහගත කතාවක් කියන්නයි සූදානම. (සම්පූර්ණ ආතල් එක ගැනීම පිණිස post එකේ අන්තිම දක්වාම කියවන්න කියල ඉල්ලා හිටිනව). ඔන්න එහෙනම් කන් දෙකේ ඇඟිලි ගහගෙන පොඩි ළමයි එහෙම ඉන්නව නම් පොඩ්ඩක් ඈත් කරල, කතාව කියවන්න සූදානම් වෙමු ඈ...

ඔන්න දැන් අවුරුද්දකට විතර කලින් මට කාර් උණ හැදිල තිබ්බ අවදිය. චූටි ඇල්ටෙක්, මරුටියක් ලයින් කර කර හිටි මම අන්තිමට ගත්තෙ Honda Insight  හයිබ්‍රිඩ් එකක්. 

වත්තල පැත්තෙන් තමා කාර් එක ගත්තෙ.  කාර් එක ගත්තට පස්සෙ ඉස් ඉස්සෙල්ලම කතරගම පලයන් කියල බෝඩිමෙ උන් කිව්වා. කතරගම නම් ඉතින් ගෙදර ගිය වෙලාවක යන්න බැරියැ කියල හිතපු මම කොළඹම තිබ්බ පිල්ලෑවෙ පන්සලට ඉස් ඉස්සෙල්ලම කාර් එකෙන් ගිහින් ආව. දැන් ඉතිං කාර් එකෙන් අපේ සෙට් එකත් එක්ක දුර ගමනක් යනකම් ඉවසුමක් නෑ. කොහෙද යන්න කිය කිය හිත හිත ඉන්න ගමන් මගෙ අතිජාත සරසවි මිතුරු, කවදත් මට කෙළවෙන හැම තැනකම වගේ හිටපු ඉන්දුලයගෙන් chat එකක් ආවා.




කාල බීල බෝඩිමට වෙලා ඉන්න බැරි අපි ඔන්න ඔය විදියට 12 දෙනෙක් සෙට් කරගෙන හංවැල්ලෙ තියෙන Paint Ball ගහන පොට් එකට ඉරිදා දවසක යන්න පිටත් උණා. අපි බුක් කරලා තිබ්බෙ හවස 2 ඉඳන් 6 වෙනකම් time slot එක. දැන් යන්න වාහන තුනක් තියෙනවා.

01. මගේ honda insight හයිබ්‍රිඩ් එක.
02. කෝසලයගේ vezel හයිබ්‍රිඩ් එක.
03. සඳරුවගෙ ඇල්ටො කාර් එක.

මමත් හා හා පුරා කියල මගෙ කාර් එකේ බෝඩිමේ අකිලවයි, තව මාධවයවයි, පුට්ට වයි දාගෙන කාර් එකටත් වැඳලා ගමන පිටත් උනා. 



ගත්තු අලුත් නිසා, වලවල් වල එහෙම දාන්නෙ නැතුව බොහොම පරිස්සමින් drive කළා. අපි හවස දෙක විතර වෙනකොට හංවල්ලේ තියෙන අදාල ස්ථානයට ළඟා උනා. අපි යනකොට අපේ අනික් සෙට් එකේ ඉන්දුල, කෝසල, අඳුන්, සඳරු, ලක්ශ්‍රී සහ Dialog එකේ වැඩ කරන ඉන්දුලගෙ තව යාලුවො 3න් දෙනෙක් ඇවිත් හිටියා. මගේ කාර් එක ඉස් ඉස්සෙල්ලම දකපු කෝසලයා, අඩෝ මරුනෙ කියලා, පොඩි රවුමකුත් පැදල බැලුවා.

දැන් ඉතින් මේ paint ball ගේම් එක පටන් ගන්න කළින් අපිට එම ස්ථානයේ භාරකරු වුණු ෂේන් විජේසිංහ අපිට ලෙක්චර් එකක් එහෙම දුන්නා. මෙතන තමා ලෙක්චර් එක කළේ.

(මේක නම් අපේ ෆොටෝ එකක් නෙවෙයි ඈ)


"මේ ගේම් එක කරද්දි අපි ඔයාලව team දෙකකට බෙදනව. එක team එකකට ආමි ඇඳුම් වගේම අනික් team එකට STF නිළ ඇඳුම ලැබෙනව. මේක බොහොම පරිස්සමින් කරන්න ඕනි ගේම් එකක්. තුවාල වෙන්නත් පුලුවන්. ඒක නිසා හැමෝම තමන්ට ලැබෙන හිස් ආවරණ ගේම් එක ඉවර වෙනකම්ම ගලවන්න බෑ. එහෙම කරන අයව මං ගේම් එකෙන් අයින් කරනව. හැමෝටම තුවක්කුවක් ලැබෙනව. ඒ එක්කම බුලට්ස් 100කුත් එක්කෙනෙකුට ලැබෙනව. අනවශ්‍ය විදියට බුලට්ස් නාස්ති කරගන්නෙ නැතිව target එක පේනවනම් විතරක් shoot කරන්න. blind shooting (ඇස් දෙක පියාගෙන වැනීම) තහනම්. බුලට්ස් හදල තියෙන්නෙ වැදුන ගමන් පිපිරිලා යන රබර් වලින්.බුලට් එක ඇතුලෙ සායම් පුරවලා තියෙන්නෙ. ඒක නිසා තමන්ට වැදුන ගමන් අනික් අයට පේනවා. කෙනෙක්ට වෙඩි වැදුන ගමන් තරඟයෙන් ඉවත් වෙන්න ඕන. මේ විදියට එක team එකක් ඉවර වෙනකම් ගේම් එක යනවා. ගේම් එක යන්න අර අතන පේන පුංචි කැලෑවෙ. ඒක ඇතුලෙ අපි පොඩි බංකර්, කොන්ක්‍රීට් බැරිය(ර්) එහෙම හදල තියෙන්නෙ ඇත්ත war එකක් වගේ අත්දැකීම එන්න. හැමෝම ගේම් එකට කළින් මේ form එක fill කරන්න ඕන. මේකෙ තියෙන්නෙ තමන්ගෙ ජීවිතේට මොනයම් හෝ අනතුරක් උණොත් ඒකෙ වගකීම තමන් ගන්නව කියල."

ඒක ඇහුවට පස්සෙ නම් මට දාඩිය දාන්න පටන් ගත්ත. යකෝ සල්ලි දීල, මරණ අවදානමක් ගන්න අවස්ථාවක් දීපු ඉන්දුලය දිහාවට මට බැලුනෙ ඉබේටම වගේ.

කොහොම හරි ෂේන් විසින් අපිව  6 දෙනා බැගින් team දෙකකට බෙදුවා. අපේ team එකේ පිළිවෙලින්, අඳුන්, අකිල, මම, මාධව, ලක්ශ්‍රී, සඳරු, ඔන්න අපේ team එකට STF නිළ ඇඳුමත් ලැබුණා.



ඉන්දුලයගෙ team එකේ ඉන්දුල, කෝසල, පුට්ටා සහ ඉන්දුලගෙ යාලුවො 3න් දෙනා (ඔමිල, ලක්මාල්, එරංග)



දැන් තමයි හොඳම හරිය. 

දැන් ඉතිං ඇඳන් ආපු ඇඳුම් උනා තබලා, මුන් දීපු STF ඇඳුම් ඇඳගෙන කැළේ රිංගන්න වෙලාව. අපිත් එහෙට මෙහෙට මුවා වෙලා කලිසම, බැනියම, ටී-ෂර්ට් එක එහෙම ගලවලා, ජංගිය උඩින්ම අරුන් දීපු STF kit එක දා ගත්තා. ඒක දා ගත්තට පස්සෙ ආපු feeling එක කියල වැඩක් නෑ ඕයි. තිස් අවුරුදු යුද්ධයක් නිමා කරල සිරි ලංකාවට සාමය ගෙනාවෙ අපි 6 දෙනා වගේ හැඟීමක් ආව. 

කොහොම හරි ඔන්න 12 දෙනාම ලෑස්ති වෙලා, කැලෑගත වෙන්න කලින් අපේ ඇඳන් ආපු ඇඳුම්, ජංගම දුරකථන, ප(ර්)ස් ආදී සියලුම දෑ මගේත් කෝසලගේත් වාහන දෙකට දාල ලොක් කලා. මගේ කාර් එකේ යතුර වැඩි පරිස්සමට මං මගේ STF කලිසමේ සාක්කුවට දාගත්ත.

ඔන්න team දෙක වනගත උණා. අපේ team එක කැලේ එක පැත්තකට සෙට් වෙද්දි, ඉන්දුලලගෙ team එක අනික් පැත්තෙ සෙට් උණා. ඊ ගාවට අපි අපේ ගේම් plans ගැන රහසිගතව සාකච්චා කළා. 

ඔන්න ගේම් එක පටන් ගත්ත. දෙගොල්ලො දැන් මාරාන්තික විදියට වෙඩි තියාගන්නව. එක එකා මැරිල වටෙනව (මැරිල වැටෙනව කිව්වෙ සායම් පාර කාළ යුධ භූමියෙන් ඉවත්ව යනව). ටික වෙලාවකින් ෂේන් විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළා. 



දෙපිරිස කැලෑව මැදට එක් ‍රැස් වුණා. ගේමක්ම නෑ. අපේ තව 4ක් පණ පිටින්. ඉන්දුලලගෙ ඉතුරු තව දෙන්නයි. ඒ කියන්නෙ අපි ඉදිරියෙන්. මාත් තාම වෙඩි කෑවෙ නැති නිසා තව දුරටත් යුධ වදින්න අවස්ථාව ලැබුණා. මම ඉන ගාවට විතර වැවිල, තිබුණු හබරළ ගස්, ක‍ටු පඳුරු පීරගෙන බඩගාගෙන සතුරා වෙත ක්‍රමයෙන් ළං උණා. ඔය මොනවා උණත් අතරමගදී organizers ලා ඇවිල්ල ෆොටෝ එකක් ගහන්න හදද්දී ඒවාට මුහුණ නොදී පුළුවනැයි? බලපල්ලා මං ඉන්න ලස්සන විතරක්.





ඒ දවස් ටිකේම වැස්ස තිබ්බ නිසා බිම  දිය සීරාව එහෙමත් තිබුණ. ඒ අස්සෙ මෙන්න යකෝ කකුල් වලයි, අත් වලයි කූඩැල්ලො එල්ලි එල්ලි කනව. ඒකත් ඉවසගෙනම අපේ කන්ඩායම ඉදිරියටම ගියා.ටික වෙලාවකින් සතුරන් සියල්ල සායම් වෙඩි කා මළා. අපේ කණ්ඩායම ජයග්‍රහණය කළා.

ඉන් පස්සෙ කණ්ඩායම් දෙකම කළේ කූඩැල්ලන් කාපුවට ප්‍රථිකාර කිරීම. මගෙත් ඇඟේ හැම තැනකම ලේ ගහනවා. ඇති වෙනකම් ලේ බීපු කූඩැල්ලො මත් වෙලා වැනි වැනි ඉන්නව. සබන් කෑල්ලල් අරගෙන කූඩැල්ලන් ඉවත් කරල මහන්සි ඇරල වතුර එහෙම බීල අපි දෙවන වටය ආරම්භ කළා. 

අලුත් ගේම් plan එකක් සමග ආ ඉන්දුල ඇතුලු කණ්ඩායම මී ළඟ තරඟ වටයේ අපිට ඇප නැති වෙන්නම දුන්නා. දැන් කණ්ඩායම් දෙකම 1-1 බැගින් ලබාගෙන සම තත්වයේ. තව ගේම් එකක් ගහන්න විදියක් නෑ. දැන් හන්දෑවෙ  6 විතර වෙලා. කරුවලත් වැටිලා. අර කැලෑවත් අස්සෙ පොඩි සර්ප පැටව් එහෙමත් ඉන්නව කීප සැරයක්ම අපි දැක්ක. ඒ අස්සෙ ඔන්නෙ පොඩි පොද වැස්සකුත් ඇද වැටෙන්න ගත්ත. තව බුලට්ස් කීපෙකුත් ඉතුරු නිසා, ඔන්නොහේ කලුවරේම අන්තිම final එකත් ගහමු කියල කස්ටිය ඒකමතිකව තීරණය කළා. 

කොහොම හරි ඉන්දුලල අවසන් වටයත් ජයග්‍රහණය කළා. කස්ටියම කැලෑවෙන් ඉළියට ආව. 

දැන් එකාට එකා පේන්නෙ නැති ගානට කරුවල වැටිල. වැස්සත් මහ ධාරාණිපාත් වර්ෂාවක් බවට පත් වුණා. අපි හැමෝම එතන ආවරණයක් යටට ඇවිත් ආපහු කූඩැල්ලන් ගලවන ගමන්, එක එකාට වෙඩි වැදුණු හැටිත්, තමන් අවසන් වෙනකම්ම සැඟවී සිටි හැටිත් විනෝදෙන් කතා කළා. හෙට වැඩට යන්නත් ඕනි නිසා, ඉක්මනට එතනින් නාගෙන පිටත් වෙන්න කස්ටියට ඕනි කම තිබ්බා. ඔය අතරේ කලිසමේ සාක්කුවට අත දැම්ම මං යතුර පරිස්සමට තියෙනවද කියල බැලුවා.

"හත්තිලව්වයි!!! කාර් එකේ යතුර නෑ."

මගෙ ඉහින් කනින් දාඩිය දාන්න ගත්ත. මම දඩ බඩ ගාල හැම සාක්කුවක්ම චෙක් කළා. ම්හ්හ්!!! යතුර නෑ!!!

"අඩෝ, යතුර හැළිල බං!!!" මං එහෙම කිව්වම ඔක්කොම උන් එක පාරටම ගල් ගැහුණා.

"යතුර නෑ...? සිරාවටද කියන්නේ?..."

"ඔව් බං හැළිල...." මං කිව්ව.

"Extra key එක තියෙනවද?"

"නෑ බං. කලින් අයිතිකාරය එක යතුරයි දුන්නෙ...

"මළ මගුළයි. උගෙන් කතා කරල අහපන් තව යතුරක් තියෙනවද කියල"

"කොහොමද බං අහන්නෙ? phone එකත් කාර් එක ඇතුලෙනෙ..."

"කෙළියා... දැන් මොකද කරන්නේ? ඇයි යකෝ ඕක සාක්කුවෙ දාගෙන හිටියේ? මේ වැස්සෙ, කලුවරේ කැලේක කොහොමද බං යතුරක් හොයන්නෙ?" එක එකා මාරුවෙන් මාරුවට මට බනින්න ගත්ත.

"ෂෙහ්!!! දැන් මොකද කරන්නෙ?

"කරන්න දෙයක් නෑ. ටෝච් ගහල, තෙමි තෙමි හරි ආපහු කැළේ හොයමු. උඹ වැඩිපුර හිටපු තැන් වල හොයමු... මේ ගස්, පඳුරු අස්සෙ හොයන එක නම් ලේසි වෙන්නෙ නෑ... සර්පයොත් ඉන්නව බං දැං රෑ උණාම...."


අපි දොළොස් දෙනාම නැවත කැළයට වැදුණා. මහ වැස්සේ තෙමීගෙන හැම එකාම දණක් උසට වැවී තිබූ වැල් ක‍ටු පඳුරු එහෙ මෙහෙ කරමින්, ඇඟ පුරා දුවමින් ලේ උරා බොන කූඩැල්ලන් නොතකා යතුර සෙවීමේ නිරත උණා... අතින් පඳුරු එහෙ මෙහෙ කරද්දි සැරින් සැරේ හම්බුණු විස නැති පොඩි සර්ප පැටව් අපිව තව තවත් අධෛර්‍යට පත් කළා.ඒ අතරේ ඒ ස්ථානයේ සේවය කරන සුලු සේවකයනුත් අපේ සහයට ආව. පැය භාගයක් විතර හෙව්වත් අපිට යතුර හොයාගන්න පුලුවන් උනේ නෑ.
හැමෝම නැවතත් කැළෙන් එළියට ආවා.

"මොකද බං කරන්නේ? පඳුරු පොඩි වෙන්කොට තව තවත් හොයන්න අමාරු වෙන එකයි වෙන්නේ..." එකෙක් එහෙම කිව්වා.

"අපි කම්පැනි කතා කරල අහමු බන් මොකද කරන්නෙ කියලා... උන්ට තව යතුරක් issue කරන්න පුලුවන්ද දන්නෑනේ..." තවෙකෙක් යෝජනා කළා...

හැමෝම වගේ ඒකට එකඟ උනු නිසා මම කොළඹ Stafford Motors එකට call කළා. විස්තරේ අහගෙන මම phone එක තිබ්බ.

"මොකද උන් කියන්නේ?...."

"තව යතුරක් issue කරන්න පුලුවන්ද කියළා හරියටම කියන්න බෑලු. කාර් එක කන්ටෙනර් එකක වගේ දාගෙන කොළඹ ගේන්නලු. කාර් එක චෙක් කරලා යතුරක් issue කරන්න පුලුවන්ද බලන්නම්ලු... එහෙම පුලුවන් උනොත් remote key එකක් දෙන්න 65,000 ක් විතර යාවි කියනවා...."

"යකෝ එතකොට මේක ලක්ෂෙකට විතර කෙළවෙන වැඩක්නේ... ඊට වඩා ලාබ නැද්ද මිනිස්සු ටිකකට කුළිය දීල, කැළේ සුද්ද කරවන එක...? " එහෙම කිව්වත් ඔය කැළේ නම් සුද්ද කරන්න ඉඩ දෙන්නෙ නැති විත්තිය අපි දැනන් හිටියා. උන්ගෙ බිස්නස් එක නැති වෙනවට උන් කැමති නෑනේ.

"කරන්න දෙයක් නෑ බන්... දැන් පුලුවන් විදියට කොළඹ ගිහින් හෙට කට්ටිය නිවාඩු දාල ඇවිත් යතුර හොයමු... මොකද කියන්නේ? මට හෙට එන්න පුලුවන්..." එක යාලුවෙක් එහෙම කිව්වා.

"මටත් පුලුවන්.." ඒ තව යාලුවෙක්.

"මාත් එන්නම්..." තව එකෙක් කැමැත්ත පල කළා.

මම නිසා මුන්ටත් කට්ට කන්න වුනු නිසා අප්සට් එකේ හිටි මම ඒ යෝජනාවත් කැමත්ත පළ කළා..."

"කමක් නෑ බං... එහෙම කරමු. කාර් එක මුන්ට පොඩ්ඩක් බලාගන්න කියල යමු... මෙතන හිටිය කියල වැඩක් වෙන්නෙ නෑනේ..." හෙට කොහොම හරි ඇවිත් යතුර හොයාගන්නව කියල හිතාගෙන මං එහෙම කිව්ව.

"දැන් අපි කොහොමද යන්නේ? 12 දෙනෙකුට වාහන දෙකක යන්න පුලුවන් වෙයිද?..."

"ඒක නම් කොහොම හරි කළා කියමුකෝ.... අපි මුන්ගෙ මේ uniform ටික දුන්නම අඳින්නෙ මොනවද? බස්සගෙ කාර් එකේනෙ යකෝ අපේ ඇඳුම්? " තව යාලුවෙක් එහෙම කිව්වම අපිට තරු විසි වුණා...

"මළ හත්තිලව්වයි!!!.... රෙදි නැතුව කොහොමද යකෝ කොළඹ යන්නේ...?  මගේ office id එකත් බස්සගෙ කාර් එකේ. පර්ස් එකත් ඒකෙ..."

කවුරුවත් නොහිතපු අකරතැබ්බයකට තමයි අපි මුහුණ පෑවේ... ඒ අස්සෙ කෝසලයට, ඉන්දුලයට එහෙම බක බක ගාල හිණා... ඒ මදිවට එතන වැඩ කරන උනුත් හිනා වෙන්න ගත්තා.

"හාපෝ... රෙදි නැතුව නම් තොපි මගේ වාහනේට නගින්නෙපා.... ඊයා..." කෝසලයා එහෙම කිව්වෙ විහිලුවට කියල අපි දැනන් හිටියා...

කස්ටියම මෙතෙක් වෙලා උජාරුවට ඇඳන් හිටපු uniform ගලවලා, ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි කෝසලයගෙ vezel එකට ගොඩ උණා... මොනව කරන්නද? මාත් විලි ලැජ්ජාව පැත්තක තියලා ජංගිය පිටින් වාහනේට ගොඩ උණා...

ඔන්න වාහන දෙක හන්වැල්ලෙන් පිටත් වුණා. අපි එකාට එකා මූණ බලන්නෙ නැතුව ඉස්සරහ පාර දිහා බලාගෙනම ඉදිරියට ගියා...  මොකටෙයි නිකං බොරු කියන්නෙ, රෙදි වැරහැළි පොරවගෙන යනවට වඩා මෙහෙම හුළං වැදි වැදි යන එකෙත් මාරම සනීපයක් තිබ්බා. ඒ අස්සෙ වාහනේ ඉඳගෙනම එකෙක් කෑගහනව කූඩැල්ලෙක්, කූඩැල්ලෙක් කියලා. කිව්වත් වගේ පුට්ටගෙ කලුලෙ තඩි කූඩැල්ලෙක්.

"තොපි වාහනේට නැග්ගෙ කූඩැල්ලොත් අරගෙනද යකෝ...? "කෝසලයා කෑගහන්න ගත්තා...


කොහොමින් කොහොම හරි අතුරු පාරෙන් එළියට ඇවිත් අපි කොළඹ පරන පාර ප්‍රධාන මාර්ගයට පිවිසුණා...

ඉදිරියෙන් Head light ගහගෙන එන බස්, ලොරි වල ආලෝකයෙන් අපේ වාහනේ ඇතුළ මහ දවල් වගේ ඒකාළෝක උණා... ලෝකයක් ඉදිරියේ නිරුවත් වුණු අපි, අදාල බස් එක හෝ ලොරි රථය අපිව පසු කර ගිය පසු නැවතත් සැනසුම් සුසුම් හෙලුවා...

හැබැයි අපේ සැනසීම වැඩි වෙලා තිබ්බෙ නෑ... පිඹගෙන ඉදිරියට ගිය කෝසලගෙ වාහනේ කඩුවෙල color light එක ගාව වාහන මැද්දෙ traffic එකේ නතර කළා... අපිට සමාන්තරවම දෙපැත්තෙන්ම නවත්තල තිබුණු වාහන වල ගෑණු පිරිමි ඇස් ලොකු කරන් අපේ වාහනෙ දිහා බැලුවා... විලි ලැජ්ජාවෙ සන්‍තෝසෙ බැරුව හිටිය අපිට color light එකේ timer එකේ තත්පර ගතවෙනව දැනුණෙ පැය ගානට.

අපි බය වුණේ වෙන මොකුත් නිසා නෙවෙයි. ජංගි ඇඳගත්තු කොල්ලො පුරවගත්තු vezel එක දැකළා, මොකෙක් හරි 119 call කරල කිව්ව නම් පිරිමි ජංගම ගණිකා රථයක් කඩුවෙල හංදියෙ තියෙනව කියල මොන දෙයියන්ට කියන්නද? අද කාළෙ ලංකාවෙ gossip sites තියෙන ගානට අපේ ඇත්ත කතාව පොලීසියට කියන්න කළින් ෂුවර් එකටම වෙබ් අඩවි දෙක තුනක අපේ photo කෑළි ටික වැටෙනවා ආයෙ දෙකක් නෑ...

ඔන්න ඔය ආකාරයට, දුර කතර ගෙවාගෙන අඩ නිර්වස්ත්‍රයෙන් සැරසී නවීන පන්නයේ vezel hybrid රථයක ගියපු කොල්ලො අපි.... ආයේ උඹලට පුලුවන්නම් අපිට challenge කරන්න, අපි මීටත් වඩා දරුණු විදියට vezel එකක යන්න උණත් පසුබට වෙන්නෙ නෑ හිටං... මොකෝ මේ record එක පිට යන්න අපි ඉඩ තියන්නෙ නෑ කියල අපේ set එක නිතරම මතක් කරනවා...



මේ බස්සාගෙ ලක් එකේ තරම blog එකේ ඉස්සර කියවපු උන් හොඳටම දන්නවා නොවැ...  ඉතින් එච්චරද උනේ කියල හිතන උන් පහල පේළි දෙක,තුනත් කියවපල්ල.

මම  : "අම්මෝ... ඇති යන්තම් බෝඩිමට ආව...  අකිල දොර ඇරපන්කො...."

අකිල: "උඹ ගාව නේද යතුර?"

මම : (ටිකක් වෙලා කල්පනා කරමින්...)
  "හත්තිලව්වයි!!!"

අකිල: "ඇයි?"

මම: "බෝඩිමේ යතුර කාර් එකේ කියහන්කො...."


++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ප.ලි. ( පහුවදා නිවාඩු දාල, ආපහු යතුර හොයන්න ගිය අපේ සෙට් එකේ මාධවගේ පින්බර දෑසට යතුර හමු වුණා... කලින් දවසේ paint ball ගහන්න යන්නේ නැතිවත්, මාත් එක්ක යතුර හොයන්න නිවාඩු දාල ආපු තේමිය, සංජය ආදරෙන් මතක් කරනවා....යතුර හම්බුනොත් පාටියක් දෙනවයි කිව්වට මට තාම වෙලාවක් හම්බුණේ නෑ අප්පා පාටියක් දෙන්න . ඒ තරමට වැඩ, වැඩ.... :D  )

අන්තිමට බෝඩිමට යන්න උනෙත් bath room එකේ ජනෙලෙකින් රිංගලා. හැම ෆොටෝ එකක්ම මේකේ දාන්න බෑ... චූටි බට්ටෝ එහෙමත් "බස්සාගේ පළා මල්ල" බලනවා නොවැ...

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

Monday, March 17, 2014

දුම්රියේ ඛේදවාචකය හෙවත් බස්සාගේ බෑඩ් ලක්

මං කැම්පස් ආ කාළෙ ඉඳන් හෙනම හෙන බෑඩ් ලක් (සිංහලෙන් කියනවනම් කරුමක්කාරයෙක්) කොල්ලෙක් විදියට ප්‍රසිද්ධියට පත් වුණා. උදාහරණයක් විදියට කොල්ලො සීයක් මැද මං ඉද්දි අහසෙ යන කුරුල්ලෙක් වසුරු පිඩක් හෙලුවොත් ආයෙ දෙකක් නෑ ඒක මගේ ඔලුව උඩම තමා... ඔය හේතුව හන්දමයි මං මගේ බ්ලොග් එකේ ඒ කාලෙ ඉඳන්ම "මා යනු..." කියන හැඳින්වීමට මේ වැකිය පාවිච්චි කලේ. 



මා එක්ක ළඟින්ම ආශ්‍රය කළ මාලකයා, පජ්ජා එහෙම දන්නවා මගේ ලක් එකේ තරම. මේ කියන්න යන කතාවත් ඔය මගේ බෑඩ් ලක් එකේ ප්‍රතිඵලයක් තමයි. දැන් ඉතිං මට මනෝ විද්‍යාත්මක කොමෙන්ට් දාන්න ලෑස්ති වෙන්නෙපා තමං කරුමක්කාරයෙක් කියලා යටි හිතට මංම දීගන්නවයි කියලා.මෙහෙම හිටියට මට උඹලට වැඩිය හෙනම හෙන පිනා චාන්ස් ඒමත් වැදිල තියෙනව. ඒ ඇති. දැන් කතාව.


කොහොම කොහොම හරි කාළය ගත වුණා. ගිය මාසෙ අපේ කැම්පස් ජීවිතෙත් නිමා වුණා. හා හා පුරා කියල ලැබිච්ච ජොබ් එකට මාර්තු 04 වෙනිදා ඉඳන් යන්න පටන් ගත්තා. මාර්තු අන්තිම වෙනකන් වගේ හොස්ටල් එකේ ඉන්න අවසර තිබුණු හන්දා අලුත් බෝඩිමක් හොයාගන්නකන් හොස්ටල් එකේ ඉඳන් රස්සාවට යන්න තීරණය කළා. හොස්ටල් එක ක‍ටුබැද්දෙ. ‍රැකියාව ගංගාරාමෙ,බේබෲක් පෙදෙසෙ.දුර ගත්තොත් කිලෝමීටර 20ක් වගේ ඇති. ඒ උනාට උදේට බස් එකේ වැඩට යන්න ගියාම සසර කළකිරෙනවා. ගාලු පාර සංවර්ධනය කරන නිසා බස් එහෙම යන්නෙත් පයින් ගාටන ගානට. පාන්දර 8ට 9ට අවදි වෙන්න පුරුදු වෙලා හිටි අපිට දැන් 6ට විතර අවදි වෙන්න වෙලා. කොහොම හරි බස් එකේ පැය දෙකකට වඩා ගාට ගාට යනවට වඩා දුම්රියේ යන එක ඉක්මන්. 

අපේ ගෙවල් පැත්තෙ, ඒ කිව්වෙ ඇඹිලිපිටියෙ තාම ට්‍රේන් එහෙම නැති නිසා මට නිතර නිතර ඕවයෙ ගිහිං පුරුද්දක් නෑ. ඒ උනාට කැම්පස් ආවට පස්සෙ කීප සැරයක්ම ට්‍රේන් වල එහෙ මෙහෙ ගියා. 

ඔන්න ඉතින් ඊයෙ පෙරේද දවසක මමයි, ඉන්දුලයයි, සංජයයි පොට්ටෙයි වැඩට යන්න කියලා උදේ 7.30 ට විතර ඉස්ටේෂමට ගියා. එතනත් හෝ ගාල සෙනග. 
සේරම office යන උදවිය තමා. මේ ටයිම් එකට මොර‍ටුවෙන් ට්‍රේන් දෙකක් තියෙනවා.

එකක් මාතර ඉඳන් එන සීඝ්‍රගාමී "සාගරිකා" දුම්රිය. ඒක මොර‍ටුවෙන් පිටත් වෙන්නෙ 7.50 ට. මොර‍ටුවෙන් පස්සෙ ආයෙ නවත්තන්නෙ කෙළින්ම බම්බලපිටියෙ. අතරමැද නැවතිළි නෑ. ඒකෙ 3rd class නගිනවනම් ඉතින් එකෙන්ම ෆුට් බෝඩ් එකේ තමා. ටිකට් එකේ ගාණ රුපියල් 15යි. 2nd Class එකේ නගිනවනම් අර තරම්ම තද බදයක් නෑ. හැබැයි ටිකට් එක රුපියල් 30ක් ද කොහෙද වෙනවා.



අනික් ට්‍රේන් එක ඇවිල්ල මොර‍ටුවෙන් ම පටන් ගන්න මන්දගාමී දුමිරිය. ඒක පිටත් වෙන්නෙ 7.50ට. හැම ස්ටේෂන් එකකම නවත්ත නවත්ත යන නිසා ටිකක් වෙලා යනව. හැබැයි වාඩි වෙලා යන්න නම් පුලුවනි.

මං ඔන්න ඔය දෙවෙනි ට්‍රේන් එකේ තමා වැඩට යන්න පුරුදු වෙලා හිටියේ. පළමුවැන්නෙ ඉක්මන් වුණත් සෙනග වැඩි නිස මං ඒක මග ඇරියා. හැබැයි පොට්ටෙ, ඉන්දුල යන්න පුරුදු වෙලා හිටියෙ පළමුවැන්නෙ. උන්ට ටිකක් හිර වෙලා හරි ඉක්මනටයි යන්න ඕනි වුණේ. සංජය ඇවිල්ල නිව්ටල්. ඌට අරක මේක කියල නෑ. අපේ සෙට් එකේ වැඩි දෙනා යන එකේ යනවා. 

දැන් ඔන්න අපි 4 දෙනා ඉස්ටේෂමට වෙලා ඉන්නකොට හූ හඬ තියාගෙන "සාගරිකා" එක්ස්ප්‍රස් දුම්රිය වේදිකාවට ළඟා වුණා. 3rd Class එක දැක්කම බය හිතෙනවා. ඒ තරමටම සෙනග. 2nd Class එකේ අර තරම් සෙනග නැති වුණත් අපි අරගෙන තියෙන්නෙ 3rd Class ටිකට් නිසා ඒකෙ යන්න බෑ..



ඔය අතරේ දුම්රිය පොළේ ලවුඩ්ස්පීකරේ කෑ ගහන්න පටන් ගත්තා... "තුන් වන වේදිකාවට පැමිණි සාගරිකා දුම්රිය තව ස්වල්ප වේලාවකින් මරදාන බලා පිටත් වනවා ඇත. එය දුම්රිය මොර‍ටුව සිට බම්බලපිටිය දක්වා නවත්වන්නේ නැත. එය බම්බලපිටියේ සිට සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත... 3 වන පන්තියේ ප්‍රවේශ පත් ලබාගත් මගීන් දෙවන පන්තියේ මැදිරි තුල ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි...."

ඕක කියල ඉවරවෙනකොටම පොට්ටෙ ගිහින් 2nd Class මැදිරියකට නැග්ගා. 

"අපෝ... අපිට නම් යන්න බෑ. 3rd Class ටිකට් අරන් 2nd Class ගිහිං මාට්‍ටු වුණොත් ඉවරයි...." මමයි සංජයයි එක හෙලාම විරෝධය ප්‍රකාශ කළා.

"ඕව චෙක් කරන්නේ නෑ බන්... කළාතුරකින් තමයි චෙක් කරොත් කරන්නෙ. අපි හැමදාම යන්නෙ. ජීවිතේට මාට්‍ටු වෙලා නෑ..." එහෙම කිව්ව ඉන්දුලයත් ගිහිං ට්‍රේන් එකට ගොඩ වුණා.

"අනේ ඕකුන් දෙන්නට යන්න කියමු බං. අන්න අරකෙ අපි වාඩි වෙලා හිමිහිට යමං. අන්තිමේ ඔවයෙ ගිහිල්ල මාට්‍ටු වුණොත් විනාසයි..." මං කෙළින්ම මෙවරත් අකමැත්ත ප්‍රකාශ කළා...

"ඔව් බං. කියන්න බෑ. මාට්‍ටු වුණොත්..." සංජයත් මගෙ පැත්තෙ.

දැන් ට්‍රෙන් එක යන්න සූදානම. ඉන්දුලය ට්‍රේන් එකේ ඉඳන් ගල් ඉබ්බ වගේ අපි දිහා හිනා වෙවී බලන් ඉන්නව "අනේ තොපි වගේ මෝඩයො දෙන්නෙක්" කියන ගානට. 

"වරෙන් බං..." ඉන්දුලයා ආයෙමත් අතින් සිග්නල් කළා.

"අනේ ඔන්නොහේ මාත් යනව බං..." එහෙම කියපු සංජයත් දඩ බඩ ගාල ගිහින් ට්‍රේන් එකේ එල්ලුණා. දැන් මං නිකං මොකාද එකා වගේ තනියම හිටගෙන බලන් ඉන්නව. දැන් මටත් හෙනම පාලුයි. මුන් තුන් දෙනාම අරකට නැග්ගනේ.ඔය අතරේ ට්‍රේන් එක හෙමින් හෙමින් ගමන් ආරම්භ කළා... 

"මෙන්න මෙහෙ වරෙන් බං... " ඉන්දුලය අවසාන වතාවටත් මට කතා කළා. ඕන රෙද්දක් කියලා මාත් යන ට්‍රේන් එකට දුවල ගිහින් එල්ලුනා. 2nd Class වුණත් මං උන්නෙ ලාවට වගේ ෆුට් බෝඩ් එකේ. දැන් ඉතිං හුළං වැදි වැදි සීඝ්‍රගාමී දුම්රියෙ කොල්ල වටපිට බල බල යනවා. දුම්රිය රත්මලාන හරිය පහු කරන්නෙ උනේ නෑ අපිට කළබලේක සද්දයක් ඇහුණා...

"අපිට රාජකාරිය කරන්න දෙන්න මහත්තය කරුණාකරල... ගන්න ඔයාගෙ අයිඩින්ටිය.ඉක්මනට..." කවුද සිවිල් ඇඳුමකින් සැරසිච්ච මිනිහෙක් තව මිනිහෙක්ගෙන් අයිඩින්ටිය ඉල්ලනවා.... 

"අම්මට සිරි!!! ටිකට් චෙක් කරනවා!!!" කවුද එකෙක් ඔය අතර එහෙම කියනව ඇහිලා මගේ ඉහින් කනින් දාඩිය දාන්න ගත්තා. 

සිවිල් ඇඳුමින් සැරසිච්ච ටික්කො 5ක් 6ක් විතර අපේ මැදිරිය පීරගෙන එනවා. අපි 4 දෙනාට දැන් උඩ බිම නෑ... මදැයි මමත් යන ට්‍රේන් එක එළවගෙන ගිහින් නැග්ගා. අපි 4 දෙනාම පිළිම වගේ නොසෙල්වී අහක බලාගෙන හිටියා... 

"අනේ දෙයියනේ මගෙන් නම් ටිකට් අහන්න එපා!!!" මං එහෙම දෙතුන් පාරයි හිතුවේ... එක ටික්කෙක් කෙළින්ම ඇවිත් මගෙන් ටිකට් ඉල්ලුවා. 

දැන් ඉතිං මොනව කියන්නද? මං සෙනග නිසා ටිකට් එක ගන්න සාක්කුවට අත දාගන්න බෑ වගේ පොඩ්ඩක් ඇක්ටිං පාරක් දැම්මා, එතකොටවත් මේකා වෙන එකෙක්ගෙන් ටිකට් ඉල්ලාවි කියල හිතාගෙන. කෝ... මේක මැටි ගොඩ වගේ එතනම හිටගෙන ඉන්නව මං ටිකට් එක දෙනකං... ඔය අතරෙ මගේ ඇඟේ ගෑවි ගෑවි හිටි මගේ අතිජාත මිත්‍ර ඉන්දුල සහ සංජය ලද අවසරයෙන් ටිකට් චෙක් කරල ඉවර පැත්තට ලිස්සල ගියා... අර මිනිහත් මෙච්චර මේ මුන් ඉද්දි මගෙන්ම ඇවිත් ටිකට්  එක ඉල්ලුවට මට පුදුම නෑ. ඒ මගේ ලක් එක. අවුරුදු ගණං ට්‍රේන් එකේ හොරෙන් යන මිත්‍රයො කවදාවත් අහුවෙලා නැතිව හා හා පුරා කියල පළවෙනි වතාවට ගිය මංම අහුවෙච්ච එකටත් මට පුදුම නෑ. ඒකත් මගේ ලක් එක. කලාතුරකින් වෙන ටිකට් චෙක් කරන එකත් මං යන දවසෙම උණාට පුදුම වෙන්න දේකුත් නෑ... එකත් මගෙ ලක් එක...

ඉතින් මගේ ටිකට් චෙක් කරපු උත්තමය මගේ අයිඩින්ටි කාඩ් එකත් අරගෙන මෙහෙම කිව්වා...
"අපිත් එක්ක මෙහෙම්ම කො‍ටුවට යන්න එන්න. පොඩ්ඩක් පැය බාගයක් විතර  යාවි... ඊට පස්සෙ තමයි අයිඩින්ටිය ගන්න පුලුවන්..."

මොනව කරන්නද? මං ඉතින් office යන එක පැත්තක තියල ගියා ඒ ට්‍රේන් එකේම කො‍ටුවට. 


අපිව එක්ක ගියා පෝළිමක මොකක්දෝ තැනකට. අපේ පෝළිමේ දිග දැකල, මට ඇස් අදහ ගන්න බැරි වුණා. පෝළිම ට්‍රේන් එකටත් වඩා දිගද මන්දා...  ඒ අතරේ බොහොම වැදගත් ටයි පොලු එහෙම දා ගත්තු මහත්තුරු වගේම තොල් දෙකේ රතු පාට උලාගත්තු අඩි උඩ සෙරෙප්පු අක්කලාත් පිරිල හිටිය. 



"අඩෝ උඹත් අහු උණාද?..." එහෙම කියාගෙන කවුදෝ මගේ පිටට අත තිබ්බ. හැරිලා බැලින්නම් අපේ කැම්පස් එකේ අපේ Department එකේම මාධවයා. මිනිහටත් වැඩට යන ගමන් ටොපිය සෙට් වෙලා. කොහොම කොහොම හරි මට වෙච්ච අකරතැබ්බය නිසා ඉන්දුලයයි, සංජයයි වැඩට යාම පැත්තක තියලා මං එක්ක කො‍ටුවට යන්නත් ආවා.

ඔය අතරේ කවුද නිළදාරියෙක් ඇවිත් උස් හඬින් සෙනග ආමන්ත්‍රණය කළා...

"හැමෝටම දඩය විදියට රුපියල් දෙදාස් පන්සීයකුයි, ගමන් ගස්තුව වගේ දෙගුනෙකුයි ගෙවන්න වෙනවා... දැන් සල්ලි තියෙන අය සල්ලි ගෙවලා අයිඩින්ටි අරන් යන්න. දැන් සල්ලි නැති ඒත් පස්සෙ ගෙවන්න කැමති අය ලියුමක් ලියල දිලා Phone එකක් මාලයක් වගේ වටින දෙයක් ඇපේට තියල යන්න.  එහෙම නැති අයට දවල් 12න් පස්සෙ නඩු දානව. එහෙම උණොත් කරදර වැඩි වෙයි...."

ඒ කතාව ඇහුවම සෙනග අතර කසු කුසුව වැඩි වුණා. දැන් මොනව කරන්නද? නඩු දැම්මොතින් වැඩේ වැවෙන එකයි වෙන්නෙ.. මම මගේ පර්ස් එක ඇරල බැලුවා... පඩි හම්බෙනකන් කියල ගෑණු ළමය දීපු රුපියල් 3000 යි තව රුපියල් සීයකුයි පර්ස් එකේ තියෙනවා... පඩි හම්බෙනකන් කන්න බොන්න, එහෙ මෙහෙ යන ඒවට... හැමදේටම තියෙන්නෙ ඔච්චරයි. මොනව කරන්නද? මගේ වාසනාවට පිං දිදී මං ඒකෙන් දඩේ ගෙවල ඉතුරු 500 මාධවයට දඩේ ගෙවන්න දිලා අත් දෙක වන වන ආවා...



ඊ ළඟට යෙදී තිබුණේ ස්තුති කතාව. ඒක කරන්න ඉන්දුලය හෙව්වට office යන්න පරක්කු වෙලා නිසා ඒක ටිකකට කල් දාලා යන්තං 10 වෙනකොට office එකට යා ගත්තා. 

කතාව ඉවරයි කියල හිතුවට ඉවරම නෑ... ඊ ළඟ දවසෙ ට්‍රේන් එකේ යන්න ඉස්ටේශමට ගිහින් ඊට නොදෙවෙනි පජාත වැඩක් මට වුණා... යනකොට ට්‍රේන් දෙකක්ම ඉස්ටේෂමේ තිබුණා. යන්නෙ මොකේද කියලා හිත හිත උන්නට අන්තිමේ මට ඒ ට්‍රේන් දෙකේම යන්න බැරි වුණා.  යාලුවො ටික විතරක් ඒකෙ ගියා.ඒකත් මේ ඉන්දුලයගේ වීර ක්‍රියාවක ප්‍රතිපලයක් තමයි. ඒක වෙන දවසක කියන්නම්... නැත්තං මේ පෝස්ට් එක දිග වැඩි වෙනව නෙව. එහෙනම් හැමොම දැන් මේක හඬ නගා කියල බස්සාට අශිර්වාද කරන්න

"ස්සාගෙ ග්‍ර දුරු වේවා!!!"

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

උඩට යන්න මෙතන click කරන්න.