Friday, August 3, 2012

මාගේ මංගල ගෙවල් බිඳීම හෙවත් ජීවිතේ චාටර්ම, පජාතම, කුජීතම දවස.

අධික කාර්යබහුලත්වය නිසා සෑහෙන කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවේ. A/L ටියුෂන් ක්ලාසුත් මේ සතියෙ ඉවර වුණු නිසා දැන් ටිකක් විතර නිදහස්.මං මේ කියන්න යන කතාව මතක් වෙනකොටත් මට තනි ඇහැට ඇඬෙනවා. මේ තරම් චාටර් දවසක් නම් මගේ ජීවිතේටවත් තිබුණා කියලා මට මතක නෑ. මොකටද තව වැල් වටාරං... කෙළින්ම බහිමු ඉට්ටෝරියට.

මේ මහා ශ්‍රේෂ්ඨ දවස 2012.08.01 හෙවත් මං මේ පෝස්ට් එක ලියන දවසට සාපේක්ශව ඊයේ කියලා කිව්වැහැකි. ඔන්න මං 07.31 වැනි අඟහරුවාදා සුපුරුදු පරිදි වැඩට ගියා.(වැඩට කිව්වට training). 

ලංකාවයි, ඉන්දියාවයි අතර අද මැච් එක හවස 2.15 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ නිසා මායි, මාලකයයි දත කට මැදගෙන ටිකක් විතර කලින් කලින් යන්න බලාගෙන උන්නා. මොන මැච්ද? office එකෙන් එළියට එනකොට 5ත් පහු වෙලා.දඩ බඩ ගලා බයික් එකට නැගලා ගියා ground එකට.



 අපේ කරුමෙට ලංකාව ඉස්සෙල්ලා ගහලා තියෙන්නේ.අපේ උන් ගහන අන්තිම චුට්ට හරි බලන්න කියලා හිතාගෙන දුවල දුවල ගියා. ෂෙහ්... ජරා දවස කියන්නෙ අපි ඇතුලට යනකොටම අන්තිම බෝලෙට රංගන හේරත් ගහන්න සෙට් වෙනවා.මදැයි දුවගෙන ආවා.කමක් නෑ ඔය බෝලෙවත් බලනවා කියලා හිතාගෙන එල්ලගෙන ආපු බෑග් මලු ටික තියන්න සුදුසු තැනක් බැලුවා.එකපාරටම මිනිස්සුන්ගේ ප්‍රීතිඝෝශා සද්දෙට මට ground එක දිහා බැලුනා.

නොදකින් ඒ ටිකට අන්තිම බෝලෙත් දාලා.රංගන හේරත්ගේ ඒ දුර්ලභ 6 පාර දැක ගැනීමේ අවස්තාවත්  මට මිස් වුණා. ඔන්න ඔය ආකාරයට අතිශය පජාත පැය 24ක ආරම්භය සනි‍ටුහන් වුණා.

දැන් ඉතින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අර කෝලි කුට්‍ටුවා  ගහන එව්වා බලන්න සිද්ධ වෙනවා. ඒ වාසනාවත් අපිට උදා කරමින් කෝලියා ශතකෙකුත් ගහමින් ලංකාවට පරාජය අත්පත් කරදුන්නා. මදැයි හෙන කස්ටක් කාලා මැච් එකක් බලන්න දුවගෙන ආවා.

දැන් ඉතින් ඇඟේ පතේ අමාරුවයි, හිතේ අමාරුවයි දෙකම යන්න ගෙදර ගිහින් කාලා හොඳට බුදියගන්න ඕනි කියලා හිතාගෙන මහ රෑම එන්න පිටත් වුණා.

දැන් තමා ඉස්ටෝරියෙ හොඳම හරිය එන්නේ. මම ඉන්නෙ මහරගම, අපේ බාප්පගෙ ගෙදර නැවතිලා.වැඩට එන්නත් පහසු නිසා මං එහේ තමා හිටියෙ.මීට දවස් දෙකකට කළින් බාප්පයි පුංචියි දෙන්නා ඇඹිළිපිටි යන්න ගියා. ආපහු එන්නෙ පෝයත් පහුවෙලා නිසා මේ දවස් ටිකේ මං විතරයි ගෙදර හිටියේ. ඒක නිසා උදේ වැඩට යනකොට මං හොඳට ගෙවල් දොරවල් ලොක් කරලා, යතුරත් පරිස්සමට යන යන තැන අරගෙන ගියා.

ඉතින් ඔන්න මං මැච් එක බලලා බොහොම මහන්සි වෙලා ඇවිත් මහ රෑ ගෙදරට ආවා. කරුවලේම යතුර බලන්න සාක්කුවට අත දාපු මට අහුවුනේ ෆෝන් එකයි ලේන්සුවයි විතරයි. මං අනික් සාක්කුවත් බැලුවා.

දෙයියෝ සාක්කි!!!
යතුර නෑ.
                                                                   

කලබල වුණු පාරට මම එල්ලගෙන හිටපු බෑග් එක එතනම හලලා ඒකෙ තිබුණු බඩු බාහිරාදිය එකින් එක චෙක් කළා.මං හිතුවා හරි.යතුර නෑ. දැන් ඉතින් මොකද කරන්නේ? මෙහෙව් චාටර් එකක්නම් මතක ඇති කාලෙකින් කාල නෑ. කෙසේ හෝ අද රාත්‍රිය අහසේ තරු බලමින් ගත කරන්න වෙන බව මට තේරුණා. මදුරු ඇටෑක් මැද්දෙ මං එළියට වෙලා පැය බාගයක් විතර ගත කළා.මේකනම් තවත් ඉවසන්න බෑ. ගෙයි තව යතුරක් කොහේ හරි ඇතිනේ කියලා මගේ මොලේට එකවරම මතක් වුණා.වහාම ක්‍රියාත්මක වුණු මම අපේ පුංචිගෙ නම්බරේ ඩයල් කළා. මගේ වැඩ කෑල්ල අහපු පුංචිටත් කේන්ති.

"අනේ පුංචි, තව යතුරක් එහෙම නැද්ද...?" මං බලාපොරොත්තු දාහක් හිතේ දල්වගෙන ඇහුවා.

"ආ... තව එකක් තිබුණා". පුංචි එහෙම කියද්දි මට මාරම ‍ෆිට්.මගේ දවස හිතුව තරම් චාටර් නෑ වගේ.

"කෝ කොතනද ඇත්තේ...?"

"ගෙයි ඇඳ විට්ටමේ රතු පාට hand bag එකක් එල්ලලා ඇති, ඒකෙ තමා ඇත්තෙ".
හි ..හි... සං‍තෝසෙ බෑ.... ඇයි හත්තිලව්වෙ මම ඔය කියන යතුර ගන්න ගෙට යන්නෙ කොහොමද? ඒ වැඩේ හරිගියෙත් නෑ.

ආයෙ සුපුරුදු පරිදි කුස්ගින්න, තෙහෙට්‍ටුව සමග මදුරු අටෑක් පටන් ගත්තා.දැන් මධ්‍යම රාත්‍රියත් ළඟා වෙළා. මට ළඟදි බලපු වැම්පය(ර්) ඩයරීස්, නරලොව හොල්මන්, බහුබූතයෝ වගේ චිත්තරපටි එහෙමත් මතක් වෙන්න ගත්තා. ඔය ආකාරයෙන් තව ටිකක් වෙලා ගත වුණා. 

මට මහරගම දෙහිවල පාරේ ඉන්න අපේ තව නෑදෑ කෙනෙක් මතක් වුණා. එහෙට ගිහින්වත් රෑ ඉඳලා උදේට කරන දෙයක් කරන්න ඕනි කියලා හිතාගෙන එහෙ නම්බරෙත් ඩයල් කරා. ඒ මිනිස්සුන්ගෙත් නින්ද කඩලා මගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න මට සිද්ධ වුණා.කොහොම කොහොම හරි මට යන්තම් එහෙට ගිහින් එදා ‍රැය වැඩට ඇඳන් ගිය ඇඳුම් පිටින්ම ගත කිරීමේ දුර්ලභ අවස්තාවත් මට උදා වුණා.

පහුවෙනිදා හිමිදිරි උදෑසනම මම ගේ බිඳීමේ මහා සංග්‍රාමයට පිටත් වුණා. ගේ වටේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙච්ච මට අල්ලපු ගෙදර අංකල් පස්ටම අයිඩියා එකක් දුන්නා.

"පුතා...ලීයක කොක්කක් ගැට ගහලා, ඒක බීරලු අස්සෙන් දාලා, ඇඳ විට්ටමේ එල්ලලා තියෙන බෑග් එක ඇදලා ගන්න.වැඩේ හරිනේ...."අංකල් කිව්වා. 

කිව්වත් වගේ ඒකත් නරකම නෑ.මං වැඩේට අවශ්‍ය කරන ලීයක් කපාගන්න එළියට බැස්සා.

හුටා....!!! එතකොට මතක් වුණේ මං ඉන්නේ කොළඹ කියලා.මේ හරියෙ ලී කපන්න වෙන්නෙ ලයිට් කනුවකින් තමයි.මොන ලී ද?

ගේ වටේ වටයක් ගිය මට දිග එක්ස්-ලෝන් බට වයක් හම්බුනා.මේව ටිකක් එකට සෙට් කරගත්තනම් වැඩේ හරි බව මට අවබෝධ වුණා. අංකල්ගෙන් පරන රෙදි පටි ටිකක් ඉල්ලගෙන ඒව එකට තියලා බැන්දා.ඊ ළඟට ලෝක අමාරුවෙන් යකඩ කොකු කෑල්ලක් හදලා ඒ කෙළවරට ගැට ගැහුවා. දැන් වැඩේ හරි. බඩගින්නයි, ඇඟේ අමාරුවයි එක්ක මං ඒකත් අරන් ජනේලෙ ගාවට ගියා. 

කෙළිය තාප්පෙට!!! 
බීරලු තිබුණට ඒවට උඩින් දැල් ගහලා.පෙනේරෙක විතර සිදුරු තියෙන දැල්.ඕක අස්සෙන් කොහොමද මේ බටේ දාන්නෙ?



මෙහෙම දවසක් මගෙ තරහකාරයෙකුටවත් එන්න හොඳ නෑ. මගෙ මහන්සිය වතුරෙ නිසාත්, ගෙට යන්න තිබුණු තදබල උවමනාව නිසාත් මං දැල කෙළවරින් ටිකක් කඩලා දැම්ම.
දැන් බීරලුව අස්සෙන් බටය දාන්න පුලුවනි.යන්තමින් උඩකට නැගත්තු මං බීරලුවෙන් එබිලා බැලුවා.අනේ රතු පාට බෑග් රාජයෙක් ඇඳ විට්ටමේ ඉන්නව නේන්නම්.රතු පාට විතරක් නෙවෙයි, රෝස පාට, සුදු පාට හා කලු පාට වලිනුත් තව බෑග් 3ක් එතන තිබුණා.


මම බටය එතැනට ළං කලා.කොහෙ කොක්ක දාන්නද? එස්-ලෝන් බටේ මෑ කරල වගේ නැමෙනවා. මගෙ බෙල්ලත් දැන් කැඩෙන්න තරම් රිදෙනවා.ඒ මදිවට බීරලු අස්සෙ තියෙන දූවිලිත් මගෙ ඇස් දෙක පුරාම. දැඩි අධිෂ්ඨානයයි, කැපවීමයි නිසා මට යන්තම් බෑග් එකට කොක්ක දාගන්න පුලුවන් වුණා.
මට දැනුණු ප්‍රීතිය මෙතෙකැයි කියන්න බෑ.මං බොහොම පරිස්සමින් බෑගය ඇදලා බීරලුව අස්සෙනුත් ඇදලා එළියට ගත්තා. හැමදාමත් වගේ අදත් දෙයියො මගෙ දිහා බලලා. 

"ඒකෙ යතුර නෑ..."

                                                                      

දැන් නම් මට ඇඬෙන්න වගේ.ඒත් එක්කම මට මතක් වුණා රතු පාට බෑග් එක කිව්වෙ රෝස පාට එකටද දන්නෙ නෑ කියලා. නැවත වතාවක් අර වගේම පරිශ්‍රමයක් දරලා රෝස බෑගයත් එළියට ගත්තා.

එළම කිරි. "යතුර ඒකෙත් නෑ". 

දැන් නම් මට ඉවසීමේ සීමාව පනින්න ඔන්න මෙන්න.මගෙ හිත කිව්වෙම යතුර අනික් බෑග් දෙක්න් එහෙක ඇති කියලා.දන්නැද්ද, අපිට වගේ නෙවෙයි, ඔය ගෑණුන්ට සිහි කල්පනාව නෑ කොයි බෑග් එකේද යතුර තිව්වෙ කියළා.

මං ඉතින් for loop එකක් දාලා ඉතිරි බෑග් දෙකත් ලෝක අමාරුවෙන් එළියට ගත්තා.උනේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.බෑග් 4ත් දැන් ගන්නම දෙයක් නෑ.බීරලු අස්සෙන් ගනිද්දි ඒවයෙ දූවිලි ගෑවිලා,විනාස වෙලා. තවත් මේ වැඩේ කරන්න බෑ.මං පුංචිට කෝල් එකක් ගත්තා. 

කරුමෙක මහත!!! 
මෙච්චර වෙලා battery low වෙලා තිබුණු ෆෝන් එක එහෙම්මම off වුණා. අල්ලපු ගෙදර අංකල් කිව්ව එයා දන්න යතුරු කපන තැනක් තියෙනව, එතනට ගිහින් මිනිහව එක්ක එන්න, එයා මොකක් හරි කියාවි කියලා.අංකල්ට ෆෝන් එක චාර්ජ් කරන්න දීලා, මං අදාල යතුරු කපන්නා සොයා පිටත් වුණා. 

අයියෝ සල්ලි!!! 
ඒ කඩේ වහලා තිනුණම මතක් වුණේ අද පෝඅය කියලා. ඒ වැඩෙත් ඉවරයි.මං ආයෙ ඇවිත් පුංචිට call එකක් ගත්තා.

"පුංචි, බෑග් 4ක් එළියට ගත්තා.... එකකවත් යතුර නෑනේ.හොඳටම ෂුවර්ද බෑග් එකක ඇත්තේ කියලා..?"

"ඔව් ඔව්.රතු පාට එකේ"



"ඉතින් මං රතුපාට එකෙත් බැලුවනේ.ඒකෙ නෑ" මං ඇඬුනු ස්වරයෙන් මා මෙතෙක් කළ කී දෑ අ‍ටුවා ටීකා සහිතවම කිව්වා.

"ඕව නෙවෙයි ළමයෝ..ඇඳේ අනික් කෙළවරේ ඇඳ විට්ටමේ තව රතු පාට hand bag එකක් ඇති.ඒකෙ තියෙන්නෙ.මං නම් හිතන්නෑ එතෙන්ට ඔය බටේ දාලා ඇදල ගන්න පුලුවන් වෙයි කියලා.එතනට ගොඩක් දුරයිනේ..."

අනෙ අම්මපල්ලා මට ආපු කේන්තිය.

රටේ ලෝකෙ වෙන hand bag නැතුවද මේ තරම් රතු පාට hand bag ම එකතු කරන්නේ? කෝකටත් කියලා මගේ කේන්දරේ බලවගත්තනම් හොඳයි කියලා මට එවෙලෙ හිතුනා.

දැන් ඉතින් මොකද කරන්නේ? තව ටිකක් කල්පනා කරපු මම අවසන් තීරණයකට එළඹුණා.

අල්ලපු ගෙදර අංකල්ගෙන් නියනක්,අඬුවක්, මිටියක් වගේ අයිටම්ස් ටිකක් ඉල්ලගෙන මම ගියා පිටිපස්සෙ ජනේලෙ ළඟට. හ්ම්ම් ජනෙල් දොරවල් 4ක් තියෙනවා.ජනේලෙයක් කොහොම හරි ඇරගත්තොත් ග්‍රීල් එක ගලවගන්න පුලුවන් කියල මට හිතුණා.

සියලුම දහිරිය යොදලා ඉංජිනේරු වැඩ කෑල්ලක් දාලා මං වම් කෙළවරේ  ජනේලෙ ඇරගත්තා. 

මළා.. !!!
මේකෙ ග්‍රීල් එක ඇණයෙන් හයි කරලා ඇණේ හිස වෙල්ඩින් ඩොට් එකක් තියලා.නියනෙන් ඒක ගලවන්න බෑ.මට ග්‍රීල් හයි කරපු එකාගෙ...(නෑ නෑ ඒක ඕන නෑ)


මී ළඟට මං ඉතිරි ජනේල 3ත් නිරීක්ෂනයට ලක් කළා.දකුණු කෙළවරේ ජනේලෙ ග්‍රීල් එක නම් ගලවන්න පුලුවන් මට්ටමක තියෙන බව පේනවා.ඒත් ඒ ජනේලෙ ඇරගන්න බෑ.

මං කළේ වම් කෙළවරේ ජනේලෙ ග්‍රීල් එක ඇතුලෙන් අත දාලා දෙවැනි ජනේලෙ ඇරගත්තු එක.මී ළඟට අනුපිළිවෙලින් 3ත් 4ත් ඇරගත්තා.දැන් හරි.දැන් ඉතින් ග්‍රීල් එක ගලවන්න තියෙන්නේ.

මං සියලුම වෙර වීරිය දාලා යට ඇණයක් ගලවගත්තා.දැන් නම් ටිකක් විතර හිතට සැනසීමයි.කිචන් එකේ එල්ලි එල්ලි උන්නු පෙති කපපු පාන් ගෙඩියක් මගේ වැඩ කෑල්ල දිහා බලාගෙන ඉන්නවා.

"හිටපන්කෝ..මම එනකම්... අද මම ‍තෝව ඉවරයක් කරනවා ආපු ගමන්" එහෙම හිතාගෙන මම තව ඇණයක් ගැලෙව්වා....දැන් උඩ ඇණ්යයි යට ඇණයයි ගලවල ඉවරයි. 

කරුමෙක මහත!!! 
අනික් ඇණ දෙකේ වෙල්ඩින් ඩොට්!!!

මේව නම් තව ඉවසන්න බෑ.මං ඇඟේ තිබුණු හයිය දාලා ගැහුවා පයින් ග්‍රීල් එකට.

"ජරස්.." ශබ්දයක් නගමින් මට රිංගා ගත හැකි තරමට ග්‍රීල් එක කැරකුණා.අනේ හිතේ ඇති වෙච්ච සතුට... මෙච්චර සතුටක් මගේ පුංචි හිතට දරාගන්න පුලුවන් වේවිද මන්දා...

මම ඉක්මනට ගෙට රිංගලා ඉස්සෙල්ලාම බැලුවේ අර කිව්ව hand bag එක තියෙනවද කියලා. 

පුංචි කිව්ව හරි.ඔය ඉන්නෙ යස අගේට ඇඳ විට්ටමේ එල්ලි එල්ලි.කිව්ව වගේ යතුරත් ඒකෙ තිබුණා. මට ආපු කේන්තියට චුයින්ගම් එකක් වාගෙ යතුර කාගෙන කාගෙන යන්න මට හිතුණා.

හ්ම්ම්ම්... කොහොම හරි පුංචිලා, බාප්පලා එන්න කලින් නිවස යථා තත්වයට පත් කරන්න ඕනි නිසා මං ඉක්මනින් අර පාන්  මල්ලිව කොටා බාල ග්‍රීල් එක තිබුණු විදියට හයි කළා.


මී ළඟට අර hand bag හතර. ඒවනම් ගන්න දෙයක් නෑ.මං ඒවා බීරලු අස්සෙන් එළියට ඇදපු නිසා කුණු දූවිලි ගෑවිලා ඉවරෙටම ඉවරයි.

අද පෝය නිසා මං A/L class එකක් දාගෙන තිබුණේ උදේ 8.30ට.දැන් වෙලාව 11.30යි.මොනව කරන්නද?රතු,රෝස,සුදු, කලු hand bag 4ට surf excell එකක් දාල මම ගියා class. 

හ්ම්ම්ම් A/L විභාගෙ මේ එන සඳුදා නිසා අදින් classes  නැවැත්තුවා.

ෂෙහ්.. !!!
හරිම නරක කාලයක් තමයි.දැන් ඒ income එකත් නෑ.

හෙට පුංචිලා එනව කිව්ව නිසා මම ආපු ගමන් අර hand bag 4 සෝදන්න කියලා ලෑස්ති වුණා. මම බලනකොට බාස්කට් එකේ රතු පාට hand bag 3කුයි කලු පාට එකයි තියෙනවා.මේක වෙන්න බෑනේ.

මට හොඳටම විස්වාසයි කලු,සුදු,රතු,රෝස පාට bags තමා තිබුණේ කියලා. මම තව ටිකක් ළං වෙලා බැලුවා.

හපොයි විනාසයි!!! 
අර රතු පාට hand bag එකේ සායම් ගිහිල්ලා සුදු පාට hand bag එකත් රතු පාට වෙලා. !!!




අනේ දෙයියො මෙහෙම එලව එලව මගේ මූණ දිහා බලයි කියල මං හීනෙන්වත් හිතුවෙ නෑ.
මෙව්වට විශේෂ පිං ජාති කරල තියෙන්න ඕනෑ.කවුරුවත් මට ඉරිසියා කරනව එහෙම නෙවි. 

ඉතිං වැඩිම කාලයක් රෙදි සේදීමේ  record එකක් තබමින් මං අර බෑග් ටික සේදුවා.මේ වගේ පජාත,කුජීත,චාටර්(#@!$%^&*%) දවසක් නම් මගේ ජීවිතේ මෑත භාගෙ නම් තිබිල නෑ.

හැබැයි නරකයි නරකයි කිව්වට දවසේ එක හොඳ වැදගත් කමක් තිබ්බා. ඒ තමයි පෝය හින්දා සියලුම 'වස' කඩවල් වසා තිබීම. එහෙම නොවුණනම් මට වුණු අකරතැබ්බ වල හැටියට මොන ගෑණිද මිනිහද ඉවසන්නේ ? :D ;D  


ප.ලි. - සියලුම ගෙවල් බෙඳීම්, දොර ජනෙල් කැඩීම් ඇතුලු ඒ හා සම්බන්ධ සියලුම වැඩ භාරගනු ලැබේ!!! සහනදායී අයකිරීම්!!!







කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

2 comments:

  1. ෂෝක් ෂෝක්.... ඕවා ඔහොම තමා.ජීවිතේ තවත් හොද අත්දැකීසක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත යාලුවා....බොහොම ස්තුති කමෙන්ට් එකට...

      Delete

උඩට යන්න මෙතන click කරන්න.