Sunday, August 26, 2012

කියන්නකො නදී මට ආදරේද කියල...? - මගේ ආදර කතාව - අවසන් කොටස

මේ මගේ ආදර කතාවේ අන්තිම epsisode එක. කතාවේ මුල් කොටස් දෙක නොබලපු අය ඒ දෙක බලා පැමිණීම මැනවි!!!

පළමු කොටස
දෙවන කොටස

ඔන්න ඉතින් කාලය කෙමෙන් කෙමෙන් ගත වුණා. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. මම විභාගෙ ඉහලින්ම pass වෙලා තිබුණා.රත්නපුර දිස්ත්‍රික්කෙන් 7 වැනියා.ඉතිං කොච්චර සතු‍ටුද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ.මම එදා උදෙන්ම ලෑස්ති වෙලා ගියා town එකට.

මගේ පංතියේ යාලුවෙක් හිටියා ඇඹිලිපිටිය town එකේ අනුෂ්ක කියලා.එයාලට තිබුණා communication  එකක්.ඉතිං අපේ සෙට් එකේ සේරම එදා සෙට් වුණේ අනුෂ්කගෙ ගෙදරට තමයි. සමහරු විභාගෙ හොඳින් සමත් වෙලා.සමහරු හිතුව තරම් ප්‍රතිඵල නෑ. දැනගන්න තිබුණු විදියට ඇඹිලිපිටියෙ හොඳම rank එක තිබුණේ මට.ඉතින් මට දවස පුරාම සුභ පතමින් call එනව කෙළවරක් නැතුව. එදා හරිම කාර්යබහුල දවසක්.

ඔය අතරේ මට ආව තව නොදන්න number එකකින් call එකක්.

"හෙලෝ...?" මම ඇමතුමට answer කළා.

"හෙලෝ... බස්නාගොඩද කතා කරන්නේ?..." කවුදෝ කෙල්ලෙක් එහා පැත්තෙන් කතා කළා.මට තරමක් හුරුපුරුදු ගතියක් දැනුනත් කවුද කියල එකපාරටම මීටර් වුණේ නෑ.

"ඔව්..එයා තමයි...කවුද මේ....." මම බොහොම ගරු සරු ඇතිව ඇහුවා.

"ම්ම්... ඔයාට මතකද දන්නෑ... අර එදා උඩගම ඉස්කෝලෙදි හම්බවෙලා කතා කළේ?..."

"න..නදී ද? " ඇගේ වාක්‍ය ඉවර වෙන්නත් කලින් ඒ වචන ටික මගේ කටින් පිටවුණා.

"ආ...ඔව් ඔව්.එයා තමයි. ඔයා exam එක හොඳට pass නේද? wish you all the best!!!.... මම ඔයාට wish කරන්නයි කතා කළේ..." ඇය එහෙම කියද්දි මට ඇතිවුණු සතුට කියල නිම කරන්න බෑ.

"ආහ්... අනේ බොහොම ස්තුතියි නදී. මේකද එතකොට ඔයා එදා මට දීපු number එක?"

"ඔව් මේක තමයි.. ඇයි ඔයා ගාව මේක නැද්ද?" ඇය පුදුමයෙන් වගේ ඇහුවා.

මම ඉතිං මට වුණු අකරතැබ්බය එකින් එක ඇයට විස්තර කළා. ඉතාම කාර්යබහුල දවසක් නිසා අපේ සංවාදය එදා එතකින් නිමා වුණා. දැන් ඉතිං කොල්ල ඉන්නෙ මාරම ‍ෆිට් එකේ.මොහොතක්වත් පමා නොවුණු මම ඇගේ number එක එවෙලෙම save කරගත්තා.

ටික දවසක් ගත වුණා. ඇයට දුරකතන ඇමතුමක් ගන්න මට ඕනකම තිබුණත් ඒකට කියන්න තරම් පැහැදිළි හේතුවක් තිබුණෙ නෑ. මම ඇයට හේතුවක් නැතිව නිකම් කතා කරනකොට ඇය එය වරදවා හිතාගෙන මේ තියෙන හිතවත්කමත් නැතිවෙයි කියල මම බය වුණා. ඔහොම ඉන්න දවසක පොඩි හේතුවක් ජනිත වුණා.

කැම්පස් Apply කරන පොත් කොළඹින් ගෙන්නල දෙන්නම් කියල මට කවුදෝ කියපු නිසා මට ඕනි වුණා ඇයටත් පොතක් ඕනද කියල දැනගන්න. මම ඉතින් එදා ඇයට ගත්ත දුරකතන ඇමතුමක්. ටිකක් වෙලා සුහදව විස්තර කතා කරල මම ඇයට මං කතා කළ කාරණාව කිව්ව.

"ආ...අනේ බොහොම ස්තුතියි කිව්වට. මං පොතක් ගෙන්නගන්න 'සුමනගිරි' book shop එකට සල්ලි ගෙව්වනේ..."

හ්හ්ම්ම්ම්...ඒ වැඩේ හරිගියෙත් නෑ.

ඒත් කතා කළ එකෙන් මම ඇයත් එක්ක ගොඩක් හිතවත් වුණා. ඔහොම ඉඳ හිට දවසක මම ඇයට කතා කරද්දි ඇයත්  මට කතා කරපු වෙලාවල් නොතිබුණාම නොවෙයි. මේ කියන්න යන්න ඒ වගේ වෙලාවක්.

දවසක් රෑ මම ඇයට කතා කරද්දි ඇය බොහොම දුකින් වගේ හිටියා...මම  ඉතින්  "ඇයි නදී, නිකං දුකෙන් වගේ ?" කියල ඇහුවා.

"ම්ම්... අද අපි පන්සල් ගියා. පන්සලේ පහන් වැට ළඟදි  පහනක් පත්තු කරද්දි මගේ කොණ්ඩෙ පිච්චුණා..." ඇය බොහොම දුකෙන් කිව්ව.

ඇයට තිබුණා ගොඩක් දිගට වවපු ලස්සන කොණ්ඩයක්. නදී එහෙම කිව්වම මට එකපාරටම මාරම දුකක් ඇති වුණා.

"අයියෝ...අපරාදේ !!! "

"නෑ... නෑ..ගොඩක් පිච්චුණේ නෑ... කෙළවරින් පොඩ්ඩක් විතර පිච්චුණේ.." ඇය එහෙම කිව්වම මගේ හිතට ටිකක් විතර සතුටක් දැනුණා.

මම ඇය ගැන කැමැත්තෙන් සිටින බව මං තාමත් ඇයට අඟවලා නෑ. ඇයට ඒ බවක් දැනුණොත් මාත් එක්ක කතා නොකර ඉඳීවි කියලා මං බය වුණා.ඒත් දවසක මට මේ දේ කියන්නම වෙනවා. ඒත් කොහොමද කියන්නේ? එයා කැමති නෑ කිව්වොත් මොකද කරන්නේ? එහෙම වුණොත් මං කවදාවත් කරදර කර කර පස්සෙන් යන්නෙ නෑ... කාගෙවත් පස්සෙන් වාත වෙවී යන්න මං කැමති නෑ. ඒත් මං කියනවා එහෙනම් මෙච්චර දවස් හිටිය වගේ යාලුවෝ විදියට ඉමු කියලා. මම එහෙම හිතාගත්තා.

ඉස්සර වගේ නෙවෙයි.දැන් කැම්පස් එකේ first year එකේ උගන්නන subjects වලටත් කැම්පස් යන්න කලින් classes තියෙනවා. ඉතිං මටත් යාලුවෙක් කියපු නිසා මම කොළඹ, බම්බලපිටියෙ තිබුණු higher maths class එකකට යන්න පටන් ගත්තා.ඒක තිබුණේ සතියට දවස් 2ක් වගේ මට මතක හැටියට.ඉතිං මම ඊට පෙර දින ඇඹිලිපිටියෙ ඉඳන් ඇවිත් මහරගම පුංචිලගෙ ගෙදර නැවතිලා class යනවා.

ඔන්න ඉතිං 2009 අවුරුද්දේ අප්‍රේල් මාසෙ 18,19 වගේ දවසක මම ඇඹිලිපිටියෙ ඉඳන් කොළඹ එන්න හිතාගෙන ඇඹිලිපිටිය stand එකට ආව. අවුරුදු නිවාඩුවත් ඉවර නිසා මිනිස්සු පොරකකා පෝළිමේ ඉන්නව bus එකට නගින්න. මමත් බඩුමුට්‍ටු ටිකත් උස්සගෙන පෝළිමේ කෙළවරකට සෙට් වුණා.එතනම වගේ මගේ පංතියෙ යාලුවෙකුත් කොළඹ යන්න හිටිය නිසා මට තනියක් තිබුණේ නෑ.

කොහොම කොහොම හරි පොරකාල අපි දෙන්න එක ළඟ seat දෙකක් අල්ලගත්තා.ඔය වෙලාවෙ අපේ seat එකට පිටිපස්සෙ seat එකේ හිටියෙ කවුද කියල දන්නවද?

කවුද මන්ද අපි දන්නෙත් නැති මනුස්සයෙක් තමයි හිටියේ...:D මිනිහ අපිට කතා කරල තරමක් එහායින් තිබුණු වෙනත් bus  එකක් පෙන්නල කිව්ව,

"අන්න අර කෙනා ඔයාලට කතා කරනවා..." කියලා. දන්නවද ඒ bus එකේ ඉඳන් කතා කළේ කවුද කියලා..?

ඒ තමා 'නදී'....:-D

එයා අපිව දැකල අත වැනුවා. මට හරිම සං‍තෝසයක් දැනුනා. මගේ ළඟ හිටිය යාලුවයි, නදී යි එකම ඉස්කෝලෙ.ඒ දෙන්න හොඳම ‍ෆිට් යාලුවො. "මේ බෑග් දෙක පොඩ්ඩක් බලපන් මචං...මං අරයට කතා කරල එන්නම්" කියලා යාලුවා bus එකෙන් බැහැල ගියා.මටත් එයා එක්ක කතා කරන්න ඕනිකම තිබුණත් මේ වෙලාවෙ බෑග් ටික බලාගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ...

ටික වෙලාවකින් යාලුවා ආපහු ආවා. හැබැයි හිස් අතින් නෙවෙයි, දොඩම් ගෙඩියකුත් අරගෙන. "නදී දුන්න මචං..." යාලුවා එහෙම කිව්ව.

ඇය මොකක්දෝ වැඩකට town ඇවිත් ආපහු යන ගමන්ලු. අපි බලාගෙන ඉද්දි ඇය සිටි bus එක පිටත් වුණා.ඇය අපට අත වනා යන බව කිව්ව.  යාලුවයි මායි දොඩම් ගෙඩිය බෙදාගෙන කෑව.
මං ඉතින් phone එක අතට ගත්තෙ ඇයට SMS එකක් යවන්න හිතාගෙන.
මේ තියෙන්නෙ අපි අතර ඇති වුණු SMS සංවාදය...

"thanks දොඩම් ගෙඩියට!!! ඒක රසම රසයි."

"ආ...කවුද ඔයාට දුන්නේ? මම දුන්නෙ මාව දැකල bus එකෙන් බැහැල ඇවිත් කතා කළ ළමයට.."

"අනේ... මම ආවෙ නැත්තෙ අපේ bags බලාගන්න කෙනෙක් නැති නිසා..මම ආවනම් bags බලාගන්නෙ පොලීසියෙන්ද? :-D"

"හි හි.. ඇත්තටම දොඩම් ගෙඩිය රසද..? :-D"

"හ්ම්ම්ම්..ඔව්. ..අපි නිසා අපරාදෙ ඔයාගෙ රුපියල් 5ක් වියදම් වුණා.... :-D"

"රුපියල් 5 ක්? දෙයි රුපියල් 5ට... ඕක රුපියල් 30යි... :-p"

ඉතිං මම කොළඹට යනකම් ගියේ හරිම සතුටින්.මම ඇයට අද හෙටම මගේ හිතේ තියෙන දේ කියන්න හිතා ගත්තා. මම මහරගමට ආවට පස්සෙ පුංචිලා ගෙයි යතුර මට බාර දීලා දවස් කීපයකට ඇඹිලිපිටි ගියා.ඉතිං මම විතරයි ගෙදර. මම පහුවෙනිදා class ගියා.එනකොට හැන්දෑ වුණා. මම මොන වැඩේ කළත් මට නිතරම ඇයව මතක් වෙන්න ගත්තා. ඇය මට කැමති වුණොත් මට මොන තරම් සතුටක් දැනේවිද කියලා මම හිතින් හිතපු වාර අනන්තයි.


රාත්‍රිය ළඟා වුණා.ගෙදර කවුරුත් නැති නිසා හරිම පාලුයි.මම වේලාසනින්ම කාලා නිදාගන්න ඇඳට ආවා. මට ඉබේටම ඇයව මතක් වුණා.

"Hi...මොකද කරන්නේ? අද english course එකට ගියාද?  :-)"   මම කෙටි පණිවුඩ කෙටීම ආරම්භ කළා.

'Hi...ඔව් ගියා.ඔයත්  අද class ගියාද? "

"හ්ම්ම්ම්... ඔව්.රෑ වුණා එනකොට.... "
.
.
.
.ඔහොම ඔහොම සංවාදය කෙමෙන් කෙමෙන් ඉදිරියට ගියා.මම අපේ ඥාති කෙනෙක්ගේ wedding එකක් ගැන ඇයට කියමින් හිටියා.  සමහර තැන් නම් මට ඒ විදියටම මතක නෑ.ඒත් එක්තරා මොහොතක මම මෙහෙම කිව්වා මතකයි.
.
.
"දැන් ඉතින් මගේ කල වයසත් හරි.තවදුරටත් මෙහෙම ඉඳල බෑ..... :-P"

"හි හි... එහෙමද? එහෙනම් ඉතින් හොඳ කෙනෙක්ව හොයා ගන්න පුලුවන්නෙ... :-D "

"ම්ම්ම්... කෝ ඉතිං හොඳ කෙනෙක් හොයන එක ලේසි නෑනෙ..."

"අයියෝ...ඒක එච්චර අමාරු නෑ... කියන්නකෝ බලන්න ඔයා මොන වගේ කෙනෙක්ටද කැමති කියලා... මාත් පුලුවන් support එකක් දෙන්නම්... :-)"

"වෙන කවුරුත් වගේ නෙවේ නදී...මට ඕනි ඔයා වගේ කෙනෙක්...."  කොහොමද මං මේ වචන ටික එයාට කියන්නේ? මං මොහොතක් කල්පනා කළා.

වෙලාව රෑ 10ට විතර ඇති.වටපිටාව හරිම නිහඬයි. හිතට පුදුමාකාර පාලුවක් දැනෙන්න ගත්තා. කියනවනම් අද තමයි දවස... මගේ හෘද ස්පන්දනය මට නොදැනීම වේගවත් වුණා. අත වෙව්ලන්න වගේ. ඇයට මේක කියන්නෙ කොහොමද කියල මම කල්පනා කළා.message දෙක තුනක්ම type කළා. ආපහු මැකුවා. හිතට ධෛර්ය්‍ය අරගෙන අන්තිම message එක type කළා.

"NADEE.... SHE SHOULD BE LIKE YOU !!! "

ඉන් පස්සෙ ගෙවුණු හැම තත්පරයක්ම මට දැණුනෙ අවුරුද්දක් වගේ. phone එකට message එකක් එනකම් මං phone එක දිහාම බලං හිටියා. සෑහෙන වෙලාවක් ගත වුණා.උත්තරයක් නෑ. මට කියාගන්න බැරි තරම් දුකක් ඇති වුණා.මම කොට්ටෙට ඔලුව තියාගෙන කලුවර දිහාම බලාගෙන හිටියා...

BEEP.. BEEP !!!

messege එකක් ආ බවට දුරකතනය හඬ නැගුවා. හෘද ස්පන්දනය නැවතත් වේගවත් වුණා.මම message එක open කළා.

":-p I haven't an idea about it...(මට ඒ ගැන අදහසක් නෑ)... "

 මගේ මුලු ලෝකයම කඩා වැ‍ටුණා වගේ වුණා. කවුරුවත් නැති ගෙදර පාලුව මගේ හදවතේ වේදනාව තවතවත් වැඩි කළා."එයා මං කිව්ව දේ මඟ ඇරියා....එයා  මගේ හිතේ තිබුණු අදහස දැනගත්තා.එයා ආයෙමත් මට කතා කරන එකක් නෑ..."මගේ හිත එහෙම කිව්වා. ආයෙමත් මම නදීට කතා කරන්නෙ නෑ.. එයාට කැමති නැත්තන් මම එයාට කරදරයක් වෙන්න යන්නෙ නෑ... මම එහෙම හිතාගත්තා.

රෑ වෙනකම් කල්පනා කර කර හිටපු මට නින්ද ගිහිල්ලා. පහුවෙනිදා උදේ මම ආපහු class එකට බම්බලපිටි ගියා. දවසම upset එකේ හිටපු මගෙන් යාලුවො කීප දෙනෙක් ඒ ගැන විමසුවා."නෑ බන් නෑ..එහෙම මුකුත් අවුලක් නෑ..." මම ඔවුන්ට කිව්වෙ එහෙමයි. ඒත් මං කොච්චට upset එකේද හිටියෙ කිව්වොත් උදේ class එද්දි phone එකයි පෑනයි ගෙදර දාල ඇවිත් තිබුණේ.

එදත් ගෙදර යනකොට හැන්දෑ වෙලා. මම ගෙදර ගියපු ගමං phone එක හෙව්වා. phone එක ඇඳ උඩ. missed calls 2 කුත් තිබුණා. මම බැලුවා කවුද call අරන් තියෙන්නෙ කියලා. මට අදහගන්න බෑ... ඒ 'නදී' ... මම හිතුවෙම නෑ ඇය ආයෙ කතා කරයි කියලා...මම ඇයට දුරකතන ඇමතුමක් ගත්තා...

"හෙලෝ...." ඒ පැත්තෙන් බොහොම ගැඹුරු පිරිමි කටහඬක් කතා කළා.මම  බොහොම කළබල වුණා...

"ආහ්හ්... හ..හලෝ..."

ඒත් එක්කම දුරකතනය විසන්දි වුණා. සිද්ධ වුණේ මොකක්ද කියල මට හිතාගන්න බැරි වුණා.. නදී විස්තරේ තාත්තටවත් කියල, තාත්ත මට හොඳවයින් දෙකක් කතා කරන්නද දන්නෑ call අරන් තිබුණේ... දැන් මගේ හිතට හරිම නෑ...

BEEP..BEEP!!!
මට message එකක් ආවා.

"අනේ...sorry...ඔයා දැන් ගත්තු call එක තාත්ත answer කළේ... ඇයි ඔයා cut කළේ? තාත්ත බලන්නැති ඇයි cut කළේ කියලා..."

"මම cut කළේ නෑ නදී...නිකම්ම cut වුණා... මම phone  එක දාලනෙ අද class ගිහින් තියෙන්නෙ...."

"ආ...ඒක තමයි,මං උදේ ඔයාට call කළා... මට හිතුණා ඔයා phone එක දාල යන්න ඇති කියලා...."

දැන් මගේ හිතට ටිකක් සැනසීමයි. එයා මුකුත් වෙනසක් පෙන්නන්නෙ නැතුව කතා කළ නිසා මට ටිකක් විතර සතුටක් දැනුණා....  මම පහුවෙනිදම ආපහු ඇඹිළිපිටි ආවා.

ඔන්න 2009 අප්‍රේල් 23 වෙනිදා රෑ....

ඇය මට රෑ ඇගේ යාලුවෙක්ගෙ මොකක්දෝ පෙම් පලහිලව්වක් ගැන විස්තර වගයක් කියන්න ගත්තා... අන්තිමට එයා මට කියනවා...
"පව් අනේ එයා...  අද මාත් එක්ක විස්තරේ කිව්වා, මට දුකත් හිතුණා, ඒ අතින් එහෙම ප්‍රශ්ණ අපිට නැති එක කොච්චර දෙයක්ද කියලා හිතෙනවා...."

"කොහොම ප්‍රශ්නද? " මං ඇගෙන් පෙරලා ප්‍රශ්නයක් ඇහුවා."

"තමන් කැමති කෙනා නොලැබෙන  එක...."

"නැත්තෙ මොකද? ඒ ප්‍රශ්ණෙ මටත් තියෙන්නෙ..." මම නෝක්කාඩු ස්වරයෙන් කිව්වා..

"ඔයාට... ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නෙ? " ඇය පුදුමයෙන් වගේ ඇහුවා...

"ඇයි මාත් ඉඳල ඉඳල ඇහුවෙ එක්කෙනෙක්ගෙන්... කෝ වැඩක් වුණේ නෑනෙ..."

"ඔයා...? ඔය ඇත්තමද? අනේ අපිටත් ඉතින් කියන්නකෝ..කොහොමද ඔයා ඇහුවේ? කවියකින්ද? " ඇය හිනාවෙවීම ඇහුවා... ඒක අහල මම ෆුල් හොල්මන්.ඇයි දෙයියනේ මම මෙයාගෙන්නෙ ඇහුවේ...මෙයා මොකද මෙහෙම දෙයක් ඇහුවේ..මට මුකුත්ම හිතාගන්න බැරිවුණා...

"ඔයා ඔය ඇත්තටමද අහන්නේ නදී ? "

"ඇත්තට තමයි..ඇයි එහෙම ඇහුවේ ? " ඇය හිනාවෙවීම ඇහුවා.

"මම එහෙම ඇහුවෙ ඔයාගෙන්නෙ නදී...."

"මගෙන්...?"

"ඔව්, ඔයාගෙන්..ඇයි ඔයා දවසක් මගෙන් මොන වගේ කෙනෙක්ටද කැමති කියල ඇහුවම මම කිව්වෙ ඔයා වගේ කෙනෙක්ට කියලා... ඔයාට මතක නැද්ද..."

ඇයට එක වරම කතා කරගන්න බැරිව ගිය බව මට තේරුණා...

"ම...මං හිතුවෙ ඒ ඔයා විහිලුවට කිව්වෙ කියලා.... "

"නෑ නදී... මං ඇත්තටමයි කිව්වෙ..." ඇයත් මමත් මද වෙලාවක් නිහඬව හිටියා...

"මට මොකක්ද කියන්නෙ කියල හිතාගන්න බෑ... මාව ගැහෙන්න වගේ..." නදී වෙව්ලන ස්වරයෙන් කතා කළා.

"බයවෙන්න එපා නදී... ඔයා කැමති දෙයක් කියන්න..මොනව කිව්වත් මම තරහ නෑ..."

"ඔයා හොඳට හිතල බලලද ඔය දේ කිව්වෙ? " නදී සැක හැර දැනගන්න මෙන් ඇහුවා.

"ඔව් නදී...මම ගොඩාක් හිතල හිතල තමයි ඒ දේ එදා කිව්වෙ..."

"එතකොට ඔයාලගෙ ගෙදරින් මේ බව දන්නවද ....?"

"ම්ම්... මං එහෙම දෙයක් තවම ගෙදරට කියල නෑ...ඔයා කැමති වෙන්නෙපැයි ගෙදරට කියන්න..." මම බොහොම සැහැල්ලු බවක් අඟවමින් කතා කළා. ඇය ටිකක් බය වෙලා ඉන්න බව මට තේරුණා...

"අනේ මන්දා...මට එකපාරටම මොකුත් කියන්න බෑ.මට ටිකක් හිතන්න ඕන"

"කලබලයක් නෑ නදී...ඔයා අද රෑට හොඳට හිතල මට හෙට උදේට උත්තරයක් දෙන්නකෝ..." මං නැවත කටහඬ අවදි කළා.

"හෙට උදේ...?"

"ඔව්. හෙට උදේට ...ඔයා හරියටම 10.30ට මට තීරණය කියන්නකෝ.. ඔයා මොනව කිව්වත් මම තරහ නෑ නදී..." මං එහෙම කිව්වට ඇය අකමැති වෙයිද කියන බය මගේ හිතේ තිබ්බා.

එදා රෑ මට එක තප්පරයක්වත් නින්ද ගියේ නෑ...හිතට අමුතුම සතුටක් තිබ්බ වගේම, පොඩි තිගැස්මකුත් තිබුණා...ඇය අකමැති වෙන එකකුත් නෑ...හිතේ පොඩි කැමැත්තකුත් ඇති...ඒකනේ ටිකක් හිතන්න ඕන කිව්වෙ..

මම පහුවෙනිද උදේම ලයිසන් එකට photo ගහන්න ඇඹිළිපිටියෙ "අමිල" ස්‍ටුඩියෝ එකට ගියා...එයාලට කිසි ගාණක් නෑ..ලතැවි ලතැවි ඉන්නවා...මම විනාඩියෙන් විනාඩිය ඔරලෝසුව දෙස බැලුවා...යන්තම් බර බර ගාල photo ටික ගහගෙන 10 වෙනකොට එළියට ආවා..


දැන් මගේ හිතට ටිකක් බයයි.තව පැය භාගයකින් එයා කතා කරල මොනව කියාවිද දන්නෙ නෑ... ඔය දවස්වල මගේ phone එකේ පොඩි ලෙඩකුත් තිබ්බා.කියන ඒව හරියට පැහැදිළිව ඇහෙනව මදි...town එකේදි නම් කොහොමත් ඇහෙන එකක් නෑ...ඒකනිසා මම library එක පැත්තට ගියේ call එකක් ආවොත් හරියට ඇහෙන්න ඕන නිසා...

වෙලාව කෙමෙන් කෙමෙන් ගත වුණා..හරියටම 10.30 ට වුණා. මම phone එක දිහාම බලාගෙන හිටියා. නදී මට උත්තරක් දෙන්න 10.30ට කතා කරනව කිව්ව නිසා මම call එකක් ගන්න ගියෙත් නෑ....

වෙලාව ගෙවුණා...10.35 වුණා...10.40 වුණා... මට call එකක් ආවෙ නෑ...

මගේ හිතට දරාගන්න බැරි දුකක් ඇති වුණා...  එයා මොකක් හරි වැඩක් ඇද්ද? මගේ හිත ගැහෙන්න ගත්තා... තවත් library එකේ බලං ඉඳල වැඩක් නැති බව මට තේරුණා.මම පාරට බැහැලා town එකේ මගේ යාලුවගෙ ගෙදරට ගියා...

"ආ...බස්සො... කොහොමද? කොහේ යන ගමන්ද?..."අනුෂ්ක ඇහුවා.

"ස්‍ටුඩියෝ එකට ගියා බන්...ඒක නෙවෙයි...මට පොඩි උදව්වක් කරපන්..."

"උදව්වක්...? මොකක්ද?"

"මට දවසකට උඹේ phone එක දියන්... එතකම් මගේ phone එක ගනින්..."

"ඒ මොකටද බං ඒ? "

"පොඩි වැඩකට බං...මං පස්සෙ උඹට විස්තරේ කියන්නම්... දැන් ඉතින් දීපන්කො..."

"හා හරි හරි... හිටපන් සිම් එක ගලවගන්නකම්...."

මම යාලුවගෙන් phone එක ඉල්ලුවෙ මගේ phone එකේ හරියට ඇහෙන්නෙ නැති නිසා...හදිසියෙ හරි නදී අද call කළොත් කියල මම එහෙම කළේ.... මම ඉතින් මගේ phone එකත් off කරල සිම් එක අරගෙන යාලුවගෙ එකට දැම්ම...ඔය වැඩේට විනාඩි 7ක් , 8ක් විතර ගියා..

"මම යනව මචං...."

යාලුවගෙන් සමුඅරගෙන මම ගෙදර යන්න පාරට බැස්සා...යන ගමන් phone එකට ආව message කීපයක්ම... ඔක්කොම missed call alearts...

දෙයියනේ නදී වත්ද දන්නෑ... මං ඉක්මනින්ම number  එක check කළා...මං හිතුව හරි...නදී තමයි...මට පුදුම සතුටක් දැනුණා...ඒත් එක්කම තව text message එකක් ආවා...ඒකත් නදී ගෙන්.

"අනේ ඇයි ඔයා phone off කළේ...? මම හරියටම 10.30 ට කතා කරන්නයි හිටියේ..එතකොටම එහා ගෙදර අක්කයි, බබයි ආවා.ගෙදර හිටියෙත් මං විතරයි...එයාල දැනුයි ගියේ...අනේ මට සමාවෙන්න!!! ඔයා phone එක on කළ ගමන්ම මට කතා කරන්න.... "

ඒ message එක දැකපු මට ඇති වුණු සතුට උඹලා දන්නවනම්.....
මම එවෙලෙම ඇයට call එකක් ගත්තා....

"හෙලෝ..." ඇය බොහොම බයෙන් බයෙන් වගේ phone  එක answer කළා.

"මම phone එක off  කළේ නෑ...." මම සිද්ධවුණු දේ ඇයට විස්තර කළා..

"අනේ..මං බයවුණා ඔයාට කේන්ති ගිහිල්ලා phone එක off කරන්න ඇති කියලා...."

"නෑ නදී...මං මොකටද කේන්ති ගන්නේ...?  ඒක නෙවෙයි...ඔයා ඉතිං කල්පනා කලාද...? "

"ම්ම්... ඔව්. මට රෑ එළි වෙනකම් නින්ද ගියේ නෑ... මට හරි බයයි වගේ..."


"ආහ්හ්... මටත් නින්ද ගියේම නෑ... මම කල්පනා කළේ ඔයා කොහොම උත්තරයක් දෙයිද කියලා...කියන්නකෝ ඉතිං...මොකක්ද ඔයාගෙ උත්තරේ...? "

"ම්ම්ම්... ඔයාලගෙ අම්මල කැමති වෙයිද. මට නම් බයයි වගේ...?"

ඇය එහෙම කියනකොට මට තේරුණා වැඩේ හරි තමා කියලා... මට දැනුණු සතුටට පාරේ කෑ ගහ ගහ දුවන්න හිතුණා. මගේ පළවෙනිම ආදරේ මට නැතිවුණා කියල මම හිතුවට ඒක එහෙම නොවන බව මට තේරුණා...

"අම්මල කවදාවත් මම කැමති දේකට විරුද්ධ වෙන්නෙ නෑ නදී....ඒ ගැන බය වෙන්නෙපා..."

"එහෙමද....? එතකොට ඔයාගෙ අයියලා...?"

"අයියලත් එහෙම තමයි අනේ.... දැන්වත් කියන්නකෝ..." මම බොහොම නොඉවසිල්ලෙන් කිව්වා...

"ම්ම්ම්....කැමතියි!!! " ඇගේ ඒ වචනය මට අද වගේ මතකයි.

"එහෙම නෙමෙයි අනේ..."මම බොරු තරහක් පෙන්වමින් කිව්වා...

"එහෙනම්...? "

"කියන්නකො මට ආදරේද කියල...?"

"ඔව්...! "

"මොකක්ද ඔව් ? "

"ඔයා කිව්ව එක..." කෙල්ලොන්ගෙ කපටිකම පේනව නේද?

"හ්ම්ම්... හරි හරි... ඉන්නවකො  මං ඕක අද හෙටම ඔයා ලවා කියවගන්නම්කෝ..." මං සිනාසෙමින් කිව්වා... ඇය ඒකට ලස්සනට හඬනගා සිනාසුණා.


ඔය විදියට අපි දෙන්නගෙ පුංචිම පුංචි ආදර කතාව 2009.අප්‍රේල් 24 වෙනිදා ආරම්භ වුණා...

මේ වෙනකොට නදී රුහුණු කැම්පස් එකේ 'Bio Science උපාධිය හදාරනවා.
මම ඇගෙන් ගොඩක් දේවල් ඉගෙන්ගත්තා...ඇය කවමදාවත් මාව රවටලා නෑ...ඇගේ ළඟ තියෙන අල්පෙනෙත්තක දෙයක් වුණත් මගේ සතුට වෙනුවෙන් දෙන්න ඇය කවදාවත් පැකිළෙන්නෙ නෑ... ඒකයි මම ඇයට මෙච්චරම  ආදරේ...:-)

කොටස් 3කින් මේ කතාව ඉවරකරන්න මම පොරොන්දු වුණු නිසා 3 වන කොටස හිතුවට වඩා සෑහෙන්න දිග වුණා.ලියන්න ගොඩක් මහන්සිත් වුණා... පළමු කොටස් දෙකට ලැබුණු ප්‍රතිචාර නිසාමයි මේ කොටස ලියන්න ශක්තිය ලැබුණේ. comment එකකින් හරි මාව දිරිමත් කළ හැමෝටම ස්තුතියි. කතාව කියවලා මට නවකතාවක් ලියන්න කියලත් දෙතුන් දෙනෙක් කිව්වා...මං දන්නවා උඹලා ඒ විහිලුවට තමා කිව්වෙ කියලා. :-D .... එහෙනම් මේ කතාව මෙතෙකින් නිමි!!! කතාව රසවින්දා නම් comment එකක් දාන්නත් අමතක කරන්න එපා....ජය!!!

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

11 comments:

  1. සුන්දර ආදර කතාවක්. සුබ පැතුම් දෙන්නටම. ජය...!

    ReplyDelete
  2. හැමදාම වගේ හොදට ලියලා තියෙනවා. සුබපැතුම් මචං. ජය වේවා...

    ReplyDelete
  3. Harima lassanai ayye..... Best wishes to both of you =)

    ReplyDelete
  4. nadee 2008 a/l karalada ruhune bio science gye???? koma unath lassana kathawa... hamadaama oyala 2ta sathutin lassanata inna labewa kiyala suba pathanawa...

    ReplyDelete
  5. ස්තුතියි comment කළ හැමෝටම...
    @Anonymous : yes... :-)

    ReplyDelete
  6. ඔයා නම් ගොඩක් වාසනාවන්ත කොල්ලෙක්.,ඔය කියන විදියේ කෙල්ලෙක් ලැබෙන්න ...ලස්සසන කතාවක් ....

    ReplyDelete
  7. මාරයි මචන්,, මේක දැකල මටත් ලියන්න හිතුන.. ඇත්තමයි..

    ReplyDelete
    Replies
    1. ආ... ලියමු ලියමු මචං. බොහොම ස්තුති කොමෙන්ටුවට.

      Delete

උඩට යන්න මෙතන click කරන්න.