Friday, December 21, 2012

අමුම අමු කුණුහරුප කතාවක්

කුණුහරුප කිව්වම කස්ටිය බය උණාද මන්ද.පටන් ගත්තු ගමන්ම කුණුහරුප කියන එක හරි නෑ. ඒක නිසා ආරම්භය මේ වගේ සදාරාචාත්මක විදියට ලියන්නම්.

අපේ පොඩි අයිය ඉන්නව නේද? මිනිහ ඇවිල්ල හෙනම කළාකරුව. මිනිහගෙ ඔලුවෙ වැඩ කරේම වේදිකා නාට්‍ය, චිත්තරපටි, ටෙලි නාට්‍ය  වගේ කළාවට බර දේවල්. මිනිහ ඉස්කොලෙ යන කාලෙ උසස් පෙළට කළ project එකේ නමත් "නූතන සිංහල නාඩගම්" මට මතක විදියට. ඒකෙ සමහර බලි රූප එහෙම ඇඳල දුන්නෙ මං. ඊට පස්සෙ කැම්පස් එහෙම ගිහිල්ල සිංහල සාහිත්‍ය විශේෂ උපාධියක් එහෙම හදාරන ගමන් පොර ජාතික රූපවාහිනියෙ 'ජනමාධ්‍යවේදී පාඨමාලාවකුත්' හැදෑරුව.

ඔය කාලෙ තමයි ඇඹිලිපිටියට හා හා පුරා කියල රංග ශාලාවක් ඉදි වුණේ. ජීවිතේට වේදිකා නාට්‍යක් එහෙම හැබහින් දැකල නැති අපේ උන්ට දැන් එව්ව බලන්නත් පුලුවන්.

ඉතින් ඕකෙ නමෝ බුද්ධාය කියල පෙන්නපු මංගල වේදිකා නාට්‍ය තමයි, "චරන්දාස්". ඒක බොරු නොකියන ඇත්ත කියන පීඩිත ජනතාවාදී හොරෙකු මැදිකරගත් කතාවක්. ගෙන්නල සංවිධානය කළේ වෙන කවුරුවත් නෙවෙයි. මං ඔය කිව්ව අපේ පොඩි අයිය තමයි. ඒක ලංකාව පුරා වේදිකාගත වෙන අතිශය විනෝදාත්මක නාට්‍යක්. 



මේ ඇවිල්ල මම උසස් පෙළ ලියල ගෙදරට වෙලා හිටි කාලේ. ඉතින් අර නාට්‍ය සංවිධානය කිරීමෙහිලා ඉතාමත් භාරදූර වගකීම් ‍රැසක් මටත් පැවරුණා.නාට්‍ය දර්ශණ වාර දෙකක් තියෙන්න නියමිතයි. දවල් 2.30 සහ හවස 6.30. හෝල් එක බුක් කිරීම, ටිකට් ප්‍රින්ට් කිරීම, පෝස්ටර් ප්‍රින්ට් කිරීම, ඉස්කෝල වලට ආරාධනා කිරීම, ලවුඩ්ස්පීකර් ප්‍රචාරයක් යෑම, නාට්‍ය කණ්ඩායමට කෑම, බීම නවාතැන් දීම ආදී එකී මෙකී නොකී වැඩ එමටයි.

අයිය කාරය වැඩේ කරන්න ගත්තට මිනිහ ගමේ වත් නෑ. කොල්ල හොඳටම බිසී. මට ඉතින් නිතරම කෝල් දීල කියනව අරක කරන්ට මේක කරන්ට කියල. මට ඉතින් වෙලාවකට කේන්ති. එහෙ දුවනව, මෙහෙ දුවනව ඉවරයක් නෑ. ඔන්න දවසක් මට තවත් එහෙම වැඩක් මිනිහ බාර දුන්නා.

"සම්පත්, අර හෑන්ඩ් බිල් සෙට් එක බෙදන්න ඕන. ගෙවල් ළඟ අඳුරන එකෙක්ගෙ ත්‍රී වීල් එකක් සෙට් කරගෙන ලවුඩ්ස්පීකර් දෙකක් බැඳල ඇඹිලිපිටිය වටේ ප්‍රචාරයක් යන්න ඕන. යන ගමන් මිනිස්සු ඉන්න තැන් වල හෑන්ඩ් බිල් දාගෙන යන්න... ගෙදර ඇති මම රෙකෝඩින් කරන් ආපු කැසට් පීස් එකක්.ඒක දාගෙන යන්න තියෙන්නේ... " මිනිහ ඇඟට පතට නොදැනී කියල දැම්ම.

දැන් ඉතින් පලයන්කො ටවුන් එක වටේ ... ගෙවල් ළඟ හිටපු සුභාෂනගෙ ත්‍රී වීල් එක සෙට් කරගෙන මම ලවුඩ්ස්පීකර් හොයන්න ගියා. 

"රුවන් සවුන්ඩ්ස්" එකට යමු. ඒකෙන් ලවුඩ්ස්පීකර් දෙක ගන්න පුලුවන්. සුභාෂ් මල්ලි කිව්වා.

අපි දෙන්න ගියා අදාල ස්ථානයට. 

"කෝ මල්ලි, අවසර පත්‍රයක් තියෙනවද...?" එතැන හිටපු හිමිකරු අපෙන් ඇහුවා.

"අවසර පත්‍රයක්....?" මම නිකං පුදුමෙන් වගේ ඇහුවා.

"ඇයි ඔයාල පොලීසියට කියල අවසර අරන් නෙවෙයිද ප්‍රචාරෙ යන්නෙ?...අවසර නැතුව ලවුඩ්ස්පීකර් බැඳන් එනවුන්ස් කරන්න තහනම් මල්ලි. මාට්‍ටු වුණොත් අන්තිමට බඩු ටිකත් උසාවි දානව. අවසර නැත්තං නම් දෙන්න බෑ මල්ලි..."

දැන් ඉතින් මොකද කරන්නේ? මං ගත්ත අයියට කෝල් එකක්...

"මේ... පොලීසියෙන් අවසර ගන්න ඕන කියන්නේ..එහෙම එකක් ඕනද? නැත්තං මේව රෙන්ට් එකට දෙන්න බැරිලු..."

"දැන් ඇඹිලිපිටි ඇවිත් පොලිසි යන්න වෙලාවක් නෑ බං"

"එහෙනම් වැඩේ වෙන දවසක කරමු. ඉස්සෙල්ල අවසර අරන් ඉන්න එපැයි..."

"බෑ, බෑ බං. ඕක අදම කරන්න ඕන. තව දවස් කීයද තියෙන්නේ.. එකයි මං කියන්නේ...මං තංගල්ලේ ඉන්නෙ. අපි මෙහේ ෂෝ එකට නම් අවසර අරන් ප්‍රචාරෙ ගියා. මෙහේ ඕ.අයි.සී. මහත්තය සෑහෙන්න උදව් කළා. එයා කිව්ව ඕනි උදව්වක් තියෙනවනම් කියන්න කියල. ඔන්නොහෙ එනවුන්ස් පාරක් දාපන් බං.පොලීසිය නවත්තල අහන එකක් නෑ අවසර පත්‍ර තියෙනවද කියල. ඇහුවොත් මට කෝල් එකක් දියන්. මං කියන්නම්..."


"එහෙම කියල හරියාවිද...? අනේ මන්ද...ඔන්න එහෙනම් අවුලක් වුණොත් මං කෝල් එකක් ගන්නව හොඳේ. ඉතුරු ටික තමුන්ට බාරයි..."

"හරි හරි,තමුසෙ බය නැතුව යනවකො. එහෙම වෙන එකක් නෑ...කෝකටත් පොලීසියෙ පැත්තෙ එනවුන්ස් කරන්න යන්නෙපා...ඒක කෝකටත් හොඳයි..."

පොරගෙ අවවාදෙ පිළිගත්තු මම අදාල විස්තරේ කියල බොහොම අමාරුවෙන් ලවුඩ්ස්පීකර් දෙකයි, ඈම්ප් එකයි, මයික් එකයි එහෙම රෙන්ට් එකට ඉල්ල ගත්තා. 

"ඔන්න මල්ලි, අවුලක් වුණොත් එහෙම බඩු ටිකේ වගකීම ඔයා ගන්න ඕන..." රුවන් සවුන්ඩ්ස් එකේ අයිය එහෙම කියද්දි එයාට අත වනාගෙන අපි පිටත් වුණේ ඒ වගකීමත් බාරගෙන.


මුලින්ම අපි ගියේ තුංකම පැත්තට. එතන ඉඳන් කෙළින්ම ඇඹිලිපිටියට. මුලදි ප්‍රචාරෙ යන්න ලාවට වගේ ලැජ්ජ හිතුනත් පාර තොටේදි කොල්ලො කුරුට්ටොන්ගෙන් ලැබුණු ප්‍රතිචාර නිසා හිතට පොඩි ගැම්මක් ආවා.

"... ඔබ සියලු දෙනාම සිනා සාගරයේ ගිල්වන, රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය ඇතුළු රාජ්‍ය සම්මාන 9ක් දිනූ පරාක්‍රම නිරිඇල්ලගේ චරන්දාස්. ලොකු පොඩි බාල මහළු කොයි කාටත් රස විඳිය හැකි සිනා සාගරය. ජුනි 5 වැනිදා ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩපයේදී. සවස 2.30 ට සහ 6.30 ට.... "

ඔන්න මේක අහන පොඩි එවුන් පාරට දුවගෙන එන්න ගත්ත.මං ඉතින් මගේ අතේ තිබුණු හෑන්ඩ් බිල් දෙක තුන උන් ඉන්න පැත්තට විසි කරනව. හරිම ජොලි වැඩේ. ඔය අතරට නාට්ටියේ පොඩි දෙබස් කෑල්ලක් එහෙමත් දාල තිබුණා.

දැන් ඉතින් දවල් වුණා.මං ඉතිං ත්‍රී වීල් එකේ සුභාෂනත් එක්ක ටවුන් එකේ තිබුණු හෝටලයක් ගාව නවත්තල දවල්ට කෑව.

"දැන් කොහෙද බන් යන්නේ?..." මම සුභාෂනගෙන් ඇහුව.

"ම්ම්ම්... අනේ මන්ද, ඕනි දිහාවක යන්..."

"යන්ද එහෙනම් මහවැලි ග්‍රවුන්ඩ් එක ගාව තියෙන පාරෙන් දාල, සෙන්චූරියා රෙස්‍ටුරන්ට් එක පැත්තෙ...කාලෙකින් ගියෙත් නෑ ඒ පැත්තෙ...." මං එහෙම කිව්වා.

"යනවනම් යං..."

ඔන්න ඉතින් අපි ලවුඩ්ස්පීකරෙත් සද්දෙ දාගෙන ඒ පාරට හැරෙව්වා. අම්මට සිරි, දැන් මේ පැත්ත හෙනට සංවර්ධනය වෙලා. ලොකු ගෙවල්, පොඩි පොඩි හෝටල්, කඩවල් එහෙම පාර දෙපැත්තෙම. ඔන්න දැන් අපි ටික ටික ඇතුළට යනවා. 

මං ලවුඩ්ස්පීකරේ බොහොම සද්දෙට දාගෙන වටපිට බල බල ගියා.අපි යන පාරත් ඉර ගැහුව වගේ ඈතට යනකම්ම පේනව. මං දැක්ක ඈතට වෙන්න වාහන ගොඩක් එහෙම නවත්තල තියෙනව. මොකක් හරි උත්සවයක්ද දන්නෙ නෑ. මාත් බොහොම සතුටින් ලවුඩ්ස්පීකරේ සද්දෙ තවත් වැඩි කළා. 

"....ලොකු පොඩි බාල මහළු කොයි කාටත් රස විඳිය හැකි සිනා සාගරය. ජුනි 5 වැනිදා ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩපයේදී. සවස 2.30 ට සහ 6.30 ට.... .......

"මොකක්ද බං මෙතන සීන් එක?... උත්සවයක්ද...?" මං සුභාෂ්ගෙන් ඇහුවා.

"අනේ මන්දා... මාත් කාලෙකින්නෙ මේ පැත්තෙ ආවෙ..." සුභාෂ් කිව්ව.

ඔන්න අපි අර කිව්ව වාහන නවත්තල තිබුණු ස්ථානයට කිට්‍ටු කළා. 
එක පාරට පොලිස් කාරයො හතර පස් දෙනෙක් ඇතුලෙ ඉඳල පාරට දුවගෙන ආවා. උන් ආපු ඒම මට එච්චරම ඇල්ලුවෙ නෑ... උන් ඈත ඉඳන් අපේ ත්‍රීවීල් එක දිහා කන්න වගේ බලාගෙන ඉන්නව. වීල් එක හරවන්න අතුරු පාරක්වත් නෑ. 

"කමක් නෑ බන්... ඔහොම යමන්.දැන් හරවන්න බෑනෙ." මං එහෙම කිව්වට මගේ හිතත් බයෙන් ගැහෙනව.වීල් එක තවත් කිට්‍ටු කළා.

"ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය"

ලොකු අකුරින් ලියල තිබුණු බෝඩ් එක දැකපු මගේ ඉහින් කනින් දාඩිය දාන්න ගත්ත. විනාසයි. අපිව අල්ලලා නඩු දැම්මොත් ඉතින් නඩුකාර උන්නාන්සෙත් සාක්ෂි දෙයි මුන් උසාවිය ඉස්සරහින් නඩු අහ අහ ඉන්න වෙලාවෙ මහ සද්දෙට ලවුඩ්ස්පීකර් එක දාගෙන ප්‍රචාරෙ ගියා කියල.අනික ලයිසන් වත් නැතුව. 

මට අපෙ අයියගෙ අම්ම මතක් වුණා. දෙයියනේ ඒ මගෙත් අම්ම නේද? අනේ අම්මෙ, මාව බේරගන්න. දැන් ඉතින් කූඩුවෙ කූරු ගණින්න තමා වෙන්නෙ. 

"කවද්ද බන් මෙතන උසාවියක් දැම්මෙ?..."  සුභාෂනයත් වෙව්ල වෙව්ල කෑ ගහනව.

"කවුද බන් දන්නෙ? ... ළඟදි හදන්න ඇති". මම දනි පනි ගාල කැසට් එක ඕෆ් කළා.

පාරට පැනපු පොලිස් කාරයො ටික අපේ ත්‍රීවීල් එක නතර කළා.


"අම්මට ...(ටීක්), තොපේ ඇස් පොට්ට වෙලාද ...(ටීක්)..? තොපිට පේන්නෙ නැද්ද අද නඩු අහනව කියල ..(ටීක්)? ...(ටීක්, ටීක්, ටීක්, ටීක්.....) "
පොලිස් කාරයො හැම එකාම එකසැරේ මගෙ ඇඟට කඩන් පැන්න. ඇයි යකෝ වරකට එකා බැගින් බැනපන්කො... මට හතර වටෙන්ම ඇහෙන්නෙ අමුම අමු කුණුහරුප විතරයි.

"අනේ සර්, අපි දන්නෙ නෑ මෙතන උසාවියක් තියෙනව කියල. මෙහෙ උසාවිය තියෙන්නෙ ඉස්පිරිතාලෙ ගාවනේ. ....." ඒ මං.

"එතන විතරද ..(ටීක්) උසාවි තියෙන්නෙ? ගනින් (ටීක්) තොපේ ලයිසන් එක..?"

"අපි ගාව ලයිසන් එකක් නෑ සර්. වැඩේ හදිස්සි නිසා ලයිසන් ගන්න බැරි උනා.තංගල්ලෙ ඕ.අයි.සී මහත්තය කිව්ව වැඩේ කරන්න. අවුලක් වුණොත් එයාට කෝල් එකක් දෙන්න කියල....

මුන් හිතන්න ඇති එහේ ඕ.අයි.සී. මගේ බුදු ‍ෆිට් එකක් කියල. මම ෆෝන් එක අරන් වෙව්ල වෙව්ල අපේ අයියගෙ නම්බරේ හොයන්න ගත්තා.

"ලයිසන් වත් නතුවද (ටීක්) මේක අස්සෙ රිංගුවේ? මොකා කිව්වත් උසාවියක් ළඟ හෝන් එකක්වත් ගහන්න පුලුවන්ද ...(ටීක්)? අරන් පල ඔය (ටීක්, ටීක්) මෙතනින් (ටීක්..)...

ඒ වචන මාලාව ඇහුනා විතරයි අපි ඇහිපිය ගහන සැනින් වීල් එකේ නැගල  එතනින් මාරු වුණා. යනගමන් අයියට හොඳ දෙකක් කතා කරපු මං නාට්ටියේ ප්‍රචාරක කටයුතු එතෙකින් සමාප්ත කළා. 

සුභාෂනයගේ ත්‍රීවීල් එකේ අපි ගියපු අන්තිම හයර් එකත් ඒක. ඌ නෙවෙයි ආයෙ අපිත් එක්ක හයර් ගියේ. කොහොම කොහොම හරි මහේස්ත්‍රාත් අධිකරණයක් ගාවත් එනවුන්ස් පාරක් දාපු පොරක් මම හරිද? කවදහරි ශ්‍රේෂ්ඨාධිකරණෙ ගාවත් ඔයින් එකක් කරන්න මගෙ හීනයක් තියෙනව... :-D ;p

අවසාන වශයෙන් කියන්න සං‍තෝස කාරණයක් තියෙනව. අපේ පළමුවැනි ෂෝ එක බලන්න හෝල් එක පිරෙන්න සෙනග හිටිය. 2.30 ෂෝ එක ඉස්කෝල ළමයිගෙන් පිරුණා.උනුත් ඉතින් මීට කළින් ඕව බලල තියෙන එකක්යැ. මොරකැටි ඉස්කෝලෙ සිංහල උගන්නන අජිත් සර්රුත් ළමයි සේරම අරන් ආව. කිව්වට විස්සාස කොරන්ට මාත් මගේ ජීවිතේ මෙතෙක් බලපු හොඳම නාට්ටිය ඒක තමා. බලනව නම් අන්න නාට්ටි.
"චරන්දාස්"


කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

Sunday, October 21, 2012

ඉස්කෝලේ කාලේ රස කතා - පළමු පංගුව

මං කාලෙකට පස්සෙ ගෙදර ගියාම කුස්සියට වැදිලා අම්ම එක්ක කයියක් ගහන එක සාමාන්‍ය පුරුද්දක්. අම්ම ඉතින් උයන ගමන් මං නැති ටික ටිකට ගමේ වෙච්ච දේවල් එකින් එක මතක් කර කර මට කියනවා. මමත් ඉතින් කොළඹ ගත කරන ජීවිතේ ගැන අම්මට කියනවා. ඔන්න ඉතින් තේකක් බිබී අම්මත් එක්ක කතා කර කර ඉන්න වෙලාවක අපේ නංගිත් ආවා කුස්සියට.

ටිකක් එහෙට මෙහෙට ඇඹරුණු නංගි ඇවිත් බොහොම ආදරෙන් මගේ ළඟින් වාඩි වුණා. සාමාන්‍යයෙන් මේ විදියට නංගි හැසිරෙනකොට මගේ පර්ස් එකට අපල කාලයක් අත ළඟ බව මට ඉවෙන් වගේ තේරෙනවා. මම ඉතින් උගුරට දෙකට තේක බීල පු‍ටුවෙන් නැගිට්ටෙ හෙමිහිට සාලෙ පැත්තට මාරු වෙන්න හිතාගෙන. කොහෙ නැගිටින්නද? නංගි ඉස්සර වුණා.

"සම්ප‍තෝ..." නංගි බොහොම ආදරෙන් ඇදල පැදලා මාව ආමන්ත්‍රණය කළා.

"ආ..ඇයි මොකෝ..."

"හෙට කොළඹ යනවද....?"

"හ්ම්ම්ම්...යන්න ඕනි, සඳුදා ආයෙ වැඩනේ..." මං තේ කෝප්පෙ සින්ක් එකෙන් හෝදන ගමන් කිව්වා.

"අනේ මට බෑග් එකක් ගන්න සල්ලි දෙනවකො...තාම අර පරණ එක ගෙනියන්නෙ..." මං හිතුවා හරියටම හරි. ඔය පැන්නෙ බළල මල්ලෙන් එළියට.

"දෙන්න එපා සල්ලි...ඔය බෑග් එක තියෙන්නෙ යස අගේට. ඒක දැන් හොඳ මදි වෙලා...ඔහොමද අයියලා ඉස්සර ඉස්කෝල බෑග් ගෙනිච්චෙ? ..." අපෙ අම්ම එක පාරටම කෑ ගහන්න පටන් ගත්තා. මාත් ටිකක් විතර බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගත්තා.

"ඇයි බෑග් එක කැඩිලද...?" මං ඇහුවා.

"කැඩිලා නෑ... අනේ ඒක පරණයි හලෝ..."

"පරණයි? ... තමුසෙට තරම් සැප තිබිල නෑ අපි කාටවත්. අපි ඉස්කෝලෙ යන කාලෙ එකම බෑග් එක මහ මහ අවුරුදු කීයක් ගෙනිච්චද? අනික තව කී දවසද ඉස්කෝලෙ යන්නෙ? ඔන්නෝක ගෙනියනවා මගෙන් ගුටි නොකා..." මම ටිකක් සැරෙන් නංගිට ආමන්ත්‍රණය කළා. හැබෑට ඉස්සර අපි කොච්චර නැති බැරි කම් එක්කද ජීවත් වුණේ? දැන් මෙයාලට තියෙන පහසුකම් වලින් සීයෙන් පංගුවක්වත් අපට තිබුණෙ නෑ. මේව මතක් වෙලා මගේ මොරාල් තව ටිකක් වැඩි වුණා.

"තමුසෙ දන්නවද ඒ දවස් වල ලොකු අයියයි, චූටි අයියයි, මායි කවදාවත් අරව මේව ඉල්ලල ගෙදරට කරදර කරන්නෙ නෑ. අපි කඩෙන් පොතක් ගත්තත් ඒ දවස් වල ගත්තෙ තියෙන බාලම ජාතියෙන්. සපත්තු ගත්තොත් ගත්තෙ කඩේ තියෙන මිළ අඩුම එකෙන්. බෑග් එකක් ගත්තම අවුරුදු කීයක් පාවිච්චි කළාද? බෑග් එක ඉරුණම මහල, මහල ගෙනිහිල්ල අන්තිමට කඩේ මහන මිනිහගෙන් බැනුණුත් අහනවා, මේක තව මහන්න බෑ මල්ලි කියලා. බෑග් එකේ සිප් එක කැඩිලා යතුරු ක‍ටු ගහගෙන බෑග් අරන් ගියේ..තමුසෙට තිබුණු සැප අපිට තිබුණෙ නෑ." 


මම මගේ කතාව දිගටම කරගෙන ගියා. නංගි දැන් ෆුල් හොල්මන්... බෑග් එකක් ඉල්ලන්න ගිහින් කරගත්තු දෙයක් කියල එයාට හිතෙන්න ඇති. අම්මත් උයන එක නවත්තල ඉනට අත් දෙක ගහගෙන මං දිහා කට ඇරන් බලන් ඉන්නව. මම ඉතින් පටන් ගත්තු එකනෙ කියලා කතාව දිගටම කරගෙන ගියා.
අන්තිමට නංගිට කරපු අනුශාසනාව ඉවර වුණේ ඉස්සර කාලෙ අපි ඉස්කෝලෙ යනකොට වුණු රසබර කතන්දර මහා ගොඩක් කියල තමා. හැබෑට මටත් ඒව එකින් එක මතක් වුණේ හරියට පරණ චිත්තරපටියක් ආයෙමත් බලනව වගේ... දැන් එහෙනම් කට්ටිය ඒව එකින් එක අහගෙන යමු ඈ...


01. හතර වසරෙ හොර කල්ලිය

මං ඉස්සර ගමේ ඉස්කෝලෙ යන කාලෙ, ඒ කිව්වෙ මොරකැටියෙ ඉස්කෝලෙ යන කාලෙ පංතියෙ හැමදාම වගේ පළවෙනියා. එක වසරෙ ඉඳන් පහ වසර ශිෂ්‍යත්වෙ වෙනකම් වගේ ඒකට ඒ හැටි තරඟයක් තිබුණේ නෑ. අපේ පන්තියෙ හිටිය සෙට් එක අතර ජනක, හසිත්, චන්දිම, ජගත්, පුලින්ද වගේ අය මේ කතාවවට සම්බන්ධයි.

ඔන්න දැන් අපි හතර වසරෙ අරලිය පංතියෙ ඉන්න දවස් මයි හිතේ. දවසක් ඉන්ටර්වල් එකට කාල අත එහෙම හෝදල මම පිට්ටනිය පැත්තට ආවා. එනකොට අපේ හිච්චි ගැන්සියෙ කීප දෙනෙක් ඉස්කෝලෙ සියඹලා ගහ යට ඉන්නවා.මමත් ගිහින් එතැනට සෙට් වුණා.

මම ගියා විතරයි ජනකයා, හසිතයා, චන්දිමයා, ජගතයා එක පාරටම උන්ගෙ කතා බහ නතර කරා. දැන් උන් ටික ඇස් වලින් එක එකාට සිග්නල් දෙනවා.මට වැඩේ එච්චර ඇල්ලුවෙ නෑ. මොනව නමුත් මුන් මට මොකක් හරි හංගන බව මට හොඳටම ෂුවර්. ජනකයා නම් කීයටවත් ඕක මට කියන්නෑ.ඔය වගේ වෙලාවට මොකාද අල්ලගන්න ඕනි කියලා මං දන්නවා. මම හැරුණා චන්දිමයා දිහාවට.

"අඩෝ උඹලා මොකක්ද කතා කළේ...? මටත් කියපන්..."මම චන්දිමයගෙන් ඇහුවා.

"එපා, එපා චන්දිම. සම්පත්ට කියන්නෙපා...මෙයාට කිව්වොත් අපි ඔක්කොම ඉවරයි..." ඒ ජනකයා.


"ඔව්, ඔව්.කියන්නෙපා..." ඒ උල්පන්දම ජගත්ගෙන්...

"අඩෝ ඒ කියන්නෙ මට කියන්නෑනේ...?" මම බොහොම දුකින් කට්ටිය දිහාව බැලුවා.

"ඒක රහසක්. උඹ ඒක මිස් ට කිව්වොත් අපි ඔක්කොම අහුවෙනවා..."චන්දිම මට උත්තර දුන්නා.
දැන් ඉතින් මේ රහස දැනගන්නකම් මට ඉවසුමක් නෑ. මොකක් හරි නරක වැඩක් තමා.ඒකනෙ මිස්ට කිව්වොත් අහුවෙනව කිව්වෙ. 

"මම මිස්ට කියන්නෑ... ඇත්තමයි...අනේ මටත් කියන්නකෝ..." මම ආපහු බැගෑපත් වුණා.
ඔන්නොහේ මෙයාටත් කියමුදැයි අහන්න වගේ චන්දිම අනික් අය දිහා බැලුවා.

මගේ කෙළවරක් නැති ඇඬිල්ල නිසා කස්ටිය මගෙන් දිවුරුම් ප්‍රකාශයක් ගන්න ලෑස්ති වුණා.

"බුදුම්පා!!! මම කාටවත් කියන්නෑ. නෑ කිව්වොත් නෑ මයි..." මම මේ කතාව කිව්වෙ ඇත්තටම කාටවත් කියන්නෙ නෑ කියල හිතාගෙනමයි.

"අපි හොර කල්ලියක් පටන් ගත්තා..." චන්දිම කතාව ආරම්භ කළා.

"හොර කල්ලියක්...?" මගේ ඇස් ගෙඩි දෙක ලොකු වුණේ ඉබේටමයි.



"ඔව්. හැබැයි කාටවත් කියන්නෙපා. කියල තිබුණොත් උඹත් අහුවෙනවා..." කතාව ඇහුවට මොකෝ දැන් නම් මට හීන් දාඩිය දාගෙන එනවා.

"නෑ...මං කියන්නෙ නෑ..."මම වෙනසක් නොදැනෙන්න කිව්වා.

"ඉතිං අපි කට්ටිය පොඩි පොඩි දේවල් හොරකං කරනවා... ඊට පස්සෙ ඒව එකතු කරලා අපි කට්ටිය බෙදා ගන්නවා..."

"මොනවද ඉතිං අපි හොරකං කරන්නේ...?" එහෙම ඇහුවෙ මම.

"පෑන්, පැන්සල්, කටර්, මකන, සල්ලි...එහෙම". හැමෝම හොරකං කරන ඒව ගෙනත් දෙන්න ඕන.ඊට පස්සෙ ඒව අපි බෙදා ගන්නවා"
අනේ මන්දා, මුන්ගෙ ප්ලෑන අහල මට බයේ බෑ.ඒ දවස් වල කට ඇරල කුණුහරුපයක්වත් කියල නැති අපිට මොන කොරකම් ද?

දැන් මුන් මං ගැන විශ්වාසෙ තියල කියපු එකනෙ කියලා මාත් මේ ගැන කාටවත් නොකියන්න තීරණය කළා. හොරකම් කරනව තියා ඒ ගැන හිතනකොටත් මගෙ කකුල් දෙක වෙව්ලනවා. අපේ පංති භාර ස්වර්ණා මිස් දැගත්තොත් නම් අපි ඉඳල ඉවරයි. කොහොම හරි මුන්ගෙ විශ්වාසෙ දිනාගෙන මුන් එක්කම ඉන්න මට ඕනි වුණා. ඒක නිසා හොරකම් කෙරිල්ල කෙසේ වෙතත් මෙයාලගෙ රහස ‍රැකගෙන හරි ඉන්න මම හිතාගත්තා.

ඔහොම දෙතුන් දවසක් ගත වුණා.අපේ හොර භාණ්ඩ වලට පොඩි පොඩි මකන කෑලි, බාගෙට ලියපු පැන්සල්, ඉවර වෙන්න කිට්‍ටු පෑන් එහෙම කීපයක් එකතු වුණා.මට තමයි තාම හරි හමං හොරකමකින් දායක වෙන්න බැරි වුණේ.

ඔහොම ඉන්න අතරේ දවසක් ඉන්ටර්වල් එකේදි අපි ඉස්කෝලෙ සෙල්ලම් උයනේ අර මෙරිගෝ-රවුන්ඩ් කියන එක පැද පැද හිටියා.


මම එක කෙළවරක වාඩි වෙලා.තව වෙන පංති වල එවුන් දෙතුන් දෙනෙක් ඉතිරි ආසන වල වාඩි වෙලා.අපේ ඉස්කෝලෙ ලොකු පංති වල අයියලා, (ලොකු පංති වල කිව්වෙ 7 වසරෙ, 8 වසරෙ එවුන්) අපිව අරකෙ වාඩි කරවලා අපිට කරකැවිල්ල හැදෙනකම්ම කරකවනවා.ඒකෙ වේගෙට බයවෙන කොල්ලො දෙතුන් දෙනෙක් කරකැවිල්ල හැදිලා මහ හයියෙන් කෑ ගැහුවම තමා උන් කරකවන එක නවත්තන්නේ. 

ඉතින් දවසක් ඔහොම ඕකේ කැරකි කැරකි ඉන්නකොට වෙන ආසනේක හිටපු අපේ වයසෙ විතර එකෙක් කරකැවිල්ල හැදිලා කෑගහන්න ගත්තා. ඒකෙ ආතල් එකට අපේ අයියලා අදාල යන්තරේ තව තවත් හයියෙන් කැරකෙව්වා. මාත් ලෝක අමාරුවෙන් ඔලුව කැරකිල්ල දරාගෙන හිටියෙ මුන් මේක නවත්තපු ගමන් අහල පහල ගහක් බදාගෙන හරි නොවැටී ඉන්නවා කියල හිතාගෙන. 

ඔය අතරේ මම දැක්කා අර කෑගහපු කොල්ලගෙ සාක්කුවෙන් උගේ පැන්සල බිම වැටෙනවා.වෙන කවුරුත් ඒ වගක් දැක්කේ නැතුව ඇති. මට එක පාරටම අපේ අන්තර්ජාතික ප්‍රගතිශීලී  හොර සංවිධානය මතක් වුණා.මකන කෑල්ලක්වත් හොරකන් කරන්න බය තරමට ඒ දවස් වල අපේ හිත් පිරිසිදුයි.(අපේ කිව්වට අපේ නෙවෙයි,...මගේ) ඉතින් මට හිතුණා අර පැන්සල අහුලලා අපේ කල්ලියට දීලා, මගේ ස්ථානය තහවුරු කරගන්න ඕනා කියලා.


ටික වෙලාවකින් මෙරිගෝ-රවුන්ඩ් එක නැවතුණා. ඒකෙන් බැහැපු මට හත් පාරක් පෙරාපු ගමේ හොර අරක්කු බීපු ගානට කැරකැවිල්ල ඇති වුණා. ඒත් බල බල ඉඳලා බෑ.මම බිම තිබුණු පැන්සල දිහාවට ඇහැ යොමු කළා.දැන් මාව ගැහෙනවා.මේක කවුරුහරි දැකලා මිස් ට කිව්වොත් මම විනාසයි.මම ගැහි ගැහි පැන්සල ගාවට කිට්‍ටු කළා.පැන්සල අහුලගත්තා. ඊ ළඟට පණ එපා කියලා පස්ස නොබලා කෙළින්ම දිව්වෙ අපේ කල්ලියෙ මහත්වරු හොයාගෙන.

"ඉඳා..මේකත් අපේ අර බඩු ටිකට දාපං..."මම අහුලපු පැන්සල අපේ කල්ලියට භාරකළා.

"කොහෙන්ද උඹට මේක...?" කවුද එකෙක් ඇහුවා.

"මම හොරකං කරා..." මම මාර ආඩම්බරෙන් උත්තර දුන්නා.

"කාගෙන්ද...?

"කාගෙන් හරි හොරකං කරානේ..." මම ඌ දිහා ඔරවලා බැලුවා.

හොරකං කරන්න බය වුණාට බේගල් බාන්න එච්චරම බයක් තිබ්බෙ නෑ. මම හිතාමතා සැලසුම් කරල කරපු වරදක් නොවුණත් මම ඒක ප්ලෑන් කරල කරපු ගානට ටෝක් කළා.

කාලය සුට්ට සුට්ට ගතවුණා. මම දවසක් ඉන්ටවල් එකට පොඩි රෝන්දයක් ගහල, බෙල් එක ගහපු ගමන් පංතියට දුවගෙන ආවා. පංතියට ඇතුල් වෙනකොටම දැක්ක දෙයින් මට හීන් දාඩිය දැම්මා. 

මෙතෙක් කල් අපේ කල්ලිය හොරකං කරපු හොර බඩු සෙට් එකම ස්වර්ණ මිස්ගෙ ගුරු මේසෙ උඩ.අර මං අහුලපු පැන්සල් කොටෙත් ඉන්නෙ දිලිසි දිලිසි. දැන් ඉතින් මේ ඉස්කෝලෙ වසල හමාරයි. හිතා මතා හොරකං කරපු භාණ්ඩයක් නම් දුක නෑ.අරුන්ට ඇද බාපු බේගලේ දැන් ඉතින් විපාක දෙන්න යන්නේ. ස්වර්ණ මිසුත් ගෝලයො රොත්ත වට කරගෙන බලාගෙන ඉන්නෙ හරියට මම එනකං වගේ.

නඩුව විභාග වුණා. මම ඇතුලු විත්තිකරුවන් ගුරුමේසෙ ගාවට රොක් වුණා. පන්තියේ අනික් උන් කට ඇරන් බලං ඉන්නවා.

දෙයියන්ට පිං සිද්ධ වෙන්න වැඩිය සද්ද බද්ද නැතුව අපේ කන් වලට විතරක් ඇහෙන ගානට කතාබහ සිද්ධ වුණා.පංතියෙ අනික් උන් උන්ගෙ වැඩ. කල්ලියෙ මාවත් ඉන්න බව දැකලද කොහෙද මිස් දෙතුන් සැරයක් මං දිහා රව රව ඉන්නව මං බලාගෙන.

"තම තමුන් හොරකං කරපු බඩු පෙන්නනව මෙතනින්..."මිස් ගෝරනාඩුව පටන් ගත්තා. 

එක එකා හෙමින් හෙමින් ඇඟිල්ලෙන් මකන කෑලි, අඩි රූල්, පැන්සල්...පෙන්නන්න ගත්තා. මගේ පපුව වේගෙන් ගැහෙනවා. ඇස් දෙකෙන් කඳුලු පනින්න ඔන්න මෙන්න. මිස් ගෙදරට මේ වගක් කිව්වොත් අම්ම මාව, පට්ට ගහන බව මං හොඳටම දන්නවා...

හැමෝම තමන්ගෙ හොර බඩු පෙන්නුවා.දැන් මගේ වාරය. මිස් කන්න වගේ බලන් ඉන්නවා.

"කෝ...සම්පත් හොරකං කරේ මොනවද?..."මිස් එහෙම ඇහුවා.

"ම...මම හොරකං කරේ නෑ මිස්..." මම වෙව්ලන ස්වරයෙන් එහෙම කිව්වා.

ඒත් දෙයියො මට දීපු, දුකේදීත් සැපේදීත් එකට ඉන්න මගේ යාලු මිත්‍රයො මට තනිවෙන්න දුන්නෙ නෑ. එයාල බොහොම අපූරුවට මං හොරකං කරපු භාණ්ඩය මට මතක් කරල දුන්න.

"බොරු මිස් ඔය කියන්නෙ...සම්පත් තමයි ඔය පැන්සල හොරකං කරන් ආවෙ...." ඒක අහපු මිස් ගින්දර විසි වෙන ගානට රවල මගේ දිහා බැලුවා. ඇයි යකෝ, මෙච්චර හොරකල්ලියක් ඉද්දි මායි,මේ අහිංසක පැන්සල් කොටෙයි දිහා වැඩි අවදානෙකින් බලන්නෙ..?

"අනේ මං හොරකං කලේ නෑ මිස්. ඕක මම අහුල්ලෙ ඉන්ටවල් එකේ සෙල්ලම් කරද්දි... මම ඒක තමයි මෙයාලට දුන්නෙ...මම හොරකං කරා කියල කිව්වෙ බොරුවට..."

බය වැඩි කමට මගේ ඇස් දෙකෙන් කඳුලු පැන්නා. නහයට හො‍ටු පිරුණා. ඉකි ගහ ගහ අඬන්න පටන් ගත්තා. (උඹල හිතන්නෙපා, මූ ගෑණි වගේ අඬනව කියල. උඹලත් 4 වසරෙදි මොකෝ අඬල නැතුවයි...? :D ) 

මිස් එක එකාට වෙන වෙනම පලු යනකම් බැන්නා.කෝට්ටෙන් දෙක තුනකුත් තැලුවා. මොකා මොනව කිව්වත්, මං පංතියෙ හොඳටම වැඩ කරන එකෙක් නිසාද මන්ද, මං කියපු එක මිස් විශ්වාස කළා. 

"සම්පත් ආයෙ එහෙම මේ වගේ වැඩ වලට සම්බන්ධ වෙලා මට අහුවෙන්නෙපා හරිද...කොරකං කළත් එකයි, බොරු කිව්වත් එකයි....දෙකම වැරදි වැඩ.තේරුණාද...?" මිස් ඇඟිල්ල දික් කරල මට අවවාද කළා.

"හා...මිස්..." මම එහෙම කියල මිස්ගෙන් සමාව ගත්තා. 

එදා මම හිතාගත්ත ආයෙ මළත් බොරුවක්නම් කියන්නෙ නෑ කියලා (ඔය වගේ කීයක්‌ දේවල් නම් දවසකට හිතනවද...?). කොහොම කොහොම හරි අපේ හොර  කල්ලිය ඒ විදියට විසිරිලා ගියා. 

පුංචි කාළේ නොතේරුම් කමට ඕව කළාට අපි එකෙක්වත් ලොකු වෙලා හොරු වුණේ නෑ... 

මම A/L පාස් වෙලා මොර‍ටුව ඉංජිනේරු පීඨෙට තේරුණා.ජනකයි, හසිතයි යුද්ධෙ කාළෙ අපේ රට ‍රැකගන්න දිවි පරදුවට තබමින් සටන් කළ කමාන්ඩෝ සෙබලු දෙන්නෙක්. එයාල තාමත් එහේ සේවය කරනවා.
චන්දිම කොහෙදෝ ඉස්කෝලෙක P.T ගුරුවරයෙක් කියල ආරංචි.

ඉතින් ළමා කාලෙ කොච්චර රසවත්ද කියල හිතෙන්නේ මේ වගේ සුන්දර සිදුවීම මතක් වෙනකොට. ඒත් අද වෙනකන් අපිට හොයාගන්න බැරි වුනා, කවුද අපේ හොරකල්ලිය පාවාදුන්නෙ කියලා.ඌ මොකා වුණත් මට කියන්න තියෙන්නෙ "තැන්කිව් මචං කළ වැඩේට " කියල.

දෙවන පංගුව ළඟදීම ...

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

Saturday, October 6, 2012

මට නුඹ විතරක් වුණාට ...

කාලෙකට පස්සෙ මං ආස කරන ආදරේ කරන කෙනා මට ආපහු හම්බුණා. මං අවුරුදු 4ක් 5ක් එයා නැතුව හරිම දුකෙන් හිටියෙ. එයා මගේ ළඟට ගන්න මං සෑහෙන්න උත්සාහ කළත් අපේ combined maths සර් එයාව මගෙන් ගත්තා. මට එකදිගට දවසක් උනත් එයා දිහා බලාගෙන ඉන්න පුලුවන්. මම අපේ සර්ගෙන් එයාව ඉල්ලුවා. සර් එයාව දෙන්න පොරොන්දු වුණත් අද දෙන්නම්, හෙට දෙන්නම් කිය කිය කල් ඇරියා. මම කොච්චර ආදරෙන් එයාව බලාගත්තද? 

ඒ දවස් වල උදේ අවදිවුණාම ඉස් ඉස්සෙල්ලම බැලුවේ ඒ ලස්සන දිහා. වෙන අයට එයා කැත වෙන්න පුලුවන්.ඒත් මට ඔයාව ලස්සනයි. ඒ මගේ දෑතින් ඔයාව ලොකු මහත් කළ නිසා වෙන්නැති.

මම A/L කළා. කැම්පස් ඇතුල් වුණා. ඒත් මට එයාව ආයෙමත් දකින්න ලැබුණෙ නෑ. දැන් මට ඉස්සර වගේ අපේ සර් හම්බෙන්නෙත් නෑ. ඒක නිසා එයාව ඉල්ලලා සර්ට කරදර කරන්න ඉඩකුත් මට නෑ.ඒත් දෙයියනේ මම කොහොමද එයා අමතක කරන්නේ? මම අපේ නංගි අතේ සර් ට පණිවිඩයක් යැව්වා. 

"අනේ සර්, මට එයාව ඕනේ..."

සුපුරුදු පරිදි සර් කිව්වලු "හරි හරි, මං දෙන්නම්.මං ගාව එයා පරිස්සමට ඉන්නවා. බයවෙන්න එපා කියන්න..."

බය නොවී කොහොමද සර්? එයාට පොඩි හරි පලුද්දක් උණොත් මට ඉවසන්න බැරි වෙයි. මම දුන්නු විදියටම එයාව මට ආපහු ඕනේ. 

දවස් ගත වුණා. ..

"අයියෙ, අයියෙ...සර් අද මට ඔයාගෙ චිත්‍ර ටික දුන්නා..." නංගි මෙහෙම කියද්දි මට දැණුනු සතුට. 

මම ඉස්කෝලෙ යන කාලෙ වරු ගනන් එක දිගට සමවැදිල වගේ සිත්තම් කරපු සිතුවම්!!! 

මගේ හිතේ ඒ චිත්‍ර ටික තාම තිබුණත් අතින් අල්ලන්න කොච්චර ආසාවෙන්ද හිටියෙ? දැන් ඉස්කෝලෙ යන කාලෙට වඩා දැනුමින්, නුවණින් අපි වැඩිලා. ඉතිං ඒ කාලෙ කරපු නිර්මාණ වල අඩුපාඩු දැන් වෙනදාට වඩා දැනෙනවා.පේනවා. ඒත් වයසෙ හැටියට ඒ මදැයි.  

මේ තියෙන්නෙ මම ඒ ආදරෙන් හදා වඩා ගත් සිත්තම් ටික. පැන්සල විතරයි මං පාවිච්චි කළේ. තුඩ මහත B4 පැන්සල. ඇන්දෙ 'කොන්කරා' කියන කඩදාසියේ. 

දැන් ඉතිං චිත්‍ර බලල හොඳ ළමයි වගේ අඩු පාඩු එහෙම යට කොමෙන්ට් එකක් හැටියට දාල යනව හොඳයි. 


 01 
02

03
04


තමන් වැඩියෙන්ම හිත් ගත්තු පින්තූරෙත් කියල යන්න. මං හිතං ඉන්නේ කමෙන්ට් දාන අයව දිනුම් ඇදලා ඒ එක්කෙනෙකුට තමන් වැඩියෙන්ම කැමති කිව්ව චිත්‍රෙ තෑගි කරන්ට... :D

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

Friday, September 28, 2012

දිනෙන් දින වළ පල්ලට යන රටේ නීතිය

රටේ නීතිය ගැන අපි වගේ පොඩි උන්ට කතා කිරීමට සිදුවීම බලවත් ලැජ්ජාවකි. එහෙත් එය එසේ සිදුවන තැනට කටයුතු යෙදී තිබේ. රටේ අධ්‍යාපනය ‍රැක ගැනීමට මහමඟට බැස උගුර ලේ රහ වනතුරු මතු පරපුර වෙනුවෙන් කෑ ගසන සිසුනට නීතිය අකුරටම ක්‍රියාත්මක වේ. ඒ අතර රටේ ජාතික දේපොළ කාබාසිනියා කරමින් හොරකං කරන  කාලකන්නි හැතිකරේට වෙනමම නීතියක් බලපැවැත්වෙනු දැකිය හැක. මේ කියන්නට යන්නේ වෙන කිසිවක් නොවේ. එවන් දේ රටේ ඉහලම තැනත් ඉහලින්ම ක්‍රියාත්මක කරන බව මනාව පෙන්වන කතාවකි.

ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ ගැන බොහෝ දෙනා වෙබ් අඩවි වලින් අසා ඇතුවාට සැක නැත. ඔහු බොහෝ දේශපාලන හිතවතුන් සිටින අයකු බව අමුතුවෙන් කිවයුතු නැත. මොවුන් හට ක්‍රියාත්මක වන්නේ රටේ සාමාන්‍ය සිවිල් ජනයාට ක්‍රියාත්මක වන නීති රීති නොවේ.

අද හැන්දෑවේ වැරදීමකින් වාගේ රටේ ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන මාධ්‍යයේ(මාධ්‍යක) පුවත් විකාශය දැක්කෙමි. බැලුවා නොවේ, දැක්කෙමි. එහිදී රටේ නායකයා හා මාධ්‍ය නිළධාරීන්ගේ හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වීම පිළිබඳ රස කරමින් කතා කරනු දක්නට ලැබුණි. විශේෂත්වය එය නොවේ.
අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට සිටින සුදර්මන් රදලියගොඩද අරලියගහ මන්දිරයේ ජනාධිපති උතුමන් හා සාකච්ඡා පවත්වමින් සිටීමය.





සුදර්මන්ට වරෙන්තු නිකුත් වුණේ අද ඊයේ නොවේ. ඒ 2011 වසරේ ජූලි 19 වනදාය.දැනට වසරකුත් මාස 2ක් ගතවී අහවරය. සමහර විට සුදර්මන්ට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට ඇති බව රටේ ඉහල තැන හාන්කවිසියක් නොදන්නවා විය හැක. එහෙමත් නැත්තන් ඇඟේ ගෑවී ගෑවී උන්නත් සුදර්මන් අරලියගහ මන්දිරයට ආ වගක් එතුමන්ලාට මීටර් නොවන්නට ඇත.

මේවා කියන විට සුදර්මන් කර ඇති වරද කුමක්දැයි සමහරෙක් අසනු නිසැකය. පසුගිය කාලය තුල වෙබ් අඩවි මඟින් පුන පුනා එතුමන්ගේ හපන්කම් විස්තර කර දෙන ලදී.

එය ආයෙත් මතක් කර දෙනවා නම් මෙසේය.

''සුධර්මන් විසින් ටෙලිකොම් ආයතනයෙන් ඉවත්කළ පරණ යකඩ ටොන් 1828 ක් ලක්ෂ 60 කට ලබා ගැනීමේ බලපත්‍රයක් වෙනත් පාර්ශවයක් වෙත විකුණා ඇත.

එම බලපත්‍රයේ සුධර්මන්ගේ නමද සඳහන්ව ඇති අතර රුපියල් ලක්ෂ 15 ක් අත්තිකාරම් මුදලක් ගෙන එය අනෙක් පාර්ශවය වෙත පවරා ඇත්තේ නීතිඥවරයෙකු ඉදිරිපිටදීය.මේ නිසා කිසිදු සැකයකින් තොරව බලපත්‍රයට මුදල් ගෙවීමට දෙවන පාර්ශවය කටයුතු කර ඇත.

පසුව මෙම බලපත්‍රය ලබාගත් දෙදෙනා පරණ යකඩ තොගය ගෙන ඒමට ටෙලිකොම් ආයතනය වෙත ගොස් ඇත. එහිදී බලපත්‍රය පරික්ෂා කිරීමේදී ටෙලිකොම් සමාගම ප්‍රකාශකොට ඇත්තේ එම බලපත්‍රය ව්‍යාජ එකක් බවත් එවන් ලියවිල්ලක් ඔවුන් නිකුත් කලේ නොමැති බවත්ය.

ටෙලිකොම් සමාගම විසින් මේ පිළිබඳව කොටුව පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ බලපත්‍රය මිලදී ගත් අය අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත.ඒ ව්‍යාජ ලේඛන සකස්කොට ටෙලිකොම් සමාගමෙන් යකඩ ගැනීමට තැත් කළේයැයි යන චෝදනාව මතය.

පසුව කල හෙළිදරව් වලදී සුධර්මන් රදලියගොඩ අදාළ බලපත්‍රය විකුණු බවට හෙළිවී ඇත.

සුධර්මන්ගේ පළමු වංචාව මෙය නොවේ.නීතිවිරෝධීආකාරයෙන් මුදල් ඉපයීමට සුධර්මන් මෙයට පෙර අවස්ථා කීපයකදීම කටයුතු කර ඇත.තරුණයන් කොරියාවට යවන බව රවටා ඔවුන්ගෙන් මුදල් ගැනීම මෙයට පෙර ඔහු විසින් සිදු කරන ලද එක වංචාවක් වේ." (තොරතුරු : Gossip9)






මෙච්චර හරියක් කරලාත් මොහුව අත් අඩංගුවට ගන්නට කොන්දක් ඇති පොලීසියක් අප සතුව නැතිවීම කණගා‍ටුවට කරුණකි.

මොහුව අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි අධිකරණය විසින් පුන පුනා විමසද්දී, ඒවා හමුවේ බලධාරීහු මුණිවත රකිති. එහෙත් සාමාන්‍ය සිවිල් වැසියෙකු රෑට වෙළඳ සලකින් හොරෙන් බල්බ් එකක් ගලවාගෙන ගියත් එය CCTV කැමරා ඔස්සේ පටිගත වී තිබූ අයුරු පසුදින ප්‍රවෘති විකාශ වලින් රටටම දැක ගැනීමට සලස්වන අතර පසුදිනම ඔහුව මොන ගුබ්බෑයමේ හිටියත් කරටියෙන් අල්වාගෙන විත් උසාවියට ඉදිරිපත් කොට දඬුවම් කිරීමට තරම් අපේ පොලීසිය දක්ෂය. එහෙත් මාලකලා, සුදර්මන්ලා ඉන්න තැනක් තාම පොලීසියකට හොයාගන්න බැරි වුණේ මන්දැයි ගැටලුවකි. එක් අතකට පොලීසියේද වරදක් නැත. අකුරට රාජකාරි කරන්නට යන පොලිස් නිළධාරීන්ට වෙන දේවල් රටේ පොඩි එකා පවා දන්නේය. එහෙනම් වරද රටේ මස්තබාල්දු දේශපාලුවන්ගේය. නැත, නැත. එහෙම කියන්නත් බැරිය. ඒ ඔවුහු එතනට ගියේ අත උස්සලා නොවන බැවිණි. ඒ උඹලා, අපේම මනාප, ඡන්ද වලින් වීම නිසාය. එසේ නම් හොඳ සහසුද්දෙන් මේවාට බැනගත යුත්තේ අපටමය. ස්ත්‍රී දූෂන රෙකෝඩ් තැබූ සුනිල් නැමත්තා ඊයේ පෙරේදාත් වැඩිම ඡන්ද ලබමින් මන්ත්‍රී අසුනට පත් වූයේ එබැවිනි.

රටේ නීතිය බල්ලාට ගොස් ඇති බව කීමට මීටත් වඩා කවට නාට්‍ය කුමටද? අරෙහේ මරුවින් සිල්වාලා පිස්සු කෙළිති. මාලක සිල්වා ඔලුව පැලෙන්නට නෙලුවා කියා රෝහල්ගත වී සිටි මේජර් තුමන්ට එසේ කියවුණේ කම්පනයටලු. පේනා පරිදි ඔහු විසින්ම ඔහුට අම්බානකට නෙලාගෙන තිබේ.
දැන් මාලකලාට දඬුවම් කිරීම පසෙකලා මේජර් ට සිය රස්සාව බේරා ගැනීමේ සටනක නිරත වීමට සිදුව තිබේ.

දුමින්ද සිල්වාට මුල්ලේරියාවේ වෙඩි තැබීම හැර අනෙක් දේවල් මතකලු. දැන් එය රටේ පොඩි එකාගේ පවා ස්ටයිල් එක වී තිබේ. අම්බානකට ගුටි ඇනගෙන ටීචර් ගාවට යන එක පොඩි එකෙක්

"ටීචර්. මෙයා මට ගැහුවා..." යයි පැමිණිලි කරයි.

"ඇත්තද මේ කියන්නේ? ..."ටීචර් අසයි.

ඔලුව කසමින් සිටින පහරදුන් සිසුවා "මට කිසි දෙයක් මතක නෑනේ ටීචර්" යයි කියයි. මේ පසුගියදිනක ෆේස්බුක් අඩවියේ දක්නට ලැබුණු දෙබසකි.

ඒ අතරේ ස්ත්‍රී දූෂණ සිදු කරමින් රෙකෝඩ් තැබීමේ ආසාවෙන් පෙළෙන මන්ත්‍රීවරුන් ගැනද වාර්තා විය. එකවර ස්ත්‍රීන් කීප දෙනෙකු සමග යහන්ගත වීමේ බලාපොරොත්තුවත් ජයගත් ඒ මන්ත්‍රීතුමාට අපේ ආචාරය.

කහවත්තේ පිට පිටම සිදුවූ ද්විත්ව කාන්තා ඝාතන පි‍ටුපස නවතම කතාව ඇසුවාම හිනා යන්නේය.. මුල් ඝාතන සිදුකරනු ලැබූ ජෝන් සෙනවිරත්න ඇමතිතුමාගේ සම්බන්ධීකාරක ලේකම් ධර්මසිරි එය වෙනත් කල්ලියක වැඩක් බව හැඟවීමටත් ඔවුන් විසින් කළ ඝාතනය මිනිස්සුන්ට අමතක වීමටත් ඒ ජාතියේම ඝාතන ‍රැල්ලක් පවත්වාගෙන ගිය බව දැන් කියැවේ.

අපි මේ කොමඩි බලා දැන් හෙම්බත් වී සිටිමු. එහෙත් මේ කොමඩි වල ආරම්භය පමණක්දැයි කිව නොහැකේ කාටද?

මම පසුගිය ජනාධිපතිවරණයේදී හා තවත් මැතිවරණ කීපයකදී වත්මන් ආණ්ඩුවට පක්ෂව ඡන්දය දුන් අයෙක්මි. ඒ අපේ අම්මලා, තාත්තලා උන්ට ඡන්දය දෙන පුරුද්දට අනූව යමින් නම් නොවේ. දශක ගනණාවක් පුරා රටේ දැවෙමින් පැවති යුද්ධය නිම කිරීමට ආණ්ඩුව සමත්කම් දැක්වීම ඇගයිය යුත්තේය. යුද්ධය ජයගත්තේ හමුදාව නේදැයි යමෙකුට තර්ක කළ හැක. නමුත් එය එක් පාර්ශවයක පමණක් තනි කාර්යය භාරයක් නොවේ.

යුද්ධය දිනන්නට හොඳ හමුදාවක් වගේම හොඳ දේශපාලන නායකත්වයක් අවශ්‍යය. වාසනාවකට මෙන් මේ දෙකම පෑහීම නිසා යුද්ධය දිනන්නට හැකි විය. එහෙත් සදාකල් යුධ ජයග්‍රහණ මත යැපෙමින් ආණ්ඩුවට අත පිස දා ගත නොහැකිය.

අපි රටේ අනාගතය ගැන විවෘත ඇසකින් බැලිය යුතුය. පරම්පාරාව ඡන්දය දෙන්නේ අහවල් පක්ෂයට කියා, ඒ අනූව යමින් ඡන්දය භාවිතා කිරීම අනුවණ කමකි.

අපි පොඩි කාලේ ඉගෙනගත් පරිදි රටක ප්‍රභල විපක්ෂයක් සිටීම එරටේ සංවර්ධනයට සෘජුවම බලපායි. ප්‍රභල විපක්ෂයක් නොසිටීම බෙහෙවින් අනතුරුදායක තත්වයකි.දැන් අප මුහුණ පාමින් සිටින්නේ එකී ව්‍යසනයටය.ඇතැම් තැනක ආණ්ඩුව 60% ටත් වඩා ඡන්ද ලබාගනිද්දී විපක්ෂය 40% ත් අහිමි කරගෙන සිටිති. රටට කොච්චර කෙළ වුණත් පුරුද්දට සුපුරුදු පක්ෂයටම ඡන්දය භාවිතා කරන මිනිසුන්ගෙන් මෙරට ස්වයංපෝෂිත වී ඇති බව පෙනේ. ආණ්ඩුවක් හරි මගට ගැනීමට නම් විපක්ෂයද ප්‍රභල කළ යුතුය. එවිට ආණ්ඩුවට අත්තනෝමතික ලෙස රාජ්‍ය පාලනය ගෙනයා නොහැකිය. මක්නිසාද ඔවුනටද ආණ්ඩුව ‍රැකගැනීමේ අවදානමක් ඇති බැවිණි. නමුත් වර්තමානයේ උද්ගතව ඇත්තේ විපක්ෂය හීන වී යෑමේ තර්ජනයකි. විපක්ෂය හොඳ වුවත් නැති වුවත් ආණ්ඩුව යහමගට ගැනීමෙහිලා විපක්ෂයට සහය දැක්වීමට සිදුවන අවස්ථා එලැඹේ.

මේ බුද්ධිමත්ව සිතීමට සිදුව තිබෙන කාලයයි.

මොකාට නීතිය ක්‍රියාත්මක නොවුණත් මේ බ්ලොග් එකෙන් අහවලාට අපහාස වුණා යයි කියමින් මට නීතිය ක්‍රියාත්මක වන්නට ගියහොත් කිසිවෙකුත් පුදුම නොවිය යුතුය.

හෙට අනිද්දාට සුදු වෑන් එකකින් මාව ට්‍රිප් එකක් එක්කන් යන්නටද බැරි නැත. එහෙම කළාට කමක් නැත. හැබැයි වරෙන්තු පිට සිටින සුදර්මන්ලාට නීතිය ක්‍රියාත්මක නොකරන පොලීසිය, පුංචි මාව අත් අඩංගුවට ගන්නවානම් කලිසම් ගලවා අපේ වැටේ වනා ඒ කර්තව්‍යට ඒම මැනවි. මොකද විලිලැජ්ජාවක් ඇති නිළදාරියෙකුට එහෙම නැතුව ඒ වැඩේ කළොත් හරි නැති බැවිනි.

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

Friday, September 21, 2012

'චාරිකං ගාමංච ෆන් අභය භූමිං' - අපේ උඩවලවේ චාරිකාව

හායි ගයිස්, ඇක්චුවලි මම මේ ලියන්නෙ අපි ගිය සතියෙ ගියපු පට්ටම පට්ට fun ට්‍රිප් එකක් ගැන. මේක බලන උඹලටත් මේ ජාතියෙම ට්‍රිප් එකක් යන්න ආස හිතෙන එක මට හොඳටම සුවර්.මක්කටැයි තව කතා...මෙන්න කතාව.

ට්‍රිප් එක ගියේ අපේ IronOne කොම්පැනි එකේ training ඉන්න අපි 15 දෙනා තමයි. අපි කිව්වෙ මම,මාලක,පැතුම්, වාස්,සංඛ, අකිල,අරුණ,මාධව,විසිත,ශාක්‍ය ,මංජුල හා කෙල්ලොන්ගෙන් හසිනි,බුද්ධි,සඳරේඛා සහ මාධවී තමයි.

ට්‍රිප් එක ගියේ උඩවලව, ඇඹිලිපිටිය හා ඒ අවට ස්ථාන කීපයක. මගේ වාස භූමිය ඇඹිලිපිටිය නිසා ට්‍රිප් එක සංවිධානය කිරීමේ භාරදූර වගකීම පැවරුණේ මට.ඔන්න දවස් ගාණක් මහන්සි වෙලා ට්‍රිප් එක arrange කරගත්තා.

පළමු දවස
01. බෝපත් ඇල්ල (උදේ ආහාරය එතැන)
02.රත්නපුර සමන් දේවාලය.
03.කොස්වැටිය සමනල පුදබිම
04.දිවා ආහාරය - ඇඹිලිපිටිය සැනාරා රෙස්‍ටුරන්ට්
05.මඩුවන්වෙල වලව්ව
06.ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව - ක්‍රීඩා කිරීම/ නෑම / බෙලිමල් සමග හකුරු / ඉරිඟු
07. රාත්‍රී ලැගුම් ගැනීම (බකිංහැම් මාළිගාවේ හෙවත් අපේ ගෙදර)

දෙවන දවස

01.උඩවලව ජාතික වනෝද්‍යානය - සෆාරි - උදේ ආහාරය කැළෑව තුළ
02. අලින්ට කිරි දීම නැරඹීම
03. දිවා ආහාරය - වැව් මාළු බුෆේ
04. නෑම - සුදුගල ජලාශය(කොස්වැටිය-පල්ලෙබැද්ද)
05. ආපසු ඒම

ඔන්න ඉතින් වැඩ කටයුතු සංවිධානය වුණේ ඔහොමයි.

උදේ 5.15 ට විතර මොර‍ටුව කැම්පස් ළඟින් පිටත් වුණු අපේ සෙට් එක මාවත් දාගෙන 5.45 විතර මහරගමින් ගමන ආරම්භ කළා. උදේ 7.30 විතර වෙනකොට  අපි කුරුවිට බෝපත් ඇල්ල ගාවට ළඟා වුණා. කුරුවිට නගරයට ඇවිත් කිලොමීටර 3ක් 4ක් වගේ ඇතුලට යනකොට බෝපත් ඇල්ල නැවතුම් පොළ හමුවෙනවා.


ඇතුල්වීමේ ස්ථානය

වාහනෙන් බැහැලා අපි ඇතුල්වීමේ දොර‍ටුවෙන් රුපියල් 20 tickets අරගෙන අදාල තැනට ගියා. බෝපත් ඇල්ලට යන්න තියෙන්නේ දනහිස ගාවට විතර වතුර තියෙන පුංචි ගඟක් තරණය කරලා.අපි ඉතින් කන්න ගෙනා කෑමත් අරන් ඒ ගඟ එගොඩවෙලා ඇල්ල ළඟට කිට්‍ටු වුණා.


ගංඟා තරණය

ඇත්තටම බෝපත් ඇල්ල මාරම ලස්සනයි. උඩ ඉඳලා පහලට කඩා වැටෙන වතුර පාර සුදු පාට දුමක් වගේ වටේම පැතිරිලා ගියා. එදා තරමක් වැස්ස දවසක් නිසාත්, වෙනදාට වඩා වතුර වැඩි බව පෙනුණු නිසාත් බොහොම පරිස්සමින් ගලෙන් ගලට අඩිය තියමින් දිය ඇල්ල ළඟටම ගියා. එතැනට ගිය අපේ සෙට් එක මෙලෝ සිහියක් නැතුව ෆොටෝ ගහනවා.  මේ තියෙන්නෙ අපේ කැමරා වලට හසුවුණු ඒ දර්ශන වලින් කීපයක්.


දියඇල්ල පාමුලට 


සුන්දර බෝපත් ඇල්ල

ඉතින් මෙහෙම ඉඳලා අපි ඒ සුන්දර දිය ඇල්ල ගාවදී සකස් කරගෙන ගිය උදේ ආහාරයත් ගත්තා.
ආයෙමත් පොද වැටෙමින් වැස්සක් එන ලකුණු පෙනුණු නිසා අපි තවත් වෙලා ප්‍රමාද නොවී බෝපත් ඇල්ල ළඟින් පිටත් වුණා.


මේ ඉන්නේ අපේ කොම්පැනි අංගනාවෝ (හරි වදේ එයාලගේ පොටෝ බ්ලොග් එකේ දාන්ට කියල)

මී ළඟට අපි ගියේ රත්නපුර සමන් දේවාලයට. එයට තරමක් ඈතට දිවුණු ඉතිහාසයක් තියෙනවා. නඩේ ගුරා කියන හැටියට එහි ඉතිහාසය මෙසේය.

"දඹදෙණි යුගයේ රජකම් කල පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ සෙනවියෙකුවු ආර්ය කාමදේව, රත්නපුර ප්‍රදේශයට මැණික් ගැරිම සදහා පැමිණ ඇත.
මැණික් ගැරිම සාර්ථක වුවහොත් දේවාලයක් ගොඩ නගා සුමන සමන් දිව්‍යරාජයාගේ ප්‍රතිමාවක් එහි තැම්පත් කරන බවට ඔහු දිවුරා ඇති අතර ඔහුගේ අපේක්ශාව ඉටුවිමෙන් පසුව ඔහු විසින් පොරොන්දුවු පරිදි දේවාලයක් කරවා ඇත.
1505දි පෘතුගිසින් විසින් එම දේවාලය විනාශ කර එතනම ශාන්ත සැල්වදෝර් නම් පල්ලියක් ඉදිකර ඇත.
ඉන් පසුව වසර 1660දි දෙවන රාජසිංහ රජතුමා ව්සින් එම පල්ලිය විනාශ කර නැවත දේවාලය ඉදිකර ඇත. වර්ථමානයේ දක්නට ලැබෙන්නේ එම සමන් දේවාලයයි."



රත්නපුර සමන්  දේවාලය

ඉතින් සමන් දේවාලය වැඳපුදා ගත් අපට එහි තිබෙන වැඩෙන ගල් පැළයත් දැකබලාගන්න හැකි වුණා. එම ගල් පැළය හෙවත් ගල කාලයත් සමග ගසක් ලෙස වැඩෙන්නේලු. එය ඇත්තටම ඇඟිල්ලක් තරම් සිහින්ව අඩි කීපයක් උසට වැඩී තිබුණා. මේ තියෙන්නේ ඒ ගල් පැළය තමා. (ඡායාරූපය හිමිකම www.nadegura.com)


ගල් පැලේ

මී ළඟට ආයෙමත් වෑන් එකට නැගගත් අපි ඇඹිලිපිටි පැත්තට පිටත් වුණා. ඒ යන අතර සිංදු කියමින් විහිලු තහලු කරමින් ගිය ගමන ඇත්තටම රසවත්.

අපේ මී ළඟ නැවතුම්පළ වුණේ රත්නපුරේ සිට පැයක් පමණ ගියතැන හමුවන 'සමනල පුදබිම'.


සමනල පුදබිම

එතැන නම් කාටත් වගේ අලුත් තැනක්. මෑතකදී ඉදිකිරීම අරඹපු සමනලපුදබිම පිහිටා තියෙන්නෙ රත්නපුර-ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය අයිනෙම තමයි.පල්ලෙබැද්ද නගරය පහු කළාම ඕන්නම් විනාඩි 10ක් යාවි. මෙතැන හරිම ලස්සනට හදල තියෙන රහතන් වහන්සේලාගේ පිළිම රාශියක්ම තියෙනවා.


ඉදි කරමින් පවතින රහතන් වහන්සේලාගේ පිළිම

පොඩි කඳුමුදුනක වගේ පිහිටලා තියෙන නිසා උඩට නැග්ගම ඈත පරිසරය ගොඩාක් ලස්සනට පේනවා. ටිකක් විතර මහන්සි වෙලා හිටපු අපි සමනල පුදබිමේ සිසිල් සුළඟ විඳිමින් ගෙනාපු පොඩි පොඩි කෑම ජාති එහෙම කාල මීළඟට කෙළින්ම ඇඹිලිපිටි බලා පිටත් වුණා.


ඈත පේන්නේ මෙහෙමයි 

ඒ අතරමග තිබෙන තැඹිලි ,දිවුල්, කොමඩු වගේ පළතුරු කඩ දැකපු අපේ අංගනාවො සෙට් එකට තැඹිලි බීමේ දොළදුකක් ඇති වුණා. ඉතින් වාහනේ නවත්තලා අපි රසම රස තැඹිලි වලින් ගමන් මහන්සිය සෑහෙන දුරට නිවා ගත්තා.


"" තැඹිලි බීමේ දොළදුකක් ඇති වුණා"

අපේ දිවා අහාරය සඳහා නැවතුපළ වුණේ ඇඹිලිපිටියේ 'සැනාරා ගිමන්හල' හෙවත් 'සැනාරා රෙස්‍ටුරන්ට්' එක. ඒක මෑතකදි ඇඹිලිපිටියෙ ඉදි කළ ඉතාමත් ලස්සන ස්වාභාවික පරිසරයක පිහිටි සුන්දර ස්ථානයක්.

වෙල්යායක් මැද ඉදිකරන ලද ගිමන්හල ඉදි කරල තියෙන්නෙ එතැන තිබුණු විශාල ගස්වත් කපා ඉවත් නොකර.ගස් කීපයක්ම වහල තුලින් උඩට වැඩී තිබීම නිසා එහි අලංකාරය තවත් වැඩියි. ඉතින් එතැනින් අපේ සෙට් එක බුෆේ බත් ඇතිවෙන්න කෑවා.


දවල්ට කාපු ලන්ච් එක 

ඉතාමත් රසට උයලා තියෙන කෑම වල ගාණත් පහසුයි. චිකන් සමග රයිස් ඇන්ඩ් කරී ඇති තරම් කන්න රුපියල් 200 යි. ගෙනියන්න ගන්නවනම් 150යි. එළවලු කෑම බුෆේ නම් 130යි. ඉතින් අපි හැමෝම අපිම බෙදාගත්තු බත්පතේ රස වින්දෙ හරිම සතුටින්.

කාල බීල ටිකක් කතා බහ කරකර එතැන ඉන්නත් කිසිම බාධාවක් නෑ. එතැනම තියෙන කුඹුරෙන් හමාගෙන එන සිසිල් සුළඟ නිසා දැනුනු සනීපෙත් කියල වැඩක් නෑ.හැමෝම කතාවුණේ එතැන හදල තිබුණු විදිය හරිම ලස්සනයි කියලා...

මී ළඟට අපි මඩුවන්වෙල වලව්ව බලන්න යන්න පිටත් වුණා. ඒකට ඇඹිලිපිටියෙ ඉඳන් විනාඩි 30ක් විතර පනාමුර පාරෙ යන්න වෙනවා.හරියටම කිව්වොත් කිලෝමීටර 25ක්. මෙතන අපේ ට්‍රිප් එකේ fun වැඩිම තැන් වලින් එකක්. මඩුවන්වෙල අදිකාරම ගැන නොදන්න පොඩි එකෙක්වත් නැහැයි කියල මං හිතන්නෙ. කස්ටියගෙ දැනගැනීමට පොඩ්ඩක් විතර කියන්නම්.


මඩුවන්වෙල වලව්ව 

"මඩුවන්වෙල මහා දිසාවගේ මුත්තාගේ යුගය ක්‍ර.ව. 1700 පමණ තෙක් දිව යයි. දිසාවගේ මුත්තා 11 වන විමලධර්ම සුරිය රජුට ආයුධ සපයා ඇත. ඔහු වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක නම් අයෙකි. ඔහුට කොඩිතුව්ක්කු නම් නිලනාමය රජු වෙතින් ලැබී ඇත. මඩුවන්වෙල නින්දගම ඔහුවෙත ලැබුනේද විශේෂ හේතුවක් මුල්කරගෙනය. එනම් විමලධර්මසූරිය රජු දඩයමේ ගිය ප්‍රදේශය සූරියකන්දය.

මෙම ප්‍රදේශයේ ගෝනෙකු සිටින බව රජුට ආරන්චි විය. මෙම ගෝනා පන පිටින් අල්ලා ගෙනවිත් දෙන කෙනෙකුට ගම්වරයක් පිරිනම්නේයයි රජු දැන්ම් දුන්නේය.

මෙහිදී මෙම ගෝනා ඇල්ලීමේ අභියෝගය භාරගැනීමට කොඩිතුවක්කු නිලමේ ඉදිරිපත් විය. ඔහු සුදු ගෝනා පනපිටින් අල්ලා රජුට භාරදීමේ කටයුත්ත ඉටුකිරීමේන් අනතුරුව මහත් ප්‍රීතියට පත් රජු මඩුවන්වෙල නින්දගම සන්නසකින් ඔහු වෙක භාර දෙන ලදී.


 II වන විමලධර්මසූර්ය රජු ලබාදුන් නින්දගමේ මේ ආකාරයට මෙම ස්ථානයේම වලව්ව සෑදිමට විශේෂ හේතුවක් වී ඇත. කැලයේ සිට හාවකු නරියෙකු පසු පස ලුහු බැද විත් මෙම ස්ථානයේදී හාවා නැවතී ඇත. ඉන් පසු නරියා බිය වී ආපසු කැලයට දිව ගොස් ඇත. ඒ ආකාරයෙන් මෙය ජය භූමියක් ලෙස සලකා වලව්ව ගොඩනැගීමට තීරණ කර ඇත.


මඩුවන්වෙල දිසාව උසින් ඉතා අඩු පුද්ගලයෙකි. වලව්ව ආලින්දයේ ලී කැටයම් වලින් අලංකාර කරන ලද රාමුවක් මත ඔහුගේ ජීවමාන ජායා රූපය තබා ඇත. ඔහුගේ උස අඩි 4 අගල් 08 ක් වෙයි. ඔහුට පමණක් සෑහෙන පරිදි වලව්ව තුල උළුවහු සියල්ල අඩි 05 පමණ වන සේ නිර්මාණය කර ඇත. 



මඩුවන්වෙල මහ දිසාව

එපමණක් නොව වලව්වට පිවිසෙන ගලින් නිමකල ප්‍රධාන තොරන් නිමවා තිබුනේද දිසාවේ අශ්වයාගෙ පිටින් පැමිණෙන විට නොවදින පරිදි වන අතර සුදු ජාතිකයින් පැමිණෙන විට හිස පහත් කර පැමිණිය යුතු අයුරින් මෙම සියළු තොරන් හා වලව්වේ උළුවහු සහ ඇතුළුවීමේ දොරටු සකසා ඇත. 

මඩුවන්වෙල දිසාව යනු කිසි දිනෙක ඉංග්‍රීසි ජාතිකයින් කිසිදු තැකීමකට ලක් ‍නොකල අයෙකි. හිරු නොබසින අධිරාජ්‍යයේ ඒකාධිපතිනිය වූ මහරැජිනගේ අනට කීකරු නොවු ඔහු ඇයට ගරු නොකලේය. 

වලව්වේ බිම් සැරසිල්ලට මහරැජින‍ගේ රුපය පෑගීමට සලස්වා ඇති අයුරු එයට කදිම නිදසුනකි. බිමට අල්ලා ඇති මාබල් අතරට පිඟන් කුඩුකර ඒවායෙන් ලබාගත් රැජිනගේ රූප මාබල් අතරින් අල්ලා එහි යන එන අයගේ පයට පෑගීමට සලස්වා ඇත. 


"  රැජිණගේ රුව පෑගීම පිණිස"
අධිරාජ්‍ය විරෝදී කැරලි සංවිධානය කල ඔහු ඉංග්‍රීසි ජාතීන්ට නොයෙක් විට පහර දීමටද පෙළඹී ඇත. ඉංග්‍රීසි ජාතිකයින් කීප විටක්ම පහර දි වලව්ව විනාශ කිරිමට උත්සහ කළද එවා ව්‍යර්ථ විය. ඊ‍ට ප්‍රතිචාර ලෙස දිසාව විශාල පිරිසක් සමග ගොස් කටුවන බලකොටුවේ ඉංග්‍රීසීන්ට පහර දී එහි ප්‍රධාන දොරටුවද ගලවාගෙන පැමිණ ඇත." (තොරතුරු ගත්තේ මෙතැනින් ) 


මඩුවන්වෙල වලව්ව තුළ අධිකරණ ශාලා, පිරිත් මණ්ඩප, නිදන කාමර, කෑම කාමර, අප්පුලා අශුද්ධව සිටින කාමරය, නාන කාමර, කොණ්ඩෙ පීරණ ස්ථානය, සිර මැදිරි ආදී වශයෙන් ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවා බලලා අපි 4 ට විතර එතැනින් පිටත් වුණා.

අදට අපේ ගමන් බිමන් අවසානයි.අපි ඉතින් මී ළඟට ඇඹිලිපිටියෙ චන්ද්‍රිකා වැවට ගියේ පොඩ්ඩක් සෙල්ලම් කරලා නාගෙන කට්ටියත් එක්කම අපේ ගෙදර යන්න හිතාගෙන. ඇත්තටම වැව ළඟ හරිම විනෝදයි. weekend එක නිසා වෙන්නැති එදා සෙනඟත් ගොඩක්ම හිටියා.අපි ඉතින් team දෙකකට බෙදිලා cricket ගැහුවා. දෙයියනේ කියලා මම නායකත්වය දුන් පිළ ගහපු මැච් දෙකම පරාදයි. ගමටම ඇවිත් මට ගහල යන එක ලැජ්ජාවක් වුණත් එවෙලෙ කලුවර වැටෙමින් තිබුණු නිසා කාටවත් මගෙ මුහුණ පෙනුණෙ නෑ.

කොහොම කොහොමහරි අපි සෙල්ලම් කරලා ඇති වෙනතුරු වැවෙන් නෑවා. දැන් හොඳටම කලුවරත් වැටිලා.ඔය අතරේ මගේ ආදර කතාවේ නදී අපිට ගොඩක් උදව් කළා. ඇය අපිට ඒ වෙලාවේ බෙලිමල් සමග කිතුල් හකුරු ගෙනැවිත් දුන්නා. තම්බපු ඉරිඟුත් ඇය ගානෙම තමයි.

අපි බෝල ගහන අතරේ හොරෙන් ඉරිඟු කන කතුන් 
ඉතින් නාගෙන වැව් තාවුල්ලෙ  ඉඳගෙන අවට සුන්දරත්වය විඳිමින් තොල ගෑ බෙලිමල් කෝප්පෙ රසනම් කවදාවත් අමතක වෙන එකක් නෑ.

මේ එදා චන්ද්‍රිකා වැව ළඟ හැන්දෑව අපේ කැමරා වලට හසුවුණු අයුරු(අපේ කැමරාව කිව්වට හසිනිගෙ කැමරාවට)

සැන්දෑවේ වැව
අනේ මන්දා  :p
රෑ බෝ වුණු නිසා අපි ඉක්මනින්ම අපේ බකිංහැම් මාළිගාවට පිටත් වුණා. ගෙදර ගිහින් ඉතින් අපි විහිලු තහලු කරමින් කාඩ් ක්‍රීඩා කරමින් රාත්‍රිය විනෝදෙන් ගතකළා.

අපේ අම්මා ඉතින් අපි හැමෝටම බොහොම සතුටින් කන්න උයලා දුන්නා.පහුවදා උදේ පාන්දර 5ට අපි සෆාරි යන්ට පිටත් වෙන්න ඕනෑ නිසා අපි හැමෝම නින්දට ගියා.

සාමාන්‍යයෙන් වනෝද්‍යානයට සෆාරි යන්නේ උදේ පාන්දර. නැත්තන් හැන්දෑවේ. මොකද සත්තු කැළයෙන් එළියට වතුර බොන්න එහෙම එන්නෙ ඒ වෙලාවට නිසා. නැත්තන් වැඩිය සතා සීපාවා දැකගන්න අමාරුයි.ඉතින් මං මගේ යාලුවෙකුගෙ මාර්ගයෙන් සෆාරි යන්න අඳුරන කෙනෙකුගෙ  ජීප් දෙකක් සෙට් කරගත්තා.

සාමාන්‍යයෙන් එක ජීප් එකක 10 දෙනෙක් පමණ තමයි දාන්නේ.අපේ නඩේ 15 නිසා අපිට ජීප් දෙකක් ගන්න සිද්ධ වුණා. ජීප් එකක ගාස්තුව රුපියල් 3000 - 3500 අතර වගේ වෙනවා.(අපෙන් නම් අය කළේ 2700 ගාණේ.) සවාරි කාලය පැය 2ත් දෙක හමාරත් අතර වගේ.

ඉතින් ඔන්න අපි උදේ පාන්දරම උඩවලවට ළඟා වුණා.

උඩවලවෙදි අපි එනතුරු ජීප් දෙක මග බලාගෙන හිටියා.අපි ආපු ගමන්ම තවත් ප්‍රමාද නොකර ජීප් දෙක ගමන් ආරම්භ කරමින් උඩවලව වැවේ ඩෑම් එක දිගේ වනෝද්‍යානයේ පිවිසුම්  දොර‍ටු වෙත අපව ‍රැගෙන ගියා.

වැව් බැම්ම දිගේ 
එහිදී සෆාරි යන සංඛ්‍යාව හා ජීප් ගණන බලල වනජීවී එකෙන් අපට ගාස්තුවක් අය කළා. ගනණ වුණේ රු.1905ක්. වැඩි වෙලාවක් නොගොසින්ම අපි වනෝද්‍යානයට ඇතුලු වුණා. වර්ෂාව හිඟකම නිසා උඩවලවේ කැලය තුල දියකඩිති සියල්ලම පාහේ හිඳී ගිහින්. ඒ නිසා වෙනදාට වඩා සත්තු එහෙමත් අඩු වෙයි කියල තමා අපට කිව්වේ.

පිවිසුම
අපි වනයට ඇතුල් වුණාම ඇත්තටම සොබාදහමේ සුන්දරත්වය අපට සියැසින්ම දැකගන්න පුලුවන් වුණා. වනයට ඇතුලු වුණු අපි මුලින්ම දැක්කේ ඉතා අලංකාර මොණරුන්ව. ටික දුරක් යනකොට මොණරු ඉතා සුලබ දරශණයක් වුණා.

මොණරු 
මී ළඟට කැලේ සුලබව දැකිය හැකි වුණේ අලින්. සමහර තැන් වල අලින් හුදකලාවේ ආහාර ගනිමින් සිටියා. සමහර තැන් වල රංචු වශයෙන්. දම්වැල් යොදපු අලින් අලින් පෙරහැරේ දකිනව වගේ නෙවෙයි, කැලේ බොහොම නිදහසේ ඉන්න අලින් බලන එක අමුතුම සුන්දරත්වයක් වුණා.

තනි අලි 
තණ බිම් කරා
අපව නිරීක්ෂණය කරන අලියෙක් 
අපට බලන්න වටින දර්ශනයක් දු‍ටු සැනින් driver මලයා වාහනය නවත්තලා අපට photo ගහන්න අවස්ථාව ලබාදුන්නා විතරක් නෙවෙයි, සමහර දේවල් අපිට කියලාත් දුන්නා.

"ඔයාලා සත්තු දැක්කම වැඩිය කලබල කරන්න, සද්ද කරන්න එහෙම එපා. අලින් කලබල වුණාට කෑ ගහන්නත් එපා. වාහනෙන් බිමට එහෙම බහින්නත් එපා..." එහෙම කිව්වෙ මම කලින් කිව්ව driver මලයා.

ටික දුරක් ගිය අපට උදෑසන තණ කන්න ආපු මුව රංචුවක්ම මුණ ගැසුණා. උන් මිනිස්සුන්ට බොහොම බයයි.ඉතින් අපට ටිකක් ඈත ඉඳන් තමා උන්ව බලන්න වුණේ. මීට කළින් අපේ සෙට් එකේ බොහෝ දෙනෙක් සෆාරි ගිහින් නැති නිසා හැමෝටම ගොඩක් වටින අත්දැකීමක් වුණා.

තණ බුදින මුවන්
සොබාදහමේ හැටි!!!මී ළඟට අපට හමුවුණේ කැලෑව ඇතුලෙම මියගිය විශාල සතෙකුගේ ඇටක‍ටු විසිරිලා තියෙන තැනක්. හිතුණේ නම් ලොකු මී දෙනකගේ කියලා. මේ තියෙන්නේ ඒ පින්තූරේ තමයි.

කටු 
මී ළඟට ඈත ගසක තිබුණු වඩු කුරුලු ගෙවල් ‍රැසක්ම අපට පෙන්නුවේ driver මලයා තමයි. එක ගසක මෙතරම් වඩු කුරුලු කූඩු තියෙනව මං මීට කලින් දැකලම නෑ.

වඩු කුරුල්ලන්ගේ වැඩ 
වාහනේ drive කරන අතර එක පාරටම break කරලා,  මේ පුංචි කුරුලු බිත්තර පෙන්නන්න තරම් ඔවුන්ගේ ඇස් වනයට හුරුවෙලා කිව්වම මොකද හිතෙන්නේ?

කාගේද මේ බිත්තර?
දැන් ඉතින් අපේ කස්ටියට යකෙක් කන්න බඩගිනි. driver මලයා විශාල ගල් තලාවක් මත වාහනය නැවැත්තුවේ අපේ උදේ ආහාර විවේකය සඳහා. අපි ඉතින් ගෙදරින් ගෙනාපු ඉඳිආප්ප හා පාන් , පරිප්පුයි සම්බෝලයි එක්ක කෑවා.කැලේ ඇතුලේ කෑපු කෑමක fun එක නොදන්න කෙනෙක් නෑ මයි හිතේ.
අපේ සෙට් එක 
උදේ කෑමෙන් පස්සේ අපි ආයෙත් ගමන් ආරම්භ කළා. අපට යන අතරතුර තවත් සෆාරි ජීප් කීපයක්ම කැලෑව ඇතුලෙදි හම්බුණා. එතකොට වාහනේ නවත්තලා අතරමග සතුන් හිටි ස්ථාන ගැන අනික් වාහනෙන් අහල දැනගන්න එක driver ලගෙ සිරිතක්. driver මලයා එහෙම අපි හොඳට අඳුරන නිසා අපට හොඳ fun එකක් ලබාදීමේ වගකීම ඔහුට පැවරුණා.ඉතින් ඒ මලයාත් අපට වැඩි විනෝදයක් ලබාදෙන්න ගොඩක් මහන්සි වුණා.

අපි මී ළඟට ගියේ තරමක් සිඳී ගිය දිය කඩිත්තක් පැත්තට.

සිඳී ගිය ජලාශ 
එහිදී අපට කිඹුලෙකු දැක ගන්නත් හැකිවුණා. පසේ පාටම නිසා ඌව වෙන් කර හඳුනාගන්න අපට මුලදි ටිකක් විතර අමාරුත් වුණා.
කිඹුලා මල්ලි 
මී ළඟට අපේ වාහන දෙක තරමක් එරෙන වගුරු බිමක් හරහා ධාවනය කරද්දි අපි ලොකු අකරතැබ්බයකට මුහුණ පෑවා. ඉදිරියෙන් ගිය ජීප් එක කරදරයක් නැතුව ගියත් අපේ ජීප් එක වගුරු බිමේ එරුණා.ඉන් ගොඩ එන්න උත්සාහ කරද්දි අපි තව තවත් එරුණු එකයි වුණේ. ඒත් ඒකත් අපට බොහොම විනෝද ගෙන දෙන සිද්ධියක් වුණා.

'අපි එරුණා ' 
මී ළඟට අප කළේ පළමු ජීප් එකේ සහය පැතීම. driver මල්ලි විසින් ශක්තිමත් දැම්වැලකින් ජීප් දෙක ගැට ගැසුවා.ඊට පස්සෙ අපේ කස්ටිය දැම්ම තල්ලුවක්.

'සහයෝගෙන් අදිමු '
දෙතුන් පාරක් try කළාට පස්සෙ යන්තම අපේ ජීප් එක ගොඩ ආවා. කරුමෙක මහත!!! ඒ ගමන අපිව ඇදපු ජීප් එක මඩේ එරුණා. දැන් අපේ වාරය. අපේ ජීප් එක ගිහිල්ලා ගැහුවා අර එරුණු ජීප් එක ඉස්සරහින්. ඊ ළඟට ඉස්සෙල්ල වැඩේම කරලා බොහොම අමාරුවෙන් ඒ ජීප් එක ඇදලා ගත්තා.
හෝය්යා... :-)
ඔය විදියට බොහොම විනෝදෙන් අපි සෆාරියේ අවසන් හරියට එළඹුණා. ඒ අතරමග ගසක් යට දැකපු මේ තනිවුණු අලි පැටවා  ගැන අපිට ඇතිවුණේ හරිම දුකක්. පැටවා වරක් දෙවරක් අපේ ජීප් එක ළඟට ඇවිත් නැවත ගහ යටටම දුවලා ගියා.

කෝ පැට්ටෝ අම්මා ? 

සෙල්ලමටමයි හිත...
ඔය විදියට වනෝද්‍යානය තුළ ගත කළ අතිශය විනෝදජනක පැය 4ක නිමාවට එළඹියා. සාමාන්‍යයෙන් පැය 2ත් දෙක හමාරත් අතර කාලයක් යන සවාරිය පැය 4ක් විතර දීර්ඝ කළ driver මලයට තැන්කිව් වේවා. අපි වනයෙන් එළියට ඇවිත් වැව් බැම්ම දිගේ එනකොට මෙන්න මේ අලි මල්ලි පාර අයිනටම ඇවිත් අපිත් එක්ක සුහදව කතා කලා.. :p

Current වැටට බය වෙලාද ?
Current වැට තිබුණු නිසා අපේ එවුන් ටික බය නැතිවම අලියත් එක්ක photo ගැහුවා. අලියත් ලැජ්ජාවෙ ඇඹරෙමින් එක එක කෝණ වලින් ඡායාරූප සඳහා පෙනී සිටියා... :D

වෙලාව 11ට විතර වුණා. උඩවලවේ 'ඇත් අතුරු සෙවණ' තිබුණේත් ඒ ළඟමයි.එතන ඉන්නෙ අනාත වුණු අලි පැටවුන්. ඉතින් දවල් 12ට අලින්ට කිරි දෙන function එකත් බලලම යන්න අපි එතැනට ගියා. අලින්ට දෙන්නේ එසේ මෙසේ කිරි නෙවෙයි, ලැක්ටෝජන් 2 තමයි දෙන්නේ. ජොග්ගුවකින් එකක්ම දුන්නට හැබැයි දෙන කිරි ටික උන්ගේ කටේ ගෑවෙන්නවත් මදි.
අපි ඉතින් රුපියල් 20 tickets අරගෙන 12 වෙනකොට අලි පැටව් එනකන් බලන් හිටියා.හරියටම දවල් 12ට අසල කැලේ කොළ කකා හිටපු අලි පැටව් එක්කගෙන ආවෙ එයාල බලාගන්න හිටපු ඇත්ගොව්වා. දැන් අලි පැටව් ටික වැට ගාව පෝළිමේ ඉන්නවා.

වරකට දෙන්නා බැගින් කිරි බොන පෝළිමට එවනවා. තමන්ගේ අවස්තාව එනකන් අලි පැටව් බොහොම නොඉවසිල්ලෙන් තමයි ඉන්නේ.

දෙදෙනෙක් යති, දෙදෙනෙක් එති.
අලින්ට කිරි දෙන්නේ දිග බටයක් කෙළවරකට සවි කරපු පුනීලයක් කටට ගහලා. ඉතින් අලි පැටව් ඈත ඉඳන්ම හොඬවැල උස්සගෙන එන්නෙ කුක්කු බටේ කටට දාගන්න බලාගෙන.

"  හා...හා.. කිරි බීපු අය යනවලා..."
කුක්කු මදිද මන්දා...?
ඒ වැඩසටහනත් ඉවර වුණා. හොඳටම දවල් වෙලා.අපේ කස්ටිය ගියා සංඛපාල අසල වැව් මාලු බුෆේ එකකට.ගිහින් බඩ පිරෙන්න බත් කෑවා.

දැන් පුරා දින දෙකක් බොහොම විනෝදෙන්, සතුටින් හිටිය අපේ චාරිකාවේ අවසන් හරිය. ගෑණු ළමයින්ට එයාලගෙ ගෙවල් වලට යන්නත් තියෙන නිසා අපි කොළඹ එන්න පිටත් වුණා. ඒ එන අතරමග පල්ලෙබැද්ද හරියෙදි සුදුගල ජලාශයෙන් නෑවේ ඇඟේ පතේ මහන්සිය යන්නත් එක්ක.

ඉතින් හැන්දෑවේ 6.30 විතර වෙනකොට අපි කොළඹට ආවා. trip එක ගැන කියනවනම් හරිම විනෝදයි. ඉතින් ඒ පැත්තෙ නොගිය කෙනෙක් එහෙම ඉන්නවනම් ඔන්න දැන් යන හැටි දන්නවා. උදව්වක් එහෙම ඕනි වුණොත් මට කියන්ටකෝ... අපේ ගෙදර නවාතැන් දීම හැරෙන්න වෙන ඕනිම උදව්වක් කරන්නම්... :D ;p (විහිලුවට කිව්වෙ මෙයා)

සැමට ජය!!!

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

උඩට යන්න මෙතන click කරන්න.