Friday, December 21, 2012

අමුම අමු කුණුහරුප කතාවක්

කුණුහරුප කිව්වම කස්ටිය බය උණාද මන්ද.පටන් ගත්තු ගමන්ම කුණුහරුප කියන එක හරි නෑ. ඒක නිසා ආරම්භය මේ වගේ සදාරාචාත්මක විදියට ලියන්නම්.

අපේ පොඩි අයිය ඉන්නව නේද? මිනිහ ඇවිල්ල හෙනම කළාකරුව. මිනිහගෙ ඔලුවෙ වැඩ කරේම වේදිකා නාට්‍ය, චිත්තරපටි, ටෙලි නාට්‍ය  වගේ කළාවට බර දේවල්. මිනිහ ඉස්කොලෙ යන කාලෙ උසස් පෙළට කළ project එකේ නමත් "නූතන සිංහල නාඩගම්" මට මතක විදියට. ඒකෙ සමහර බලි රූප එහෙම ඇඳල දුන්නෙ මං. ඊට පස්සෙ කැම්පස් එහෙම ගිහිල්ල සිංහල සාහිත්‍ය විශේෂ උපාධියක් එහෙම හදාරන ගමන් පොර ජාතික රූපවාහිනියෙ 'ජනමාධ්‍යවේදී පාඨමාලාවකුත්' හැදෑරුව.

ඔය කාලෙ තමයි ඇඹිලිපිටියට හා හා පුරා කියල රංග ශාලාවක් ඉදි වුණේ. ජීවිතේට වේදිකා නාට්‍යක් එහෙම හැබහින් දැකල නැති අපේ උන්ට දැන් එව්ව බලන්නත් පුලුවන්.

ඉතින් ඕකෙ නමෝ බුද්ධාය කියල පෙන්නපු මංගල වේදිකා නාට්‍ය තමයි, "චරන්දාස්". ඒක බොරු නොකියන ඇත්ත කියන පීඩිත ජනතාවාදී හොරෙකු මැදිකරගත් කතාවක්. ගෙන්නල සංවිධානය කළේ වෙන කවුරුවත් නෙවෙයි. මං ඔය කිව්ව අපේ පොඩි අයිය තමයි. ඒක ලංකාව පුරා වේදිකාගත වෙන අතිශය විනෝදාත්මක නාට්‍යක්. 



මේ ඇවිල්ල මම උසස් පෙළ ලියල ගෙදරට වෙලා හිටි කාලේ. ඉතින් අර නාට්‍ය සංවිධානය කිරීමෙහිලා ඉතාමත් භාරදූර වගකීම් ‍රැසක් මටත් පැවරුණා.නාට්‍ය දර්ශණ වාර දෙකක් තියෙන්න නියමිතයි. දවල් 2.30 සහ හවස 6.30. හෝල් එක බුක් කිරීම, ටිකට් ප්‍රින්ට් කිරීම, පෝස්ටර් ප්‍රින්ට් කිරීම, ඉස්කෝල වලට ආරාධනා කිරීම, ලවුඩ්ස්පීකර් ප්‍රචාරයක් යෑම, නාට්‍ය කණ්ඩායමට කෑම, බීම නවාතැන් දීම ආදී එකී මෙකී නොකී වැඩ එමටයි.

අයිය කාරය වැඩේ කරන්න ගත්තට මිනිහ ගමේ වත් නෑ. කොල්ල හොඳටම බිසී. මට ඉතින් නිතරම කෝල් දීල කියනව අරක කරන්ට මේක කරන්ට කියල. මට ඉතින් වෙලාවකට කේන්ති. එහෙ දුවනව, මෙහෙ දුවනව ඉවරයක් නෑ. ඔන්න දවසක් මට තවත් එහෙම වැඩක් මිනිහ බාර දුන්නා.

"සම්පත්, අර හෑන්ඩ් බිල් සෙට් එක බෙදන්න ඕන. ගෙවල් ළඟ අඳුරන එකෙක්ගෙ ත්‍රී වීල් එකක් සෙට් කරගෙන ලවුඩ්ස්පීකර් දෙකක් බැඳල ඇඹිලිපිටිය වටේ ප්‍රචාරයක් යන්න ඕන. යන ගමන් මිනිස්සු ඉන්න තැන් වල හෑන්ඩ් බිල් දාගෙන යන්න... ගෙදර ඇති මම රෙකෝඩින් කරන් ආපු කැසට් පීස් එකක්.ඒක දාගෙන යන්න තියෙන්නේ... " මිනිහ ඇඟට පතට නොදැනී කියල දැම්ම.

දැන් ඉතින් පලයන්කො ටවුන් එක වටේ ... ගෙවල් ළඟ හිටපු සුභාෂනගෙ ත්‍රී වීල් එක සෙට් කරගෙන මම ලවුඩ්ස්පීකර් හොයන්න ගියා. 

"රුවන් සවුන්ඩ්ස්" එකට යමු. ඒකෙන් ලවුඩ්ස්පීකර් දෙක ගන්න පුලුවන්. සුභාෂ් මල්ලි කිව්වා.

අපි දෙන්න ගියා අදාල ස්ථානයට. 

"කෝ මල්ලි, අවසර පත්‍රයක් තියෙනවද...?" එතැන හිටපු හිමිකරු අපෙන් ඇහුවා.

"අවසර පත්‍රයක්....?" මම නිකං පුදුමෙන් වගේ ඇහුවා.

"ඇයි ඔයාල පොලීසියට කියල අවසර අරන් නෙවෙයිද ප්‍රචාරෙ යන්නෙ?...අවසර නැතුව ලවුඩ්ස්පීකර් බැඳන් එනවුන්ස් කරන්න තහනම් මල්ලි. මාට්‍ටු වුණොත් අන්තිමට බඩු ටිකත් උසාවි දානව. අවසර නැත්තං නම් දෙන්න බෑ මල්ලි..."

දැන් ඉතින් මොකද කරන්නේ? මං ගත්ත අයියට කෝල් එකක්...

"මේ... පොලීසියෙන් අවසර ගන්න ඕන කියන්නේ..එහෙම එකක් ඕනද? නැත්තං මේව රෙන්ට් එකට දෙන්න බැරිලු..."

"දැන් ඇඹිලිපිටි ඇවිත් පොලිසි යන්න වෙලාවක් නෑ බං"

"එහෙනම් වැඩේ වෙන දවසක කරමු. ඉස්සෙල්ල අවසර අරන් ඉන්න එපැයි..."

"බෑ, බෑ බං. ඕක අදම කරන්න ඕන. තව දවස් කීයද තියෙන්නේ.. එකයි මං කියන්නේ...මං තංගල්ලේ ඉන්නෙ. අපි මෙහේ ෂෝ එකට නම් අවසර අරන් ප්‍රචාරෙ ගියා. මෙහේ ඕ.අයි.සී. මහත්තය සෑහෙන්න උදව් කළා. එයා කිව්ව ඕනි උදව්වක් තියෙනවනම් කියන්න කියල. ඔන්නොහෙ එනවුන්ස් පාරක් දාපන් බං.පොලීසිය නවත්තල අහන එකක් නෑ අවසර පත්‍ර තියෙනවද කියල. ඇහුවොත් මට කෝල් එකක් දියන්. මං කියන්නම්..."


"එහෙම කියල හරියාවිද...? අනේ මන්ද...ඔන්න එහෙනම් අවුලක් වුණොත් මං කෝල් එකක් ගන්නව හොඳේ. ඉතුරු ටික තමුන්ට බාරයි..."

"හරි හරි,තමුසෙ බය නැතුව යනවකො. එහෙම වෙන එකක් නෑ...කෝකටත් පොලීසියෙ පැත්තෙ එනවුන්ස් කරන්න යන්නෙපා...ඒක කෝකටත් හොඳයි..."

පොරගෙ අවවාදෙ පිළිගත්තු මම අදාල විස්තරේ කියල බොහොම අමාරුවෙන් ලවුඩ්ස්පීකර් දෙකයි, ඈම්ප් එකයි, මයික් එකයි එහෙම රෙන්ට් එකට ඉල්ල ගත්තා. 

"ඔන්න මල්ලි, අවුලක් වුණොත් එහෙම බඩු ටිකේ වගකීම ඔයා ගන්න ඕන..." රුවන් සවුන්ඩ්ස් එකේ අයිය එහෙම කියද්දි එයාට අත වනාගෙන අපි පිටත් වුණේ ඒ වගකීමත් බාරගෙන.


මුලින්ම අපි ගියේ තුංකම පැත්තට. එතන ඉඳන් කෙළින්ම ඇඹිලිපිටියට. මුලදි ප්‍රචාරෙ යන්න ලාවට වගේ ලැජ්ජ හිතුනත් පාර තොටේදි කොල්ලො කුරුට්ටොන්ගෙන් ලැබුණු ප්‍රතිචාර නිසා හිතට පොඩි ගැම්මක් ආවා.

"... ඔබ සියලු දෙනාම සිනා සාගරයේ ගිල්වන, රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය ඇතුළු රාජ්‍ය සම්මාන 9ක් දිනූ පරාක්‍රම නිරිඇල්ලගේ චරන්දාස්. ලොකු පොඩි බාල මහළු කොයි කාටත් රස විඳිය හැකි සිනා සාගරය. ජුනි 5 වැනිදා ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩපයේදී. සවස 2.30 ට සහ 6.30 ට.... "

ඔන්න මේක අහන පොඩි එවුන් පාරට දුවගෙන එන්න ගත්ත.මං ඉතින් මගේ අතේ තිබුණු හෑන්ඩ් බිල් දෙක තුන උන් ඉන්න පැත්තට විසි කරනව. හරිම ජොලි වැඩේ. ඔය අතරට නාට්ටියේ පොඩි දෙබස් කෑල්ලක් එහෙමත් දාල තිබුණා.

දැන් ඉතින් දවල් වුණා.මං ඉතිං ත්‍රී වීල් එකේ සුභාෂනත් එක්ක ටවුන් එකේ තිබුණු හෝටලයක් ගාව නවත්තල දවල්ට කෑව.

"දැන් කොහෙද බන් යන්නේ?..." මම සුභාෂනගෙන් ඇහුව.

"ම්ම්ම්... අනේ මන්ද, ඕනි දිහාවක යන්..."

"යන්ද එහෙනම් මහවැලි ග්‍රවුන්ඩ් එක ගාව තියෙන පාරෙන් දාල, සෙන්චූරියා රෙස්‍ටුරන්ට් එක පැත්තෙ...කාලෙකින් ගියෙත් නෑ ඒ පැත්තෙ...." මං එහෙම කිව්වා.

"යනවනම් යං..."

ඔන්න ඉතින් අපි ලවුඩ්ස්පීකරෙත් සද්දෙ දාගෙන ඒ පාරට හැරෙව්වා. අම්මට සිරි, දැන් මේ පැත්ත හෙනට සංවර්ධනය වෙලා. ලොකු ගෙවල්, පොඩි පොඩි හෝටල්, කඩවල් එහෙම පාර දෙපැත්තෙම. ඔන්න දැන් අපි ටික ටික ඇතුළට යනවා. 

මං ලවුඩ්ස්පීකරේ බොහොම සද්දෙට දාගෙන වටපිට බල බල ගියා.අපි යන පාරත් ඉර ගැහුව වගේ ඈතට යනකම්ම පේනව. මං දැක්ක ඈතට වෙන්න වාහන ගොඩක් එහෙම නවත්තල තියෙනව. මොකක් හරි උත්සවයක්ද දන්නෙ නෑ. මාත් බොහොම සතුටින් ලවුඩ්ස්පීකරේ සද්දෙ තවත් වැඩි කළා. 

"....ලොකු පොඩි බාල මහළු කොයි කාටත් රස විඳිය හැකි සිනා සාගරය. ජුනි 5 වැනිදා ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩපයේදී. සවස 2.30 ට සහ 6.30 ට.... .......

"මොකක්ද බං මෙතන සීන් එක?... උත්සවයක්ද...?" මං සුභාෂ්ගෙන් ඇහුවා.

"අනේ මන්දා... මාත් කාලෙකින්නෙ මේ පැත්තෙ ආවෙ..." සුභාෂ් කිව්ව.

ඔන්න අපි අර කිව්ව වාහන නවත්තල තිබුණු ස්ථානයට කිට්‍ටු කළා. 
එක පාරට පොලිස් කාරයො හතර පස් දෙනෙක් ඇතුලෙ ඉඳල පාරට දුවගෙන ආවා. උන් ආපු ඒම මට එච්චරම ඇල්ලුවෙ නෑ... උන් ඈත ඉඳන් අපේ ත්‍රීවීල් එක දිහා කන්න වගේ බලාගෙන ඉන්නව. වීල් එක හරවන්න අතුරු පාරක්වත් නෑ. 

"කමක් නෑ බන්... ඔහොම යමන්.දැන් හරවන්න බෑනෙ." මං එහෙම කිව්වට මගේ හිතත් බයෙන් ගැහෙනව.වීල් එක තවත් කිට්‍ටු කළා.

"ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය"

ලොකු අකුරින් ලියල තිබුණු බෝඩ් එක දැකපු මගේ ඉහින් කනින් දාඩිය දාන්න ගත්ත. විනාසයි. අපිව අල්ලලා නඩු දැම්මොත් ඉතින් නඩුකාර උන්නාන්සෙත් සාක්ෂි දෙයි මුන් උසාවිය ඉස්සරහින් නඩු අහ අහ ඉන්න වෙලාවෙ මහ සද්දෙට ලවුඩ්ස්පීකර් එක දාගෙන ප්‍රචාරෙ ගියා කියල.අනික ලයිසන් වත් නැතුව. 

මට අපෙ අයියගෙ අම්ම මතක් වුණා. දෙයියනේ ඒ මගෙත් අම්ම නේද? අනේ අම්මෙ, මාව බේරගන්න. දැන් ඉතින් කූඩුවෙ කූරු ගණින්න තමා වෙන්නෙ. 

"කවද්ද බන් මෙතන උසාවියක් දැම්මෙ?..."  සුභාෂනයත් වෙව්ල වෙව්ල කෑ ගහනව.

"කවුද බන් දන්නෙ? ... ළඟදි හදන්න ඇති". මම දනි පනි ගාල කැසට් එක ඕෆ් කළා.

පාරට පැනපු පොලිස් කාරයො ටික අපේ ත්‍රීවීල් එක නතර කළා.


"අම්මට ...(ටීක්), තොපේ ඇස් පොට්ට වෙලාද ...(ටීක්)..? තොපිට පේන්නෙ නැද්ද අද නඩු අහනව කියල ..(ටීක්)? ...(ටීක්, ටීක්, ටීක්, ටීක්.....) "
පොලිස් කාරයො හැම එකාම එකසැරේ මගෙ ඇඟට කඩන් පැන්න. ඇයි යකෝ වරකට එකා බැගින් බැනපන්කො... මට හතර වටෙන්ම ඇහෙන්නෙ අමුම අමු කුණුහරුප විතරයි.

"අනේ සර්, අපි දන්නෙ නෑ මෙතන උසාවියක් තියෙනව කියල. මෙහෙ උසාවිය තියෙන්නෙ ඉස්පිරිතාලෙ ගාවනේ. ....." ඒ මං.

"එතන විතරද ..(ටීක්) උසාවි තියෙන්නෙ? ගනින් (ටීක්) තොපේ ලයිසන් එක..?"

"අපි ගාව ලයිසන් එකක් නෑ සර්. වැඩේ හදිස්සි නිසා ලයිසන් ගන්න බැරි උනා.තංගල්ලෙ ඕ.අයි.සී මහත්තය කිව්ව වැඩේ කරන්න. අවුලක් වුණොත් එයාට කෝල් එකක් දෙන්න කියල....

මුන් හිතන්න ඇති එහේ ඕ.අයි.සී. මගේ බුදු ‍ෆිට් එකක් කියල. මම ෆෝන් එක අරන් වෙව්ල වෙව්ල අපේ අයියගෙ නම්බරේ හොයන්න ගත්තා.

"ලයිසන් වත් නතුවද (ටීක්) මේක අස්සෙ රිංගුවේ? මොකා කිව්වත් උසාවියක් ළඟ හෝන් එකක්වත් ගහන්න පුලුවන්ද ...(ටීක්)? අරන් පල ඔය (ටීක්, ටීක්) මෙතනින් (ටීක්..)...

ඒ වචන මාලාව ඇහුනා විතරයි අපි ඇහිපිය ගහන සැනින් වීල් එකේ නැගල  එතනින් මාරු වුණා. යනගමන් අයියට හොඳ දෙකක් කතා කරපු මං නාට්ටියේ ප්‍රචාරක කටයුතු එතෙකින් සමාප්ත කළා. 

සුභාෂනයගේ ත්‍රීවීල් එකේ අපි ගියපු අන්තිම හයර් එකත් ඒක. ඌ නෙවෙයි ආයෙ අපිත් එක්ක හයර් ගියේ. කොහොම කොහොම හරි මහේස්ත්‍රාත් අධිකරණයක් ගාවත් එනවුන්ස් පාරක් දාපු පොරක් මම හරිද? කවදහරි ශ්‍රේෂ්ඨාධිකරණෙ ගාවත් ඔයින් එකක් කරන්න මගෙ හීනයක් තියෙනව... :-D ;p

අවසාන වශයෙන් කියන්න සං‍තෝස කාරණයක් තියෙනව. අපේ පළමුවැනි ෂෝ එක බලන්න හෝල් එක පිරෙන්න සෙනග හිටිය. 2.30 ෂෝ එක ඉස්කෝල ළමයිගෙන් පිරුණා.උනුත් ඉතින් මීට කළින් ඕව බලල තියෙන එකක්යැ. මොරකැටි ඉස්කෝලෙ සිංහල උගන්නන අජිත් සර්රුත් ළමයි සේරම අරන් ආව. කිව්වට විස්සාස කොරන්ට මාත් මගේ ජීවිතේ මෙතෙක් බලපු හොඳම නාට්ටිය ඒක තමා. බලනව නම් අන්න නාට්ටි.
"චරන්දාස්"


කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

උඩට යන්න මෙතන click කරන්න.