Monday, August 20, 2012

ඔන්න නංගි චැලෙන්ජ් එක බාරගත්තා - මගේ ආදර කතාව - පළමු කොටස


පහුගිය දවසක මම බ්ලොග් පෝස්ට් එකක් ලිය ලිය ඉන්නකොට මගේ ගෑණු ළමයගෙන් call එකක් ආවා.මං ඉතින් කර කර ඉන්න වැඩේ පැත්තක තියලා දුරකතනය answer කළා.

"හෙලෝ...." මං කටහඬ අවදි කළා.

"හෙලෝ....ඔයා වැඩද අයියේ?"

"ආ...ඔව් අනේ,මං මේ බ්ලොග් පෝස්ට් එකක් ලියනවනේ."

"බ්ලොග් පෝස්ට් එකක්? මොකක් ගැනද?"

"අර ගෙයි යතුර නැති වෙච්ච සීන් එක ගැන..."මං හිනාවෙලා කිව්වා.

"හ්ම්ම්ම්...!!!" ඇය බොහොම උදාසීන විදියට එහෙම කිව්වා.

"ඇයි නිකන් හ්ම්ම්ම් ගෑවේ..?" මං හිනාවෙන ගමන්ම ඇහුවා.

"මං ගැනත් ඕකෙ ලියන්න." ඇය බොරු මුරණ්ඩු ගතියක් ආරූඪ කරගෙන කිව්වා.

"යා ගැන...?"

"ඔව්.මං ගැන..."

"හි හි...හ්ම්ම් හ්ම්ම් මං ලියන්නම්කො අපි දෙන්නගෙ ආදර කතාව ගැන ලස්සන බ්ලොග් පෝස්ට් එකක්."

"අනේ නිකං බොරු කියන්නැතුව ඉන්න අයිය. මං දන්නැද්ද ඔයා ගැන.ඔයා ලියන්නේ නෑ..."

"ඇයි ඔයා එහෙම කිව්වෙ?"

"ඔයා මං ගැන ඕකෙ ලියන්නෑ.මං දන්නවනෙ"
මට එක පාරට හිනාගියා.

"ඉන්නකො එහෙනම් මං ඔයාට ලියලම පෙන්නන්නම්කො..."

 "හ්ම්ම්...ලියයි ලියයි.." ඇය ඒක නම් කොහෙත්ම විශ්වාස නොකරන පාටයි.ඔහොම ඔහොම කතා කරලා මං දුරකතනය තිබ්බා.

ඔන්න දැන් ඉතිං මට පොඩි චැලෙන්ජ් එකක් ඇවිත් තියෙන්නෙ. මං ඇයට නොකියාම චැලෙන්ජ් එක බාරගත්තා.ඇය තවම දන්නෙ නෑ මං මේක ලියනව කියලා.මං අද ලියන්න යන්නෙ ඇය හා මම හමුවුන හැටි හා මගේ "ආදර mission"  එක ගැන.

ඇයත් මමත් ඉගෙනගත්තෙ ඇඹිලිපිටියෙ තිබුණු පාසල් දෙකක.මම ඇයව ඉඳ හිට හරි දැක්කෙ පෞද්ගලික උපකාරක පංතියකට යද්දි විතරයි. 7,8 වසර වල වගේ ඉඳන් ඇයව දැකල තිනුණත් උසස් පෙළ දක්වාම අපි අතර විශාල දැනහැඳුනුම් කමක් තිබ්බෙ නෑ.

පොඩි කාලෙ අපි කෙල්ලෙක් එක්ක කතා කළොත් අපේ යාලුවො "ආ...ආ... සම්පාත්....හා...හා...." කියල මාස දෙකක් විතර යනකං ඒ කෙල්ලගෙ නම අල්ලලා අපිට විහිලු කරනවනේ.මේ අත්දැකීම හැම කෙනාටම ඇති.ඒත් උසස් පෙළ දක්වා ආපු අපි දැන් ලොකු ළමයිනේ. දැන් ඒ වගේ ගොන් පාට් දාන වයසක් නෙවෙයි. ඒක නිසා දැන් කෙල්ලෙක් මූණට හම්බුණොත් වචන දෙක තුනක් වත් කතා නොකර අපි යන්නෙ නෑ.

ඉතිං උසස් පෙළට ආවට පස්සෙ මම ගණිත අංශය ‍තෝර ගනිද්දි ඇය ජීව විද්‍යා අංශය ‍තෝරගත්තා. ඒක නිසා නිතරම පංති යනකොට ඇයව දකින්න ලැබුණා.ඔන්න ඔය කාලෙ තමයි මගේ හිතේ ඇය ගැන අදහසක් පහළ වුණේ. 

ඇගේ නම 'නදී'. ඇගේ ලස්සනම ලස්සන සිනහවයි, හැමෝම එක්ක හිනාවෙලා කතා කරන එකයි තමයි මම ඇගේ ආසම කරපු ගති ලක්ෂණය. ඉතින් උදේ පාන්දර පන්ති යනකොට පංතිය ලඟදි හම්බුණාම "Good morning" කියල මුව පුරා හිනාවෙලා කියන ඇයට මම හිතින් ආදරය කළා. එදාට ඉතින් දවසම හරිම සතුටින් තමයි ඉන්නේ.

ඒ දවස් වල මම පංතියෙ තරමක් කැපී පේන ශිෂ්‍යයෙක්. දැන් කෙළවරක් නැති ගොං වැඩ කළාට ඒ දවස් වල වැඩට එහෙම දක්ෂ, ගුරුවරුන්ගෙ ආදරය එහෙම දිනාගත් ළමයෙක්.ඒක නිසා පංතියෙ ළමයි අතර ලොකු පිළිගැනීමකුත් තිබ්බා කියල හිතනවා. මේ නිසාම මං ඇයට "Good morning", "ඉතිං කොහොමද නදී...?" වගේ දේවල් කියනකොට ඇය කොහෙත්ම හිතන්න නැතුව ඇති මේ නම් වලත්තකමට තමයි කියලා. (ඔන්න ඕක තමයි නංගී,මල්ලී උඹලට මං කියන්නෙ හොඳට ඉගෙනගනිං කියලා.. :-D)

මං කොහොමත් වාත වෙවී කෙල්ලො පස්සෙ යන්න නම් කොහෙත්ම කැමති නෑ...කෙල්ලෙක් පස්සෙ ගිහිල්ලා කැමතිද අහලා බෑ කිව්වොත්, "බැරිනම් ඉතිං නිකන් ඉන්නවා, වැඩේමයි...රටේ ලෝකෙ තව කෙල්ලො නැද්ද?"  වගේ දෙයක් මගේ මුවින් පිටවෙයි කියලා මට බයයි. 

මම chemistry class ගියේ ඇඹිලිපිටීයේ "සරසවි" ආයතනේට. ටකරං සෙවිලි කරපු වහලක් යට ඉදේ ඉඳං හවස් වෙනකම්ම තැම්බෙන තැම්බිල්ල කියලා වැඩක් නෑ. කස්ට කාගෙනම කොහොම කොහොම හරි පංති ගියේ A/L විභාගෙ ගොඩ දාගන්න ඕන නිසා.

දවසක් chemistry revision class එකේදි මායි, මගේ යාලුවො ටිකයි ඉන්න පේළියට සමාන්තරවම වගේ ඇයත් යාලුවොත් එක්ක වාඩි වෙලා හිටියා.පංතියේ ඉන්න ගමන් ඉඳ හිට ඒ පැත්ත බැලුනේ ඉබේටම වගේ.ඇයත් එක්ක හිනා වෙන්න ,කතා කරන්න ආසාව තිබුණත් අවස්ථාවක් නම් උදා වුණේ එහෙමත් දවසක තමයි. 

ඔන්න ඔහොම ඉන්න වෙලාවෙ මගේ ටිකිරි මොලේට ආව නියම අයිඩියා එකක්!!! මද්දහන වෙලාව නිසා මට හොඳටම වතුර තිබහ විය යුතු බව මට කල්පනා වුණා. ගෑණු ළමයි ළඟ නම් වතුර නොවැරදීම තියෙනවා.කොල්ලො ළඟ කවදද වතුර තිබුණේ? මාත් අවසන් වතාවට වතුර බෝතලයක් අරගෙන ඉස්කෝලෙ ගියේ 8 වසරෙදි වගේ බව මට ලාවට මතකයි.

අපේ උන් ළඟ වතුර නැති බව හොඳටම දැන දැනත් මම  "මචං...වතුර නැද්ද බං?...මාරම තිබහයිනෙ...."කියලා වට පිටාවෙ ඉන්න කොයි කාටත් ඇහෙන්න ඇහුවා.ම්හ්හ්හ්....කාගෙන්වත් නෑ ප්‍රතිචාරයක්. ඊ ළඟට කරන වැඩේ හැමෝම දන්නවනේ. මම හැරුණා ගෑණු ළමයින්ගෙ පැත්තට.ෂෙහ්හ්...කෝ අරයා නෑනෙ පැත්තවත් බලන්නෙ....මම බොහොම දුකින් ඒ පැත්ත බලාගෙන හිටියා.ඔය අතරේ නදී අසල සිටි ඇගේ යාලුවා මගෙ දිහා බැලුවා.

"ආහ්හ්...අනේ හලෝ වතුර නැද්ද? අරයගෙන් ඉල්ලල දෙන්නකො..."මං ලද අවසරයෙන් ඇයට කිව්වා.

"නදී....අන්න අරයා වතුර ඉල්ලනවා" ඇගේ මිතුරිය ඇයට කිව්වා.

අපේ පැත්ත බලල හිනාවුණු ඇය වතුර බෝතලය අපිට දුන්නා.හෆ්ෆා...දැනුනු සං‍තෝසෙ..මං වතුර බෝතලේ අරගෙන බොහොම ගෞරවයෙන් ඉන් ටිකක් පානය කළා.

"අඩෝ අපිටත් දීපන්...අපිටත් දීපන්" එහෙම කිව්ව මගේ අතිජාත කඩාකප්පල්කාරී මිත්‍රයො ටික එක හුස්මට බෝතලේ හිස් කළා.මදැයි...දැන් මොකක්ද කියන්නේ?

ඔන්න ඔය වෙලේ තමයි මට කවි සිතුවිලි පහල වුණේ. මං කොහොමත් ඒ දවස් වල ඉඳලා කවි ලියන්න චුට්ටක් විතර දක්ෂයි. මං ගත්තා කොළ කෑල්ලක්. වැඩි වෙලා ගත කරන්නත් බෑ.සර් අරෙහේ nunstop උගන්නනවා. ලෝක අමාරුවෙන් පද පේළි 4ක් align කරලා පොඩි කවියක් ලියා ගත්තා.දැම්මා ඒක හිස් බෝතලේ ඇතුලට.දුන්න බෝතලේ. 

බෝතලේ අතට ගත්තු ඇය දැක්ක බෝතලේ ඇතුලෙ තියෙන කොල කෑල්ල.ඔන්න මම එවෙලෙම ටක් ගාල නැවත පාඩමට හිත යොමු කළා.සර් හෝ ගාල බෝඩ් එකේ ගාණක් ලියනවා.ටිකක් වෙලා ගාණ පිටපත් කළ මං නැවත අර දිහාවට රබර් ඇස යොමු කළා.මෙන්න බොලේ එයා කවිය බල බල යාලුවො ටිකත් එක්ක හයියෙන්ම හිනාවෙනව.

( පුදුම සිද්ධිය කියන්නේ අපි යාලු වෙලා හරියටම අවුරුදු 3ක් ගිය දවසේ ඇය මං අර ලියපු කවිය සහිත කොළ කෑල්ල මට තෑගි කළා.ඇය සෑහෙන කාලයක් ඒක පරෙස්සමින් තියාගෙන තිබුණා. )මේ තියෙන්නෙ ඒ ඓතිහාසික කවිය තමා.


ඉතිං ඔන්න ඔය විදියට බොහොම සුන්දර ලෙස අපේ A/L කාලය ගෙවිලා ගියා.මම ඇයට කැමැත්තෙන් හිටිය බවක් ඇය ඒ වන තුරුත් දන්නෙ නෑ. මම ඒ බවක් අඟවන්න ගියෙත් නෑ.මගේ උද්දච්චකමට මම බොහොම ඩීසන් විදියට හිටියා. කොහොම කොහොම හරි A/L විභාගය ආවා.පංති නැවතුණා.විභාගෙත් ලිව්වා.දැන් කොල්ල ගෙදර.

 ඔහොම මෙලෝරහක් නැතිව ජීවිතය ගෙවෙද්දි ජීවිතේ අතිශය වැදගත් දවසක් උදා වුණා.එදා මොකද වුණේ කියල දන්නවද? හ්ම්ම්වාහ්හ්හ්....නිදිමතයි ඕයි!!! ඒක ඊ ළඟ කොටසින් කියන්නම්...(ප්‍රතිචාර හොඳ වුණොත් ඊ ළඟ කොටස දානවා අද හෙටම... :D )


(දෙවන කොටස මෙතැනින්)

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

Friday, August 3, 2012

මාගේ මංගල ගෙවල් බිඳීම හෙවත් ජීවිතේ චාටර්ම, පජාතම, කුජීතම දවස.

අධික කාර්යබහුලත්වය නිසා සෑහෙන කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවේ. A/L ටියුෂන් ක්ලාසුත් මේ සතියෙ ඉවර වුණු නිසා දැන් ටිකක් විතර නිදහස්.මං මේ කියන්න යන කතාව මතක් වෙනකොටත් මට තනි ඇහැට ඇඬෙනවා. මේ තරම් චාටර් දවසක් නම් මගේ ජීවිතේටවත් තිබුණා කියලා මට මතක නෑ. මොකටද තව වැල් වටාරං... කෙළින්ම බහිමු ඉට්ටෝරියට.

මේ මහා ශ්‍රේෂ්ඨ දවස 2012.08.01 හෙවත් මං මේ පෝස්ට් එක ලියන දවසට සාපේක්ශව ඊයේ කියලා කිව්වැහැකි. ඔන්න මං 07.31 වැනි අඟහරුවාදා සුපුරුදු පරිදි වැඩට ගියා.(වැඩට කිව්වට training). 

ලංකාවයි, ඉන්දියාවයි අතර අද මැච් එක හවස 2.15 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ නිසා මායි, මාලකයයි දත කට මැදගෙන ටිකක් විතර කලින් කලින් යන්න බලාගෙන උන්නා. මොන මැච්ද? office එකෙන් එළියට එනකොට 5ත් පහු වෙලා.දඩ බඩ ගලා බයික් එකට නැගලා ගියා ground එකට.



 අපේ කරුමෙට ලංකාව ඉස්සෙල්ලා ගහලා තියෙන්නේ.අපේ උන් ගහන අන්තිම චුට්ට හරි බලන්න කියලා හිතාගෙන දුවල දුවල ගියා. ෂෙහ්... ජරා දවස කියන්නෙ අපි ඇතුලට යනකොටම අන්තිම බෝලෙට රංගන හේරත් ගහන්න සෙට් වෙනවා.මදැයි දුවගෙන ආවා.කමක් නෑ ඔය බෝලෙවත් බලනවා කියලා හිතාගෙන එල්ලගෙන ආපු බෑග් මලු ටික තියන්න සුදුසු තැනක් බැලුවා.එකපාරටම මිනිස්සුන්ගේ ප්‍රීතිඝෝශා සද්දෙට මට ground එක දිහා බැලුනා.

නොදකින් ඒ ටිකට අන්තිම බෝලෙත් දාලා.රංගන හේරත්ගේ ඒ දුර්ලභ 6 පාර දැක ගැනීමේ අවස්තාවත්  මට මිස් වුණා. ඔන්න ඔය ආකාරයට අතිශය පජාත පැය 24ක ආරම්භය සනි‍ටුහන් වුණා.

දැන් ඉතින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අර කෝලි කුට්‍ටුවා  ගහන එව්වා බලන්න සිද්ධ වෙනවා. ඒ වාසනාවත් අපිට උදා කරමින් කෝලියා ශතකෙකුත් ගහමින් ලංකාවට පරාජය අත්පත් කරදුන්නා. මදැයි හෙන කස්ටක් කාලා මැච් එකක් බලන්න දුවගෙන ආවා.

දැන් ඉතින් ඇඟේ පතේ අමාරුවයි, හිතේ අමාරුවයි දෙකම යන්න ගෙදර ගිහින් කාලා හොඳට බුදියගන්න ඕනි කියලා හිතාගෙන මහ රෑම එන්න පිටත් වුණා.

දැන් තමා ඉස්ටෝරියෙ හොඳම හරිය එන්නේ. මම ඉන්නෙ මහරගම, අපේ බාප්පගෙ ගෙදර නැවතිලා.වැඩට එන්නත් පහසු නිසා මං එහේ තමා හිටියෙ.මීට දවස් දෙකකට කළින් බාප්පයි පුංචියි දෙන්නා ඇඹිළිපිටි යන්න ගියා. ආපහු එන්නෙ පෝයත් පහුවෙලා නිසා මේ දවස් ටිකේ මං විතරයි ගෙදර හිටියේ. ඒක නිසා උදේ වැඩට යනකොට මං හොඳට ගෙවල් දොරවල් ලොක් කරලා, යතුරත් පරිස්සමට යන යන තැන අරගෙන ගියා.

ඉතින් ඔන්න මං මැච් එක බලලා බොහොම මහන්සි වෙලා ඇවිත් මහ රෑ ගෙදරට ආවා. කරුවලේම යතුර බලන්න සාක්කුවට අත දාපු මට අහුවුනේ ෆෝන් එකයි ලේන්සුවයි විතරයි. මං අනික් සාක්කුවත් බැලුවා.

දෙයියෝ සාක්කි!!!
යතුර නෑ.
                                                                   

කලබල වුණු පාරට මම එල්ලගෙන හිටපු බෑග් එක එතනම හලලා ඒකෙ තිබුණු බඩු බාහිරාදිය එකින් එක චෙක් කළා.මං හිතුවා හරි.යතුර නෑ. දැන් ඉතින් මොකද කරන්නේ? මෙහෙව් චාටර් එකක්නම් මතක ඇති කාලෙකින් කාල නෑ. කෙසේ හෝ අද රාත්‍රිය අහසේ තරු බලමින් ගත කරන්න වෙන බව මට තේරුණා. මදුරු ඇටෑක් මැද්දෙ මං එළියට වෙලා පැය බාගයක් විතර ගත කළා.මේකනම් තවත් ඉවසන්න බෑ. ගෙයි තව යතුරක් කොහේ හරි ඇතිනේ කියලා මගේ මොලේට එකවරම මතක් වුණා.වහාම ක්‍රියාත්මක වුණු මම අපේ පුංචිගෙ නම්බරේ ඩයල් කළා. මගේ වැඩ කෑල්ල අහපු පුංචිටත් කේන්ති.

"අනේ පුංචි, තව යතුරක් එහෙම නැද්ද...?" මං බලාපොරොත්තු දාහක් හිතේ දල්වගෙන ඇහුවා.

"ආ... තව එකක් තිබුණා". පුංචි එහෙම කියද්දි මට මාරම ‍ෆිට්.මගේ දවස හිතුව තරම් චාටර් නෑ වගේ.

"කෝ කොතනද ඇත්තේ...?"

"ගෙයි ඇඳ විට්ටමේ රතු පාට hand bag එකක් එල්ලලා ඇති, ඒකෙ තමා ඇත්තෙ".
හි ..හි... සං‍තෝසෙ බෑ.... ඇයි හත්තිලව්වෙ මම ඔය කියන යතුර ගන්න ගෙට යන්නෙ කොහොමද? ඒ වැඩේ හරිගියෙත් නෑ.

ආයෙ සුපුරුදු පරිදි කුස්ගින්න, තෙහෙට්‍ටුව සමග මදුරු අටෑක් පටන් ගත්තා.දැන් මධ්‍යම රාත්‍රියත් ළඟා වෙළා. මට ළඟදි බලපු වැම්පය(ර්) ඩයරීස්, නරලොව හොල්මන්, බහුබූතයෝ වගේ චිත්තරපටි එහෙමත් මතක් වෙන්න ගත්තා. ඔය ආකාරයෙන් තව ටිකක් වෙලා ගත වුණා. 

මට මහරගම දෙහිවල පාරේ ඉන්න අපේ තව නෑදෑ කෙනෙක් මතක් වුණා. එහෙට ගිහින්වත් රෑ ඉඳලා උදේට කරන දෙයක් කරන්න ඕනි කියලා හිතාගෙන එහෙ නම්බරෙත් ඩයල් කරා. ඒ මිනිස්සුන්ගෙත් නින්ද කඩලා මගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න මට සිද්ධ වුණා.කොහොම කොහොම හරි මට යන්තම් එහෙට ගිහින් එදා ‍රැය වැඩට ඇඳන් ගිය ඇඳුම් පිටින්ම ගත කිරීමේ දුර්ලභ අවස්තාවත් මට උදා වුණා.

පහුවෙනිදා හිමිදිරි උදෑසනම මම ගේ බිඳීමේ මහා සංග්‍රාමයට පිටත් වුණා. ගේ වටේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙච්ච මට අල්ලපු ගෙදර අංකල් පස්ටම අයිඩියා එකක් දුන්නා.

"පුතා...ලීයක කොක්කක් ගැට ගහලා, ඒක බීරලු අස්සෙන් දාලා, ඇඳ විට්ටමේ එල්ලලා තියෙන බෑග් එක ඇදලා ගන්න.වැඩේ හරිනේ...."අංකල් කිව්වා. 

කිව්වත් වගේ ඒකත් නරකම නෑ.මං වැඩේට අවශ්‍ය කරන ලීයක් කපාගන්න එළියට බැස්සා.

හුටා....!!! එතකොට මතක් වුණේ මං ඉන්නේ කොළඹ කියලා.මේ හරියෙ ලී කපන්න වෙන්නෙ ලයිට් කනුවකින් තමයි.මොන ලී ද?

ගේ වටේ වටයක් ගිය මට දිග එක්ස්-ලෝන් බට වයක් හම්බුනා.මේව ටිකක් එකට සෙට් කරගත්තනම් වැඩේ හරි බව මට අවබෝධ වුණා. අංකල්ගෙන් පරන රෙදි පටි ටිකක් ඉල්ලගෙන ඒව එකට තියලා බැන්දා.ඊ ළඟට ලෝක අමාරුවෙන් යකඩ කොකු කෑල්ලක් හදලා ඒ කෙළවරට ගැට ගැහුවා. දැන් වැඩේ හරි. බඩගින්නයි, ඇඟේ අමාරුවයි එක්ක මං ඒකත් අරන් ජනේලෙ ගාවට ගියා. 

කෙළිය තාප්පෙට!!! 
බීරලු තිබුණට ඒවට උඩින් දැල් ගහලා.පෙනේරෙක විතර සිදුරු තියෙන දැල්.ඕක අස්සෙන් කොහොමද මේ බටේ දාන්නෙ?



මෙහෙම දවසක් මගෙ තරහකාරයෙකුටවත් එන්න හොඳ නෑ. මගෙ මහන්සිය වතුරෙ නිසාත්, ගෙට යන්න තිබුණු තදබල උවමනාව නිසාත් මං දැල කෙළවරින් ටිකක් කඩලා දැම්ම.
දැන් බීරලුව අස්සෙන් බටය දාන්න පුලුවනි.යන්තමින් උඩකට නැගත්තු මං බීරලුවෙන් එබිලා බැලුවා.අනේ රතු පාට බෑග් රාජයෙක් ඇඳ විට්ටමේ ඉන්නව නේන්නම්.රතු පාට විතරක් නෙවෙයි, රෝස පාට, සුදු පාට හා කලු පාට වලිනුත් තව බෑග් 3ක් එතන තිබුණා.


මම බටය එතැනට ළං කලා.කොහෙ කොක්ක දාන්නද? එස්-ලෝන් බටේ මෑ කරල වගේ නැමෙනවා. මගෙ බෙල්ලත් දැන් කැඩෙන්න තරම් රිදෙනවා.ඒ මදිවට බීරලු අස්සෙ තියෙන දූවිලිත් මගෙ ඇස් දෙක පුරාම. දැඩි අධිෂ්ඨානයයි, කැපවීමයි නිසා මට යන්තම් බෑග් එකට කොක්ක දාගන්න පුලුවන් වුණා.
මට දැනුණු ප්‍රීතිය මෙතෙකැයි කියන්න බෑ.මං බොහොම පරිස්සමින් බෑගය ඇදලා බීරලුව අස්සෙනුත් ඇදලා එළියට ගත්තා. හැමදාමත් වගේ අදත් දෙයියො මගෙ දිහා බලලා. 

"ඒකෙ යතුර නෑ..."

                                                                      

දැන් නම් මට ඇඬෙන්න වගේ.ඒත් එක්කම මට මතක් වුණා රතු පාට බෑග් එක කිව්වෙ රෝස පාට එකටද දන්නෙ නෑ කියලා. නැවත වතාවක් අර වගේම පරිශ්‍රමයක් දරලා රෝස බෑගයත් එළියට ගත්තා.

එළම කිරි. "යතුර ඒකෙත් නෑ". 

දැන් නම් මට ඉවසීමේ සීමාව පනින්න ඔන්න මෙන්න.මගෙ හිත කිව්වෙම යතුර අනික් බෑග් දෙක්න් එහෙක ඇති කියලා.දන්නැද්ද, අපිට වගේ නෙවෙයි, ඔය ගෑණුන්ට සිහි කල්පනාව නෑ කොයි බෑග් එකේද යතුර තිව්වෙ කියළා.

මං ඉතින් for loop එකක් දාලා ඉතිරි බෑග් දෙකත් ලෝක අමාරුවෙන් එළියට ගත්තා.උනේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.බෑග් 4ත් දැන් ගන්නම දෙයක් නෑ.බීරලු අස්සෙන් ගනිද්දි ඒවයෙ දූවිලි ගෑවිලා,විනාස වෙලා. තවත් මේ වැඩේ කරන්න බෑ.මං පුංචිට කෝල් එකක් ගත්තා. 

කරුමෙක මහත!!! 
මෙච්චර වෙලා battery low වෙලා තිබුණු ෆෝන් එක එහෙම්මම off වුණා. අල්ලපු ගෙදර අංකල් කිව්ව එයා දන්න යතුරු කපන තැනක් තියෙනව, එතනට ගිහින් මිනිහව එක්ක එන්න, එයා මොකක් හරි කියාවි කියලා.අංකල්ට ෆෝන් එක චාර්ජ් කරන්න දීලා, මං අදාල යතුරු කපන්නා සොයා පිටත් වුණා. 

අයියෝ සල්ලි!!! 
ඒ කඩේ වහලා තිනුණම මතක් වුණේ අද පෝඅය කියලා. ඒ වැඩෙත් ඉවරයි.මං ආයෙ ඇවිත් පුංචිට call එකක් ගත්තා.

"පුංචි, බෑග් 4ක් එළියට ගත්තා.... එකකවත් යතුර නෑනේ.හොඳටම ෂුවර්ද බෑග් එකක ඇත්තේ කියලා..?"

"ඔව් ඔව්.රතු පාට එකේ"



"ඉතින් මං රතුපාට එකෙත් බැලුවනේ.ඒකෙ නෑ" මං ඇඬුනු ස්වරයෙන් මා මෙතෙක් කළ කී දෑ අ‍ටුවා ටීකා සහිතවම කිව්වා.

"ඕව නෙවෙයි ළමයෝ..ඇඳේ අනික් කෙළවරේ ඇඳ විට්ටමේ තව රතු පාට hand bag එකක් ඇති.ඒකෙ තියෙන්නෙ.මං නම් හිතන්නෑ එතෙන්ට ඔය බටේ දාලා ඇදල ගන්න පුලුවන් වෙයි කියලා.එතනට ගොඩක් දුරයිනේ..."

අනෙ අම්මපල්ලා මට ආපු කේන්තිය.

රටේ ලෝකෙ වෙන hand bag නැතුවද මේ තරම් රතු පාට hand bag ම එකතු කරන්නේ? කෝකටත් කියලා මගේ කේන්දරේ බලවගත්තනම් හොඳයි කියලා මට එවෙලෙ හිතුනා.

දැන් ඉතින් මොකද කරන්නේ? තව ටිකක් කල්පනා කරපු මම අවසන් තීරණයකට එළඹුණා.

අල්ලපු ගෙදර අංකල්ගෙන් නියනක්,අඬුවක්, මිටියක් වගේ අයිටම්ස් ටිකක් ඉල්ලගෙන මම ගියා පිටිපස්සෙ ජනේලෙ ළඟට. හ්ම්ම් ජනෙල් දොරවල් 4ක් තියෙනවා.ජනේලෙයක් කොහොම හරි ඇරගත්තොත් ග්‍රීල් එක ගලවගන්න පුලුවන් කියල මට හිතුණා.

සියලුම දහිරිය යොදලා ඉංජිනේරු වැඩ කෑල්ලක් දාලා මං වම් කෙළවරේ  ජනේලෙ ඇරගත්තා. 

මළා.. !!!
මේකෙ ග්‍රීල් එක ඇණයෙන් හයි කරලා ඇණේ හිස වෙල්ඩින් ඩොට් එකක් තියලා.නියනෙන් ඒක ගලවන්න බෑ.මට ග්‍රීල් හයි කරපු එකාගෙ...(නෑ නෑ ඒක ඕන නෑ)


මී ළඟට මං ඉතිරි ජනේල 3ත් නිරීක්ෂනයට ලක් කළා.දකුණු කෙළවරේ ජනේලෙ ග්‍රීල් එක නම් ගලවන්න පුලුවන් මට්ටමක තියෙන බව පේනවා.ඒත් ඒ ජනේලෙ ඇරගන්න බෑ.

මං කළේ වම් කෙළවරේ ජනේලෙ ග්‍රීල් එක ඇතුලෙන් අත දාලා දෙවැනි ජනේලෙ ඇරගත්තු එක.මී ළඟට අනුපිළිවෙලින් 3ත් 4ත් ඇරගත්තා.දැන් හරි.දැන් ඉතින් ග්‍රීල් එක ගලවන්න තියෙන්නේ.

මං සියලුම වෙර වීරිය දාලා යට ඇණයක් ගලවගත්තා.දැන් නම් ටිකක් විතර හිතට සැනසීමයි.කිචන් එකේ එල්ලි එල්ලි උන්නු පෙති කපපු පාන් ගෙඩියක් මගේ වැඩ කෑල්ල දිහා බලාගෙන ඉන්නවා.

"හිටපන්කෝ..මම එනකම්... අද මම ‍තෝව ඉවරයක් කරනවා ආපු ගමන්" එහෙම හිතාගෙන මම තව ඇණයක් ගැලෙව්වා....දැන් උඩ ඇණ්යයි යට ඇණයයි ගලවල ඉවරයි. 

කරුමෙක මහත!!! 
අනික් ඇණ දෙකේ වෙල්ඩින් ඩොට්!!!

මේව නම් තව ඉවසන්න බෑ.මං ඇඟේ තිබුණු හයිය දාලා ගැහුවා පයින් ග්‍රීල් එකට.

"ජරස්.." ශබ්දයක් නගමින් මට රිංගා ගත හැකි තරමට ග්‍රීල් එක කැරකුණා.අනේ හිතේ ඇති වෙච්ච සතුට... මෙච්චර සතුටක් මගේ පුංචි හිතට දරාගන්න පුලුවන් වේවිද මන්දා...

මම ඉක්මනට ගෙට රිංගලා ඉස්සෙල්ලාම බැලුවේ අර කිව්ව hand bag එක තියෙනවද කියලා. 

පුංචි කිව්ව හරි.ඔය ඉන්නෙ යස අගේට ඇඳ විට්ටමේ එල්ලි එල්ලි.කිව්ව වගේ යතුරත් ඒකෙ තිබුණා. මට ආපු කේන්තියට චුයින්ගම් එකක් වාගෙ යතුර කාගෙන කාගෙන යන්න මට හිතුණා.

හ්ම්ම්ම්... කොහොම හරි පුංචිලා, බාප්පලා එන්න කලින් නිවස යථා තත්වයට පත් කරන්න ඕනි නිසා මං ඉක්මනින් අර පාන්  මල්ලිව කොටා බාල ග්‍රීල් එක තිබුණු විදියට හයි කළා.


මී ළඟට අර hand bag හතර. ඒවනම් ගන්න දෙයක් නෑ.මං ඒවා බීරලු අස්සෙන් එළියට ඇදපු නිසා කුණු දූවිලි ගෑවිලා ඉවරෙටම ඉවරයි.

අද පෝය නිසා මං A/L class එකක් දාගෙන තිබුණේ උදේ 8.30ට.දැන් වෙලාව 11.30යි.මොනව කරන්නද?රතු,රෝස,සුදු, කලු hand bag 4ට surf excell එකක් දාල මම ගියා class. 

හ්ම්ම්ම් A/L විභාගෙ මේ එන සඳුදා නිසා අදින් classes  නැවැත්තුවා.

ෂෙහ්.. !!!
හරිම නරක කාලයක් තමයි.දැන් ඒ income එකත් නෑ.

හෙට පුංචිලා එනව කිව්ව නිසා මම ආපු ගමන් අර hand bag 4 සෝදන්න කියලා ලෑස්ති වුණා. මම බලනකොට බාස්කට් එකේ රතු පාට hand bag 3කුයි කලු පාට එකයි තියෙනවා.මේක වෙන්න බෑනේ.

මට හොඳටම විස්වාසයි කලු,සුදු,රතු,රෝස පාට bags තමා තිබුණේ කියලා. මම තව ටිකක් ළං වෙලා බැලුවා.

හපොයි විනාසයි!!! 
අර රතු පාට hand bag එකේ සායම් ගිහිල්ලා සුදු පාට hand bag එකත් රතු පාට වෙලා. !!!




අනේ දෙයියො මෙහෙම එලව එලව මගේ මූණ දිහා බලයි කියල මං හීනෙන්වත් හිතුවෙ නෑ.
මෙව්වට විශේෂ පිං ජාති කරල තියෙන්න ඕනෑ.කවුරුවත් මට ඉරිසියා කරනව එහෙම නෙවි. 

ඉතිං වැඩිම කාලයක් රෙදි සේදීමේ  record එකක් තබමින් මං අර බෑග් ටික සේදුවා.මේ වගේ පජාත,කුජීත,චාටර්(#@!$%^&*%) දවසක් නම් මගේ ජීවිතේ මෑත භාගෙ නම් තිබිල නෑ.

හැබැයි නරකයි නරකයි කිව්වට දවසේ එක හොඳ වැදගත් කමක් තිබ්බා. ඒ තමයි පෝය හින්දා සියලුම 'වස' කඩවල් වසා තිබීම. එහෙම නොවුණනම් මට වුණු අකරතැබ්බ වල හැටියට මොන ගෑණිද මිනිහද ඉවසන්නේ ? :D ;D  


ප.ලි. - සියලුම ගෙවල් බෙඳීම්, දොර ජනෙල් කැඩීම් ඇතුලු ඒ හා සම්බන්ධ සියලුම වැඩ භාරගනු ලැබේ!!! සහනදායී අයකිරීම්!!!







කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

උඩට යන්න මෙතන click කරන්න.